ආචාර්ය ජයලත් මනෝරත්නගේ පද, විශාරද දීපිකා ප‍්‍රියදර්ශනීගේ හඬින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200116song-1

සේකර කී විලසින්ම එදා අප මහගම
කුමකට මියෙමුද අතහැර මුළු ජීවිතයම
මරණී වෙනුවට ළංවෙමු රමණී වෙත අප
ජීවන රිද්මය, සොඳුරු බවද ඇත ඈ තුළ

කවියක, ගීයක, සිනමාවක, නාටකයක
සාදුකාරයක, පිරිතක,  ඕම් කාරයක
සුළං පොදක, වැහි අල්ලක, තරු පිපි රාත‍්‍රියක
රමණී මිස මරණී කොද මේ තුන් ලෝකෙක

දෙවොන්දරා සං නොරිකෝ සුගත්ගෙ දම්මි ද
සුප්පා දේවිය, ගෲෂා ගජමන් නෝනාව ද
බොනී මහත්තයා, හෙලන් ද, පියල් ද, නන්දාව ද
සිහියට නගන්න, රමණී මිස මරණී කොද

‘‘ඔයා දන්නවද ශකුවි මං අන්තිමටම ගායනා කළ සිංදුව ලිව්වේ කව්ද කියලා’’

විශාරද දීපිකා ප‍්‍රියදර්ශනිය මගෙන් ඇසුවේ ඉකුත් අඟහරුවාදා පස්වරුවේය.

‘‘නෑ’’

මම කීවෙමි.

‘‘ජයලත් මනෝරත්න අයියා’’

‘‘ඇත්තට’’

මා කීවේ විස්මයෙනි.

ආචාර්ය ජයලත් මනෝරත්න ඉඳහිට ගීතයක් දෙකක් ලියා තිබුණත් ඔහු වඩාත් ප‍්‍රසිද්ධ නාට්‍යකරුවකු සහ නළුවකු ලෙසිනි. එහෙත් ඔහු පොත් කිහිපයක්ද ලියූ නළුවෙකු ද වූ අතර ඔහු ආචාර්ය උපාධිය ලබාගත්තේ ද අදාල නිබන්ධන සපයමිනි.

‘‘මනෝ අයියා ඉස්පිරිතාලේ ඉන්නකොට මම කීප වතාවක්ම බලන්න ගියා. එයා හුඟාක් වෙලාවට කාලය ගත කළේ පොතක් පතක් කියවමින්. එක දවසක් මම යනකොට එයා කියව කියවා හිටියෙ නොමියෙමි කාව්‍ය සංග‍්‍රහය.

20200116song-3

මාව දැකපු හැටියේ පොත පපුව උඩින් තියාගත්තා. මනෝ අයියා මගෙ අතින් අල්ලාගත්තෙ පුදුම සෙනෙහසකින්.

‘මරණී ගැන නොහිතා රමණී ගැන හිතන්න මේ පොත මට උදව් කරනවා’.

මනෝ අයියා කිව්වේ බොහොම හැඟීම්බරව. නොමියෙමි කාව්‍ය සංග‍්‍රහය රචනා කළේ මහගම සේකරයන්. ඇත්තටම මහගම සේකර කියන්නේ අද්විතීය චරිතයක්. ඔහු ගෙව්වෙ අවුරුදු පනහකටත් අඩු ජීවිත කාලයක්. නමුත් ඒ කාලය තුළ ඔහු ලියපු පොත්, නවකතා, කවි, අදටත් පාඨකයන් ආදරයෙන් වැළඳගත්තු නිර්මාණ. තුන්මංහන්දිය, ව්‍යාංගා, බෝඩිම වගේ පොත් මම කියෙව්වෙ කොච්චර ආසාවකින්ද. එතකොට මහගම සේකර ලියපු ගීත, චිත‍්‍රපට ගීත, බෞද්ධ ගීත, සරල ගීත කොයිතරම්ද.

ඇසේ මතුවන කදුළු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම් වගේ සිංදුවක් කොයිතරම් මිහිරිද? එතකොට මලහිරු බැසයන සැන්ඳෑ යාමේ, ආරිච්චි බෝරිච්චී කම්බිකූරු බෝල මාල වගේ ගීත පේලියට මට මතක් වුණා.

මහගම සේකරයන් අකාලයේ මියගියත් ඔහු මියගියේ නැහැ. ඔහු අදටත් ජීවත් වෙනවා. ඔහු නොමියෙමි ලිව්වා වගේම ඔහු මියගියේ නැහැ නේද කියලා මට ඒ වෙලාවේ හිතුණා.

