අඩු වයසෙන්ම අම්මගෙ චරිතය රඟපාන්න ලැබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200123Himali-1

තරුණ යුවළකි. මේ යුවළට සිඟිති දියණියක සිටි. මෙයාලා නුවර පළාතේ. දවසක්දා මේ අම්මයි තාත්තයි සිඟිති දියණියයි. වෙරළාසන්න ප‍්‍රදේශයක සංචාරයක් බලා පිටත්ව යනවා. යන අතරමගදී නොසිතූ විදියෙ ඛේදවාචකයකට මුහුණදීමට සිද්ධ වෙනවා. මුහුදු රළ ගොඩ ඇවිත් මේ  පවුල  ගමන් ගන්නා මෝටර් රථය එක්ක එයාලාව දළ රළ අතරේ ඈතට ගහගෙන යනවා. අවසන සිඟිති දියණිය අතුරුදන් වෙනවා. මවයි - පියයි විතරක් ජීවත් වෙනවා. මේ යුවළ තම අතුරුදන්වූ දියණිය සොයා රටේ හොයන තැනක් නැති තරම්. කල්ගත වී එක් තැනකදි මේ යුවළට ඔවුන්ගේ යැයි විශ්වාස කරන දියණිය මුණ ගැහෙනවා. ඔන්න ඉතින් ඒ පවුල ආයෙත් සම්පූර්ණ වුණාය කියලා තමයි එයාලට හිතෙන්නේ. තවත් කාලයක් ගත වෙද්දී මේ යුවළ ඇති දැඩි කරන්නෙ එයාලගෙම දියණිය නොවන බව උසාවියේදී සනාථ වෙනවා. ඉන් පසුව මේ මව මුහුණ දෙන්නෙ මොන වගේ  තත්ත්වයකටද කියලා ඔබට අමුතුවෙන් කියන්න  ඕනෑ නැහැ. මේ සංකීර්ණ චරිතයට ‘මවගේ’ චරිතයට ජීවය ලබා දෙන්නෙ ‘‘හිමාලි සයුරංගි’’ රංගන ශිල්පිනියයි. ඇය මෙලෙසින් අපට හමුවන්නෙ, ආචාර්ය සෝමරත්න දිසානායකයන් නිර්මාණය කළ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කල මේ දිනවල නැරඹිය හැකි ‘‘සුනාමි’’ සිනමා නිර්මාණයේය.

 

හිමාලි මේ දිනවල පේ‍්‍රක්‍ෂකාගාරයට එන්නේ?

සුනාමි චිත‍්‍රපටය  සහ දෙවැනි ඉනිම නාට්‍යය සහ සිරස එෆ්.එම්. ගුවන් විදුලි නාට්‍යය සමගයි. ඒකෙ නම ‘‘ආදර වෙඩිල්ල’’.

 

සිනමා නිර්මාණයකට දායක වන්නේ සෑහෙන  කාලයකට පසුව නේද?

අන්තිමට රඟපෑවෙ ‘‘සිකුරු හතේ’’ චිත‍්‍රපටයේ. ඉන්පසුව තවත් චරිත ලැබුනා. ඒත් චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රයේ හොඳ වැඩක් කරන්න ලැබුණේ නැති තරම්. වසර කීපයකට පසුව ලැබුණ මේ චරිතය කම්පනයක් ඇති කරවන චරිතයක්. මේ චිත‍්‍රපටියේ චරිත විකාශය වන්නේ මානුෂිය බව අපූරුවට ප‍්‍රකාශ කරමින්. මේ චරිතය මාව කම්පනයට පත් කළ චරිතයක්.

 

ඔබගෙ සැබෑ ජීවිතය සමග මේ රඟපාන චරිතය සසඳන්නේ මොන විදියටද?

මාත් සැබෑ ජීවිතයෙදි දියණික් සිටින මවක්. ඒ මව්පියන් සහ දරුවන් අතර පවතින සහ සම්බන්ධය කියන දේ මටත් තියෙන පොදුවේ සෑම මවකට පියකුට පවතින දෙයක්. මෙහි රඟපෑමට දර්ශන තලයට බොහෝ විට මම ගියේ මගේ දියණියත්  අරගෙන. මොකද දියණිය දැකගන්නෙ නැතුව ඉන්න බැරි ස්වභාවයක් මටත් තියෙනවා. මේ ගැන රේණුකා අක්කා දැනගෙන හිටියෙ. ඉතින් එයා කලේ මගේ දියණියවත් දර්ශන තලයට එක්ක ගෙන ඒමට අවකාශය සළසා දීමයි. රූගත කිරීම් නැති අවස්ථාවලදි දියණියට උගන්වමින් එයාගෙ වැඩ කරමින් කල් ගෙවන අතරේ රූගත කිරීම් අවස්ථාවලදී ඊට මුහුණ දුන්නා. ඒ නිසා මවගේ චරිතය එතරම්ම මට දුරස්ථ වුණේ නැහැ. සුනාමිය අම්මලාට  දරුවො නැති කළා. දරුවාට මව්වරු අහිමි කළා. මේ විදියේ අම්මලා ලංකාවේ තවත් කොතෙකුත් ඇති. ඒ සෑම කෙනෙක්ම සහ සමස්ත මව්වරු කම්පනයට පත් කරවන චිත‍්‍රපටියක්.

20200123Himali-2

 

මේ චරිතයට ආරාධනා ලැබුණෙ කොහොමද?

