මම ලංකාවෙන් පිටවෙන කොට තාත්තගෙ ඇස්වල කඳුළු පිරුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200123Banuka-1

අප කාගේත් ආදරය දිනා සිටි ගෞරවය ලබා සිටි, පසුගියදා අප අතරින් සදහටම සමුගෙන ගිය ආචාර්ය ජයලත් මනෝරත්නයන් යනු කලාවේ විවිධ විෂයයන් ස්පර්ශ කළ චරිතයක් විය. එනිසාම ඔහුට මිත‍්‍ර සමාගමයක් මෙන්ම පුත‍්‍ර සමාගමයක්ද තිබිණ. ඒත් ඔහුගේ එකම පුතු වන්නේ භානුක ප‍්‍රබුද්ධ මනෝරත්නය. වෘත්තියෙන් ඔහු ගණකාධිකාරිවරයෙකි. රැුකියාව කරමින් ඔහු බිරිඳ සහ දියණියන් තිදෙනා සමග වෙසෙන්නේ ඔස්ටේ‍්‍රලියාවේය. ආවොතින්, ජීවිතයේ, නැවත යා යුතුමය, ඒ යාම් ඊම් අතරේ, ප‍්‍රියයන්ගේ විප්පයෝගයේ දුක්ඛ දෝමනස්සය තදින්ම දැනෙන්නේ ළඟම හිතෛෂීන්ටය. ඒ හැරත් පිය පුතු යනු ආත්මීය බැඳීමකි. අද මනෝරම්‍ය වූ මනෝ නැත. ඒ පියාගේ සෙනෙහස, ඒ පියාගේ ජීවන දර්ශනය මේ පුතුට දැනුණේ හැඟුණේ කෙසේද?

 

භානුක ප‍්‍රබුද්ධ, ඔබට ඒ නම දැම්මෙත් තාත්තාම වෙන්නැති?

අනිවාර්යයෙන්ම ඔව්.

 

අපි අතීතයට යමු, ඔබට තාත්තා ගැන මතකයට එන මුල්ම සිදුවීම මතකද?

ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන්න මුලින්ම මම ගියේ ඉසිපතනයට. පසුව ශිෂ්‍යත්ව විභාගය සමත් වී කොළඹ ආනන්දයට ඇතුළත් වුණා. එදා ඉසිපතනයට යන කාලයේ සිදුවූ සිද්ධියක් මට මතකයි. තාත්තා එතකොට සේවය කළේ මහවැලි කේන්ද්‍රයේ. අපි පදිංචිවෙලා හිටියෙ පොල්හේන්ගොඩ. පාසල හමාර වෙන වෙලාවට තාත්තා එයාට ඒ දිනවල තිබුණු මෝටර් සයිකලයෙන් තමයි ආවෙ. ඒ එන යන මග මට හොඳට මතකයි. කොහොම හරි දවසක් කුමක් හෝ දෙයක් නිසා තාත්තාගෙ ප‍්‍රමාදය හේතුවෙන් මම තනියම පාර පැනxපැන ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා කාලා එහෙම සුපුරුදු විදියට සෙල්ලම් කරමින් මගේ පාඩුවෙ හිටියා. තාත්තා පාසලට ගිහින් මාව සෑම තැනකම හොයලා එතැන දෙවනත් කරලා බැරිම තැන ගෙදර ඇවිත්. මම නැති නිසා තාත්තා පුදුම විදියට බයවෙලා හිටියෙ. ඒ බය, කේන්තිය, සියල්ල එක්ක එයා මාව දැක්කම මොනවත් කිව්වෙ නැහැ, කෙළින්ම මුළුතැන්ගෙට ගිහින් ලූණු මුට්ටිය සහ වීදුරු කීපයක් පොළවෙ ගහලා එයාගේ තිබුණු පීඩනය තරහව දුක සියල්ල නැති කරගත්තා. එදා ඒ සිදුවීම තදින්ම මට හිතට දැනුණ දෙයක්. එතකොට මගේ වයස අවුරුදු 8 ක් විතර ඇති. ඊට පස්සෙ සුපුරුදු විදියට බයික් එකේ නැගලා තාත්තා ආයෙත් වැඩට ගියා. මට ඒ සිදුවීම් පෙළ හොඳට මතකයි වගේම තාත්තාව තදින්ම දැනුණ මොහොතක්.

 

එදා තහංචි එහෙමත් පනවලා තිබුණද?

