ගැහැනිය විනිවිද දුටු ඒ කවිකමට මම හරි ආසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Art එකේ කැරට්ටුව..

හඬ: තිලකරත්න කුරුවිට බණ්ඩාර

 

20200123Thilakarathna-1

මම කලින් ආවට... ඔහු කියපු වෙලාවටම ඇවිත්... 
ආයුබෝවන් ඉතින්... 
ඔහුගේ ළෙන්ගතු හිනාව ඉහටත් උඩින්....
 
එයා ගැන මම මෙහෙම පටන්ගන්නම්... කලාව ගැන වෙනස්ම විදිහක රහක් තියෙන ප්‍රවීණයෙක්... නිර්මාණයට උපරිම සාධාරණයක් ඉටුකරන්න කැපවෙන ඔහුගේ දක්ෂතා පැති කිහිපයකටම විහිදෙනවා...  විටෙක ගත් කතුවරයෙක්, ගීත රචකයෙක්, ඔහුගේ ලිවීම ගැන අමුතුවෙන් කතාකරන්න දෙයක් නෑ.. මොකද ඔහු වෘත්තියෙන්ම මාධ්‍ය ප්‍රධානියෙක්. 
මේ වෙන කවුරුත් නෙමේ තිලකරත්න කුරුවිට බණ්ඩාර.... 
 
වැටකොටු බැඳි මලක සුවඳ...
 
එයාව දැක්ක ගමන් මට මතකයට ආවේ නන්දා මාලනිය ගයනා ඔහු සුරතින් ලියවුණු ඒ ලස්සන ගීතය... මේ ගීතය විතරක් නෙමේ... තව ගීත ගොන්නක්ම තිලකරත්න කුරැවිට බණ්ඩාර නමට ලියැවිලා තියෙනවා.
 
කොහොමද... මේ දවස්වල මොනවද වෙන්නෙ... අපි එහෙම පටන් ගමු නේද ?
 
මේ දවස්වල හොඳයි ඉතින්... විශේෂයෙන් මේ දින කිහිපයේ මම චරිතාපදාන එකතුවක් කරගෙන යනවා කීර්ති ශේෂ කියලා... අද හෙටම ඒක ජනගත කරන්න වැඩකටයුතු කරගෙන යනවා... ඊට අමතරව මම ලේඛක ලේඛිකාවන්ගේ පොත්වල පසුවදන්  දැනට දෙසීයක් විතර ලියලා තියෙනවා... ඒවලින් නිර්මාණශීලී පසුවදන් සීයක් එකතුකරලා පොතක් සම්පාදනය කරන්න මගේ මිත්‍රයෙක් කටයුතු යොදලා තියෙනවා... දැන් ඒ පොත මුද්‍රණයට සූදානමින් තියෙනවා... තව මගේ ගුවන්විදුලි වැඩකටයුතුත් එක්ක කාලය ගතවෙනවා...
 
ඒ තමයි එයාගේ වැඩකටයුතු....
නමෝ විත්තියෙන් දැන් වැඩේට අත දාමු...
 
තිලකරත්න කුරුවිට බණ්ඩාරගේ කලා නිර්මාණ අපි දන්නවනේ... ඒවා නැතුව... ඔබේ හදවත ස්පර්ශකරපු කලා නිර්මාණයක් ගැන කතා කරමුද? හැබැයි... ඒක සින්දුවක් වෙන්නත් බෑ... එකඟද?
 
එවැනි නිර්මාණ නම් මගේ ජීවිතයට බොහෝමයක් හමුවෙලා තියෙනවා... ඒ නිර්මාණ ගොන්න අතරින් මම කියවපු කවි පොතක් සහ ඒ පොතේ තිබ්බ විශේෂ කවියක් මම තෝරගන්න හිතුවා... මේ පොත ලියූ කිවිඳිය තමයි ජයන්තා රුක්මනී සිරිවර්ධන... ඇය දැනට කවිපොත් හතරක් රචනා කරලා තියෙනවා... අවසන් හෝරාව, බඹර සුසුම, කැලණි ගඟ හඬයි, සමනල වර්ණය කියන කවි පොත් හතර... එක්දාස් නමසිය අනූපහේදී ජයන්තා රචනා කළ අවසන් හෝරාව කියන කාව්‍ය සංග්‍රහය සහ එහි ඇතුළත් වුණු ඩයනා කියන කවිය පන්තිය මාව දැඩි ලෙස කම්පනය කළ, මම අසීමිත රසයක් විඳපු නිර්මාණයක්... ඒක නිසා මම අද ඒක ගැන කියන්නම්... 
 
