මම චරිතයක් භාර ගන්නේ ඒ වෙනුවෙන් කැපවීම් කරන්න බලාපොරොත්තුවෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201002Surya-(3)සිනමා නිර්මාණ තුළින් රංගන ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණ වන සූර්යා දයාරුවන්, මේ වන විට වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ ටෙලිනාට්‍ය මාධ්‍ය තුළිනි. ඔහු රංගනයෙන් දායක වන තණමල්විල කොල්ලෙක් හා සල්මල් ආරාමය ටෙලිනාට්‍යය මේ වන විට විකාශය වෙයි. ඔහු සමග මේ කතාබහ එය නිමිති කරගනිමිනි.

සල්මල් ආරාමය ටෙලිනාට්‍යයේ ආනන්ද හිමියන්ගේ චරිතයට රංගන දායකත්වය ලබා දීමට යොමුවීම ගැන මුලින්ම කතා කරමු?

සල්මල් ආරාමය ටෙලිනාට්‍යය සඳහා අරුණ ජයවර්ධන අයියා තමයි මට ආරාධනා කළේ. මම ඒ ආරාධනාව පිළිගන්න හේතු කිහිපයක්ම තිබුණා. මම කුඩා කාලේ සිටම ආගමට ලැදි කෙනෙක්. පුංචි කාලෙම දහම් පාසල් යනවා. පාලි පද්‍ය ගායනාවලට යොමුවෙලා තිබෙනවා. පාලි පද්‍ය ගායනා තරගවලින් සමස්ත ලංකා යන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. මගේ තාත්තත් කවි ගාථා කියනවා. ඒ නිසා මට මේ පරිසරය හරි හුරුයි. මේ නිසා මට මේ චරිතය භාරගත්තොත් කරන්න පුළුවන් කියන විශ්වාසය ඇතිවුණා. ඒ වගේම මේ චරිතය භාරගැනීම තුළ මගේ රංගනයේ නොදැකපු පරාසයක් ප්‍රේක්ෂකයින්ට පෙන්වන්න පුළුවන් කියලා මම හිතුවා. මම හාමුදුරුවන්ගේ චරිතයට ගරු කරන කෙනෙක්. මම මීට පෙර අරුණ අයියාගේ ඒකාංගික නාට්‍යයකට හාමුදුරු කෙනෙකුගේ චරිතයට රංගන දායකත්වය ලබා දුන්නා. මම මගේ කොණ්ඩය කපලා සිවුර ඇන්ඳම මට ඒ සැහැල්ලුව දැනෙන්න ගත්තා. මට ඒ නිසා ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය ගැන විශ්වාසයක් ඇතිවුණා. මට වෙළෙඳ දැන්වීම් කිහිපයක්ම ලැබුණා. නමුත් ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය වෙනුවෙන් මම මගේ කොණ්ඩය කපලා හිටියේ. ඒ නිසා මම ඒ දේවල් ටෙලිනාට්‍යය, ගීත රූප රචනා අත්හැරියා. මම මේ චරිතය වෙනුවෙන් කටයුතු කළා. අරුණ අයිය දවසක් කිව්වා ඔහු මෙතරම් කාලයක් බැලූ ලංකාව තුළ නිර්මාණය වු චිත්‍රපට, ටෙලිනාට්‍ය තුළ හාමුදුරුවන්ගේ චරිත දැක්ක, නමුත් ඔයා වගේ මේ හාමුදුරුවන්ගේ චරිතය සාධාරණිකරණය කරපු කෙනෙක් දැක්කේ නැහැ කියල. මට අධ්‍යක්ෂකවරයාගෙන් ලැබුණ කමෙන්ට් එක ගොඩක් දැනුණා.මේ පිටපත තුළ මනුස්සකම ගැන සඳහන් වෙනවා. මිනිසුන්ගේ හදවතට කතා කරන දේවල් තියෙන්නේ. මම හිතනවා මේ නිසා මේ නිර්මාණය මිනිසුන් අතරට යයි කියලා. ඒ නිසා කැපවීම් කරන්න බලාගෙන මම ගොඩක් ආසාවෙන් මේ චරිතය භාරගත්තා.

මේ වන විට  විකාශය වෙන තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යය තුළ ඔබ රංගනයෙන් දායක වන චරිතය මීට හාත්පසින්ම වෙනස්. ඒ පසුබිම ගැනත් කතා කරමු?

මම ගමක හැදුණු කොල්ලෙක්. තණමල්විල කොල්ලෝ සෙට් එක තුළ ඉන්න චරිත මගේ ජීවිතේ කුඩා කාලේ ඉඳන් තිබුණා. එක කාලෙක රෙස්ලිම් බලනවා. තව කාලෙක ජිම් එකකට යන්න විදිහක් නැතුව බට දාලා සිමෙන්ති ගස් උස්සනවා. හොරෙන් නාන්න යනවා. සංගීතවලට යනවා. රණ්ඩු වෙනවා. මේ හැමදේම ඒ කාලෙට සමීපයි. ඒ නිසා මට ජගා කියන චරිතය රඟපාන්න පහසු වුණා. මම ඩ්‍රම්ස් ප්ලේ කරනවා. අපි කුඩා කාලේ බූලි එකතු කරලා පිඟන් එකතු කරලා ඩ්‍රම්ස් හදනවා. ඒ දේවල් එහි තිබෙනවා. අනික රොෂාන් රවීන්ද්‍ර කියන්නේ මම ගොඩක් ආදරය කරන චරිතයක්. ඒ නිසා මම ඒ නිර්මාණය භාරගත්තා.