කොහෙත්ම නැහැ. මම, නංගි, අම්මා අපි ඔක්කෝම කරන දේ ගැන තාත්තාට තිබුණෙ හොඳ විශ්වාසයක්. ඒ කියන්නෙ අපි කුමක්ද තෝරාගන්නෙ? කුමක්ද කරන්නෙ. ඒ දේ නිවැරදිව කරනවාය යන තදබල විශ්වාසයක් තාත්තාට තිබුණා. සාමාන්‍ය පෙළ කරද්දි මම පෙරදිග සංගීතය හැදෑරුවා. පසුව උසස් පෙළට ගණිත අංශය තෝරාගත්තා. එහෙම කළාය කියලා තාත්තා කිසිවක් මට කිව්වෙ නැහැ. යහපත් දැක්මෙන් ඒ දිහා බලා සිටියා.

 

ඔබ තාත්තාගෙන් දුටු සෙනෙහස හෝ ඊට එහා ගිය විශේෂත්වයක් හැටියට සඳහන් කළහැකි දෙයක් තියෙනවද?

‘තාත්තා’ කියන චරිතය ගත්තොත් පොදුවෙ අපි හැමෝටම ඒ චරිතය වෙතින් ලැබෙන දේ මම හිතන්නෙ එක හා සමානයි. තාත්තා කියන චරිතය එහෙමනෙ. හැබැයි අපේ තාත්තා වෙතින් ඊට එහා ගිය දෙයක් මා දුටුවේ නම්? එකක් තමයි තාත්තාට තිබුණු පුදුමාකාරවූ ඉවසීම. ඊළඟට තාත්තා වෙතින් දුටු අධිෂ්ඨාන ශක්තිය. තාත්තා එයාගේ පශ්චාත් උපාධිය කළේ අවුරුදු 55 වගේ වයසේදීයි. අනෙකුත් වැඩ තිබුණේය කියලා තාත්තා ඒ වැඬේ නතර කළේ නැහැ. එයාගෙ අරමුණට යන්න වයස ප‍්‍රශ්නයක් කර ගත්තෙත් නැහැ. පොතපත පරිශීලනය කියන දේ තාත්තා ඉතාම ඇල්මෙන් කළ දෙයක්. පසුකාලීනව තාත්තාගෙ නිර්මාණ කාර්යය වෙනුවෙන් ඉංග‍්‍රීසි සාහිත්‍ය හා ඒ හා බැඳුණු පොත්පත් පරිශීලනයේදී ඉංග‍්‍රීසි දැනුම වර්ධනය කරගන්න තාත්තාට  ඕනෑ වුණා. මට මතක විදියට ඒ වෙනුවෙන් ඉංග‍්‍රීසි භාෂාව ප‍්‍රගුණ කරන්න, ඉගෙනගන්න පුද්ගලිකව ගුරුවරයෙක් ළඟට ගියා. ඊළඟට මා දකින තුන්වැනි කාරණය වන්නේ තාත්තාට තිබුණු සුබවාදී ආකල්ප සහ දැක්ම. සිදුවන දේ, සිද්ධ විය හැකි දේ ආදී සියල්ල ගැන තිබුණෙ සුබවාදි ආකල්පයක්. ශල්‍යකර්මයට භාජනය වී සිටියදී තාත්තා මරණයේ රමණීයත්වය ගැන කව් පෙළක් පවා රචනා කළා. මරණය වුණත් එයා දුටුවේ සුබවාදීවයි. ඒක හරි පුදුමාකාර දෙයක්. ඒක ජීවිතාවබෝධය වෙන්නැති. එදා මම තාත්තාගෙන් ඉගෙන ගත්ත මේ විශේෂිත කාරණා ත‍්‍රිත්වය මට මගේ ජීවිතය ඉදිරියට ගෙනයාමට බෙහෙවින්ම පාදක වේවි. ජීවිතයේ විවිධ විෂයයන් වෙතින් උකහාගත් දේ එක්ක යථාර්ථයෙන් ජීවිතය දිහා බලන දැක්ම තාත්තාට තිබූ දෙයක්.

 

දෙදෙනා අතර තිබුණු බැඳීම මොන වගේද?

ලංකාවෙන් පිටත්ව ඔස්ටේ‍්‍රලියාවට මම ගියේ 2007 දී විතර. මගේ නික්මයාම තාත්තාට දුකක් ගෙන දෙන්න ඇති. ඒත් කවදාවත් මම හේතුවක් අරමුණක් නැතුව තීරණයක් නොගන්නා බව තාත්තා දැනගෙන හිටියා. ඒ නිසා තාත්තා අම්මා නංගි වගේම මගේ බිරිඳ සහ එයාගෙ අම්මා තාත්තා හැමෝම මට ඒ තීරණය ගැනීමේදී උදව් වුණා. මාත් ඒ තීරණය ගත්තෙ සතියකින් දෙකකින් හිතලා නෙවෙයි.