බලන බලන හැමතැනම පොත් කඩවල්... ඒවායේ රාක්ක පුරෝලා ඕනතරම් කවි පොත්... ෆේස්බුක් එකෙත් ඕනතරම් කවි තියෙනවා...  ඇයි මේ ජයන්තා රුක්මනීගේ කවි පොතේ තිබුණ ඩයනා කවි පන්තියට මෙච්චරම ළෙන්ගතුකමක්...?
කවිය කියන්නෙ... නිකම්ම නිකන් වචන ටිකක් නෙමේ... කවිය කියන්නේ හරිම දාර්ශනික සිතුවිලි සම්භාරයක්... නිර්මාණකරුගේ පරිකල්පනය සෑහෙන්න වැදගත් හොඳ නිර්මාණයක් නිර්මාණය වෙන්න... මම කියන්නෑ කවි පොතේ තිබෙන සියලුම කවිවලට මම කැමතියි කියලා.. නමුත් සමස්තයක් විදියට ගත්තාම ජයන්තාගේ පරිකල්පනයට සහ දාර්ශනික අදහස්වලට මම ගොඩක් කැමතියි...  
 
මම කැමතිම කවිපෙළේ මාතෘකාව ඩයනා... ඩයනා කුමරියට තමයි මේ කවිපන්තිය ජයන්තා ලියන්නෙ... රාජකීය පවුලක තේජෝ බලපරාක්‍රමයත් අනාගත කිරුලත් හිමි යස ඉසුරින් පිරිණු දෙවඟන පරදන රූප ස්වභාවයකින් යුක්ත කෙනෙක්නෙ ඩයනා කුමරිය කියන්නෙ... ඩයනා කුමරි දෙස කවියෙකුට, කිවිඳියකට, ලේඛකයකුට ලේඛිකාවකට ඕනෙම නිර්මාණ ශිල්පියෙකුට විවිධ දෘෂ්ඨි කෝණවලින් බලන්න පුළුවන්... උදාහරණයක් විදියට ඇය තමන්ගේ ස්වාමිපුරැෂයාව අතඇරලා වෙනත් පුද්ගලයෙක් එකක් රජමැදුරෙන් නික්මුණු කෙනෙක්නෙ... කෙනෙකුට බලන්න පුළුවන් ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන දෘෂ්ඨි කෝණයෙන්..  සිංහබාහු නාට්‍යය පාදක වෙන සියවස් මල්දම් කෘතිය ඇසුරෙන්නෙ ඒ පොතේ සඳහන් වන සුප්පා දේවිය කාමයෙන් පිරිච්ච ගෑනියක් ලෙස හඳුන්වනවා.... ඩයනා දිහාත් ඒ දෘෂ්ඨි කෝණයෙන් බලන්න පුළුවන්... එහෙම නැත්නම් ආදරය වෙනුවෙන් ජීවිතය කැපකරපු පරිත්‍යාගශීලි ස්ත්‍රියක් විදියටත් කෙනෙක්ට දකින්න පුළුවන්... නැත්නම් මෙහෙමත් දකින්න පුළුවන්... නිසරු රාජසම්පත් ගැන කලකිරිලා තම ස්වාමිපුරුෂයාගෙන් තමන්ට හිමි තැන ලැබෙන්නෙ නැති ගැහැනියක් විදියට දරුවනුත් අතහැරලා ගිය කෙනෙක් විදියටත් අපිට අර්ථකථනය කරන්න පුළුවන්... සිංහබාහු නාට්‍යයේ සුප්පාදේවිය විවාහ වෙන්නෙ සිංහයෙක් එක්කනේ... දරුවෝ ප්‍රශ්න කරනවා සුප්පා දේවිය වන අම්මාගෙන් ඇයි ඔයා මේ වගේ කෙනෙක් එකක් ආවේ කියලා... එහෙම අහනකොට සුප්පාදේවි දරුවන්ට දෙන උත්තරේ තමයි... ලෝකෙ තියෙන උතුම් දේ ප්‍රේමයයි ඒ නමින් තමයි මේ හැමදෙයක්ම කළේ කියලා... මේ මම කියපු ඕනම කෝණයකින් ඩයනා කුමරිය දෙස බලන්න පුළුවන්... නමුත්  ජයන්තා රුක්මනී කිවිඳිය ඩයනාව දැක්කේ වෙනස්ම කෝණයකින්.. ඒ තමයි අපේ පාරම්පරික කාන්තාවක් ඩයනා කුමරිව දකින විදියට තමයි ජයන්තා කවිය රචනා කරන්නෙ... මෙහෙමයි ඒ කවිපද ගෙතෙන්නෙ...
 