සෝමරත්න දිසානායක මහතා ජාතික රූපවාහිනියෙ සභාපතිව සිටියදි ‘‘කවිය නුඹ’’ ටෙලිනාට්‍ය විකාශය වුණා. ඒ නාට්‍යයේ මගේ චරිතයට හොඳම නිළියට හිමි සම්මානයක් ලැබුණා. එතුමා ඒ නාට්‍ය නරඹලා තිබූ නිසා කවදාහරි එයාගෙ නිර්මාණයකට ගන්නවාය කියන අදහස ඇතිව හිටියෙ. පසුකාලයකදි ‘සුනාමි’ චිත‍්‍රපටයේ චරිතයට මාව දායක කරවා ගත්තේ ඒ විදියටයි. ඒක ඇත්තටම ලොකු අවස්ථාවක්.

 

ඔබට මේ චිත‍්‍රපටයේ  දරා ගන්නම බැරි  වූ අවස්ථාවක් සිහිපත් කළොත්?

සමස්ත කතාවෙ සෑම කොටසක්ම වගේ සංවේදීව ගලා යන්නෙ. මට දරා ගත නොහැකි තැන් කීපයක්ම තියෙනවා. ඒ අතරින් ‘දියණිය’ වෙනුවෙන් උසාවියේදි නඩු කියලා අන්තිමට ඇයව අනෙක් දෙමළ මව සහ පියාට බාර දෙන්න සිදුවූ අවස්ථාව මට වාවන්නෙ නැතුව ගියා. ඒ වෙලාවෙ ඇත්තටම මට මගේ පපුව හිරවෙනවා වගෙයි දැණුනෙ.

 

ඇස්වලට කඳුළක් එන්න ඇති?

ඔව් ඇත්තටම කඳුළු ආවා. මොකද ග්ලිසරීන් දාලා නොවෙයි රඟපෑවෙ.

20200123Himali-3

අද චිත‍්‍රපටය නැරඹූ අවස්ථාවෙ ඔබට දැනුණෙ මොන වගේ හැඟීමක්ද?

සැබෑ ජීවිතයේ මම මවක් බව සැබෑව. ඒත් චිත‍්‍රපටයේ ඉන්නේ හිමාලි සයුරංගි නොවෙයිනෙ. ඒක ශි‍්‍රයානිට වෙච්ච දෙයක්. ශි‍්‍රයානි චරිතය  වෙන්න මට පුළුවන් වී තිබෙන බව පෙනෙනවා. එහි ගෞරවය යා යුත්තෙ කාටවත්ම නොවෙයි. අධ්‍යක්‍ෂවරයාටයි. ඒ චරිතවලට කතාවට හැඩයක් දෙන්නෙ ඔහුයි. ඒ වගේම සාර්ථක වුණාම වගේම අසාර්ථක වුණාමත් බනින්නේ ඔහුට. මම හිතන්නේ ආචාර්ය  සෝමරත්න දිසානායකයන්ගෙ තවත් සම්මානනීය නිර්මාණයක් මෙය.  එවැනි සරල හික්මීමකින් වැඩ කරන දැවැන්ත නිර්මාණකරුවකුගේ නිර්මාණයකට දායක වීමට ලැබීම භාග්‍යයක්. මේ චරිතවලට සහ මගේ චරිතයට රිද්මයක් දුන්නෙ ඔහුයි.

 

කොහොමද ජීවිතේ?

දියණියගෙ කටයුතු ගෙදර කටයුතු සහ මගේ රංගන, නිවේදන, හඬ කැවීම් මේ සියල්ල සමග කාර්යබහුලව ජීවිතය ගෙවී යනවා. ඇත්තෙන්ම ගෙදරත් මම ගොඩක් වැඩ කරන කෙනෙක්. සමහර විට ගායිකාවක ලෙස සංදර්ශන වලටත් යනවා. රංගන ශිල්පිනියක ලෙස මට කලාවෙන් ඈත්වෙලා ඉන්න බැහැ. කාර්යබහුල වුණත් කොහොම හරි සියල්ල සමබරව කරගෙන යනවා.

20200123Himali-4

අද හිමාලිට වැඩපුර ලැබෙන්නෙ මවගේ චරිතයද?

අඩු වයසෙදිම වගේ මට ඒ චරිතය ලැබුණා. දෙවැනි ඉනිමෙ තමයි මුල්වරට ඒ විදියට රඟපෑවෙ. හැබැයි ඒ මවගෙ චරිතය ලැබීම ගැන මට පසුතැවීමක් නැහැ. මම එය දැණුවත්ව බාර ගත්තෙ. ඒ එක්කම එවැනි ස්වරූපයේ තව චරිතවලට කතා කළා. ඒත් මම ගියේ නැහැ. කොහොමටතත් එදාට වඩා අද මම වයසින් මුහුකුරා ගිහින්. ඒ වුණත් අපේ රටේ ස්වභාවය වන්නේ එක චරිතයක් දුටුවාම දිගටම ඒ චරිතයටම කතා කිරීමයි. ඒ නිසා දැන්මම දිගටම අම්මාගෙ  චරිතයම කරන්න කැමති නැහැ. පෙම්වතියගෙ චරිතය  ඕනෑම වයසකදි රඟපාන්න පුළුවනි. ඒත් අම්මගෙ චරිතය එහෙම කරන්න බැහැ. ඒකත් එක්තරා විශේෂත්වයක්. කොහොම වුණත් මම චරිතයක් ලැබුණම මූලිකවම බලන්නේ පිටපත සහ අධ්‍යක්‍ෂවරයා කවුද කියලයි. ශූර අධ්‍යක්‍ෂවරයකුට සමස්ත නිර්මාණයට දිය හැකි නිර්මාණාත්මක වටිනාකම ඉහළයි. ඒ නිසා මා මූලිකවම ඒ ගැන විශ්වාස කරනවා.

 

සඳුන් ගමගේ

20200123Himali-5