 

ඒ කියන්නෙ ඔබට ඒ වගේ අවස්ථාවලදී තාත්තාගෙන් ලද ආභාසය ඉවහල් වෙන්න ඇති?

ඒක හරි. ඒ විතරක් නෙවෙයි. එදා මගේ ඒ ගමන සාර්ථක කරගන්න තාත්තා ඔස්ටේ‍්‍රලියාවේ හිටපු එයාගෙ යාළුවන්ට පවා කතා කරලා පුදුමාකාර විදියට උදව් කළා. ඒ හැර මා ගත් තීරණය වෙනස් කරවන්න උත්සාහ ගත්තෙ නැහැ. ඒ අරමුණ සඵල කරගන්න අවශ්‍ය පසුබිම සියල්ල හදලා දුන්නා. මම ජිවිතයේ යම්කිසි විෂයක් ගැන දැනෙන්න සොයන්න පටන්ගත්තෙ සාමාන්‍ය පෙළින් පසුවයි. අන්න එතකොට හොඳ දේ නරඹන්න, කියවන්න, දැකගන්න පුරුදු කළා. හැබැයි අර ෆිල්ම් එක නරකයි කියලා, ඒක බලන්න එපාය කියලා තහංචි නම් දැම්මෙ නැහැ.

තාත්තා වුණත්, තරුණයින්ගේ නිර්මාණවල සිට  ඕනෑම කෙනෙක්ගෙ නිර්මාණ නැරඹුවා. ඒ වගේම අපි දෙන්නාට තිබුණෙ කරට අත දාගෙන ඇසුරු කරන පියxපුතු මිත‍්‍රත්වයක් නෙවෙයි. ඊට එහා ගිය විශ්වසනීයත්වයෙන් වූ බැඳීමක් තිබුණෙ. එක්කෝ එදිනෙදා වෙච්ච දේ නැරඹු දේ, නිර්මාණ ආදිය ගැන ඒවායේ ගුණදොස් ගැන අපි කතා කළ විදිය ටිකක් වෙනස්.

 

භානුක, රටින් පිටවෙලා ඔස්ටේ‍්‍රලියාවේ පදිංචියට යන්න පිටත්වූ මුල්ම දවසේ තාත්තාගෙ හැසිරීම මොනවගේ වුණාද?

ඕනෑම තාත්තා කෙනෙකුට තමාගෙ දරුවන් ඒ විදියට දුරස්ථවීම දුකක්නෙ. අපේ තාත්තාටත්, ඒ දුක දැනුණා සහ හැඟුණා. එදා මුල්ම වතාවෙ රටින් පිටව යද්දි මාව ඇරලවන්න තාත්තා ආවා. කොච්චර හැඟුම් තදකරගෙන හිටියත් අන්තිම මොහොතේ තාත්තාගේ දෙනෙතින් කඳුළු රූරා වැටිච්ච හැටි අදත් මට මතකයි. ඉන්පසුව මසකට හෝ කාලයකට ලංකාවට ඇවිත් ආපහු පිටත්වන අන්තිම මොහොතේදී එය ඒ විදියටම සිද්ධ වුණා. කොච්චර ශක්තිමත්ව සිටියත් හැඟීම් පුපුරා ගිය අවස්ථා ඒ විදියයි. මම ඒ විදියට ලංකාවට ඇවිත් සිටි කෙටි කාලවලදී, අපි නිර්මාණ නරඹන්න ගියා, බොහෝ දේ ගැන කතා කළා. අසනීපව සිටියදීත් තාත්තා, ඉතාම අසීරු ප‍්‍රයත්නයක් දාලා මම වෙනුවෙන්ම හඬ නිහඬ දර්ශනයක් සංවිධානය කළා. අන්න ඒ වගේ බැඳීම් අපට තිබුණෙ.

භානුක මෙලෙසින් ඒ පියxපුතු සුසංයෝගයේ හැඩය පැහැය විදිය ගැන බොහෝ විස්තර කරයි. ඒත් ඒ සියල්ල මේ එක් පිටුවකින් දෙකකින් අපට සටහන් කළ නොහැකිය. මේ අමරණීය තාත්තාගේ නිර්මාණ සුරැුකීමේ පවත්වාගෙන යාමේ වගකීම භානුකට පැවරී තිබේ. ඒ හැරත්, මවද රැුකබලා ගත යුතුය. පසුගිය දිනවල නැගණිය විශාල සේවයක් ඉටුකළාය. දැන් මේ ඔක්කෝම එකතු වී ඉදිරි කටයුතු ගැන කතා කරන මොහොතය. ඊට ඉඩදී නැවත ඔවුන් සමග දොඩමළුවීමේ රුචිය ඇතිව අපි නික්ම ආවෙමු.

 

 

සටහන/ඡායාරූපය: සඳුන් ගමගේ