මම ටික වේලාවක් මනෝ අයියා ළඟ නැවතිලා ඉඳලා ගෙදර ගියා. ඊට දවස් හතරකට පහකට විතර පස්සේ මම ආයෙ දවසක මනෝ අයියා බලන්න රෝහලට ගියා. ඒ වෙලාවෙ පුරුදු විදිහට සෙනෙහසින් මගේ අත අල්ල ගත්තු මනෝ අයියා මට දුන්නේ සුදු පාට කොළයක්. ඒක මනෝ අයියාගෙ ලෙටර් හෙඞ් එකක්. ඒකෙ තිබුණෙ මහගම සේකරගේ නොමියෙමි කියවා ලියූ කවි කිහිපයක් කියන වචන ටික. ඊට පස්සේ කවි තුනක් තිබුණා.

මම ඒ කවි කිහිපය එතැනදිම කියෙව්වා. මට දැනුණා ගීතවත් බවක්. 

20200116song-2

ඒ කවිවලින් කියැවුණේ ජීවිතයේ රමණීයත්වය ගැන. සොබාදහම අපේ ජීවිතවලට එකතු කරන්නේ රමණීයත්වය. මරණය අමතක කරල ඒ රමණීය බව ගැන හිතන එක ගැනයි ඔහු ලියලා තිබුණෙ. ඊළඟට සාහිත්‍ය ලෝකයෙන් අපේ හිත්වලට ළංවුණු පේ‍්‍රමණීය චරිත ගැන ලියලා තිබුණා. නොරිකෝ x දෙවොන්දරා, පියල් x නන්දා, සුගත් x දම්මි වගේ සාහිත්‍ය ලෝකෙන් හමුවුණු පෙම්වතුන්. ඔවුනුත් රමණීයයි. ඔවුන් කවදාවත් මරණයට පත්වන්නෙ නෑ.

මේ ඔක්කොම එක්ක මනෝ අයියා කියන්න උත්සාහ කළේ ඔහු මරණයට එරෙහිව සටනක් කරන බවනේද කියලා මට හිතුණා.

‘මනෝ අයියා මේ ලියලා තියෙන්නෙ ලස්සන ගීතයක්නෙ මං ගයන්නද’ කියලා මං ඇහුවා.

ඔහු ඒ වචනයෙන් සතුටට පත්වුණා. ඊට පස්සේ මම මහින්ද බණ්ඩාරට ඒ ගීතය දුන්නා. ඔහු මියුරු විදිහට සංගීතවත් කරලා දුන්නා. මං ඉක්මනටම ගායනා කළා.

ඒ ගීතය ගෙනිහින් මනෝ අයියට අහන්න දුන්නාම ඔහුගෙ ඇස්වල කදුළු පිරුණා.

ඒ වෙද්දී ඔහු සිටියේ අසාධ්‍යව. මරණය බලාපොරොත්තුවෙන් ඉන්න ඇත්තේ. ඒ වෙද්දි දෙතුන් වතාවක්ම එයා මියගියා කියලා මුහුණුපොතේ පවා පෝස්ට් ගියා.

කොහොම වුණත් ජීවිතේ රමණියත්වය තවදුරටත් විඳින්න නොදී මරණය ඔහු වැළඳගත්තා. හැබැයි ඔහු මැරෙන්නෙ නැහැ. නොරිකෝ x දෙවොන්දරා වගේ මහගම සේකර වගේ ජයලත් මනෝරත්නත් හැමදාම ජීවත්වෙනවා’’.

‘‘හරියටම හරි’’

මම කීවෙමි.

‘‘මම දැන් ඔයාට ඒ සිංදුව එවනවා. අහලා බලන්නකො කොයිතරම් අපූරු ගීතයක්ද කියලා’’.

ඊට මොහොතකට පසු ඇය මගේ විද්‍යුත් ලිපිනයට ඒ ගීතය යොමුකර තිබිණි.

මා ඇසුවේ එකම වරකි. හිත මහා බරකින් පිරී ගියේය.

‘‘ඇත්තටම ලස්සන ගීතයක්. හඬ, වචන, සංගීතය විතරක් නෙමෙයි ඉන් මතුකරන අර්ථයත් හරි ලස්සනයි. ඒ වචනවල තියෙන්නෙ මරණීය වේදනාව අමතක කරලා ජීවිතයෙන් නැගී සිටින මිනිසකුගේ සිතුවිලි’’.

මම කීවෙමි.

‘‘ඔයාට තේරුණා’’.

දීපිකා කීවාය.

ඒ ගීතය තවදුරටත් සඟවා ගැනීම වරදකි. මනෝ අයියා නික්ම ගිය මේ සතියේම එය රසික ජනතාව වෙත තිලිණ කිරීම ගැන දීපිකා ප‍්‍රියදර්ශනියට ස්තුති කිිරීම රසික ඔබේ යුතුකමක් බවද ලියා තබමි.

ශාන්ත කුමාර විතාන