නුඹෙ රජ මඟුල් දවසේ මුළු ලෝකෙටම
පහනක් ඇල්ලුවා ලෙස විය බැබළෙන්ට
නුඹෙ රුව තිරෙන් රන්රුව සේ දැක්කාම
මේ මොන පින් කඳක් දැයි හිතුණා සිතට
 
පිරිවර පෙරටු කර රජ සැප වින්ඳාය
නිදහස බිඳක් නැතිවම දුක උහුලාය
තනිවම සුසුම් හෙලමින් රෑ  හැඬුවාය
එහෙම වුණත් කුමරිය ලෙස පතලාය
 
එදිනම දීග ගිය මද්දුම නංගීට 
ජයටම මඟුල් නෑ අපෙ දුප්පත්කමට 
පවුලම එකට ගයනා සීපද හඬට 
වනමල් පිපෙනවා ගමටම නොදැනීම
 
රට්ටුන් මොන කතා අඬහැර දැම්මාට
රජ වී වුණත් හිතකට දුක ඉහිලීම
ගෑනුන් අපට උරුමයි නොවැ හැමදාම
අපටත් වඩා නුඹ එය උහුලනු කෝම
 
සසරේ කොටපු දුක කාටත් උරුම කොට 
හඳ මෙන් බැබළුනත් බෑනේ ජයගන්ට 
මද්දුම නඟා හඳ එළියට උරුම කොට
හිනා නඟන විට නුඹ ගැන දුකයි මට...
 
ලෝක ප්‍රසිද්ධ ඩයනා කුමරියගේ මඟුල දවසේම කිවිඳියගේ පරිකල්පන ඥානය පාවිච්චි කරලා ගමේ මඟුලක් නිර්මාණය කරලා ඒක මඟුල රාජකීය කුමරියගේ විවාහය සමඟ සසඳනවා... බැලූ බැල්මට මේ විවාහයන් දෙක අහසට පො‍ෙළාව වගේ වෙනස්... මේ කවි පන්තියෙන් අපේකම, අල්පේච්ඡකම සිංහල බෞද්ධ වටිනාකම් හරි අපූරුවට ඉස්මතු කරපු අවස්ථාවක්... මේ කවි පන්තියේ තියෙන විශේෂත්වය තමයි ඕනම කෙනෙකුට කියවලා රසවිඳින්න පුළුවන් අපූරු නිර්මාණයක් වීම.  වර්තමාන සමාජය මුදලට ලොල් සමාජයක්නෙ... හැමදේම මුදල්වලින් තමයි මනින්නේ... එහෙම සමාජයක අපේ සිත් තුළ කිසියම් වටිනාකම් පද්ධතියක් ඇති කරන්න සමත් වෙන නිර්මාණයක් විදියට මම මේ නිර්මාණය දකිනවා.. 
 
ඩයනා කවි පන්තිය එහෙම නැත්නම් අවසන් හෝරාව කවිපොත ඔබේ ඇසගැටුණෙ කොහොමද...?
 
මෙහෙමයි... ජයන්තා රුක්මනීගේ කවි පොත් සියල්ලුම අත් පිටපතේම මට කියවන්න අවස්ථාව ලැබුණා... ඈ අවසානයට ලියපු කවිපොත් වන සමනල වර්ණය කියන පොතට පෙරවදන ලියන්න පවා අවස්ථාවක් ලැබුණා මට. ඇගේ කවිය ගැන හැදෑරීමක් සහ අවධානයක් මට තිබුණා... මම විශ්වවිද්‍යාල දේශනවලදීත් දරුවන්ට මේ නිර්මාණය ගැන කියලා ඒ නිර්මාණ රසවිඳින විදිය ගැනත් මම ඒ අයට කියලා දෙනවා... සත්‍ය සිද්ධියක් කවියකට වස්තු කරගන්නෙ කොහොමද, අර්ථ රසය උලුප්පලා දන්වන්නේ කොහොමද කියන එක ගැන හොඳ උදාහරණයක් තමයි ඩයනා කවි පන්තිය...
 
මේ කවි පන්තියේ ඔබ වැඩියෙන්ම කැමතිම පද පේළිය මොකක්ද?
 
ඇත්තටම සමස්ත කවියම තමයි මට දැණුනේ... ඒ අතරිනුත් කවියේ කූඨප්‍රාප්තිය වන අවසාන කොටස තමයි මට තදින්ම දැනුණේ...  මද්දුම නඟා හිනාවෙන කොට නුඹ ගැන දුකයි මට... බාහිර කිසිදේක නෙමේ සතුට තියෙන්නෙ... තමන්ගේ හිත ඇතුළේ කියන එක හරි අපූරුවට පාඨකයාට දැනෙන තැනක් තමයි ඒක. අවසානයේ මේ නිර්මාණ තුළින් මිනිස්සුන්ට හිතන්න යමක් ඉතිරි කරනවා... ඕනම නිර්මාණයකින් වෙන්න ඕනෙ එයයි. ආනන්දයෙන් ප්‍රඥාවට ගමන් කිරීම. මේ නිර්මාණයෙන් ඒ දේ හරියටම වෙනවා.... 
 
 
► Text - Danushka Wijesiri   /   Pic -  Internet