මේ නිර්මාණය තුළ සමාජ දේශපාලන, ආර්ථික කාරණා, ඒ තුළ තරුණ ජීවිත එයාකාරයෙන්ම රූපවාහිනිය ඉස්සරහට ගේනවා. මේ ගැන ඔබේ කියවීම කෙබඳුද?

ඔව්. එවැනි දේශපාලනික, සමාජ, ආර්ථික ප්‍රශ්න ගොඩක් කතා කරනවා. මේ නිර්මාණයේ  මගේ ගෑනු ළමයා සුලෝචනා. එයාගේ ගෙදර අය මට කැමති නැහැ මම බෙරවායෙක්ගේ පුතෙක් නිසා. හැබැයි මම එක් අවස්ථාවක කියනවා මගේ අම්මා, තාත්තා බෙරකාරයෝ වුණාට, ඒ අය බෙර ගැහුවට මම ගහන්නේ ඩ්‍රම්ස් කියලා. මෙවැනි සමාජ කාරණා සාකච්ජා වෙනවා. මේ නිර්මාණය තුළ අපි සිගරට් පානය කරනවා. ගංජා පානය කරනවා. පරුෂ වචන කියනවා. එය විකාශය වෙන්නෑ. නමුත් මේ පරිසරයත් එක්ක ඒක සාධාරණිකරණය කරලා බලන්න කියලා ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලනවා. අපි ඇත්ත කතා කළ යුතුයි. මේ සමාජයේ වෙන ඇත්ත දේවල් තිබෙන්නේ. අපි කතා කරන්න බය වෙන්න ඕන නැහැ කියලයි මට හිතෙන්නේ. අපේ සංස්කෘතිය සදාචාරය එක්ක සමහර බැමි තිබෙනවා. ඒ තුළ තමයි ලංකාව තුළ නිර්මාණ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ඊට හානියක් නොවන ලෙස ඒ බැමි කඩන්නත් ඕන කියලයි මම හිතන්නේ. මිනිසුන්ට හිතන්න බුද්ධියක් තියෙනවා. ඒ නිසා ඔවුන් මේ ජිවිත තේරුම් ගනියි. රොෂාන් රවින්ද්‍ර අයියා ඒ අභියෝගය භාරගෙන තිබෙනවා.

වෙනස් චරිත දෙකක් එකම කාලෙක රූපවාහිනි ප්‍රේක්ෂකයින් වෙත සමීප වීම රංගන ශිල්පියෙක් ලෙස ඔබට හොඳ අවස්ථාවක් බවට පත්වෙනවා?

2020 කියන අවුරුද්ද මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වෙන අවුරුද්දක් කියලා මට හිතෙනවා. ප්‍රේක්ෂකයින්ට විවිධාකාරයේ අත්දැකීම් වටිනාකම් තිබෙන නිර්මාණවලින් ප්‍රේක්ෂකයින් අතරට එන්න ලැබීම මට ලොකු සතුටක්. මේ නිර්මාණ දෙක වගේම මගේ අමුත්තා වැඩසටහනත් විකාශය වනවා. එය මම නිවේදකයෙකු ලෙස දකින්න පුළුවන්. ඒ වගේම මගේ අලුත් ගීතය අනුරාගිනි. එහි රූප රචනාවත් මේ වෙද්දි නිමව තිබෙනවා. එය සිදුකළේ මිලානෝ නගරයේ. කසුන් මහේන්ද්‍ර තමයි පද රචනය. සංගීතය තුසිත් සිම්සන්ගෙන්. එයත් වෙනස් වෙයි. මේ හැමදේම එක්ක මට හිතෙනවා මෙය රංගන ශිල්පියෙක් ලෙස සාර්ථක අවුරුද්දක් බවට පත්වෙයි කියලා. සල්මල් ආරාමය හා තණමල්විල කොල්ලෙක් කියන්නේ වෙනස්ම ආකාරයේ නිර්මාණ දෙකක්.

ටෙලිනාට්‍ය කිහිපයකට එක් කාලඅවකාශයක් තුළ රංගන දායකත්වය ලබා දීමේදි ඒ චරිතවලට සාධාරණයක් කරන්න පුලුවන් කියලා හිතනවද?

ඔව්. හදිසි වෙන්න හොඳ නැහැ. කලබල වෙන්න හොඳත් නැහැ. ඔළුවට බරක් කියලා හිතලා කටයුතු කරන්නත් හොඳ නැහැ. හැමදේම සැහැල්ලුවෙන් නිදහසේ යොමුවුණාම මම හිතනවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. තණමල්විල කොල්ලෙක් නාට්‍යය රූගත කිරීම් අවසන්. මේ වෙද්දි සල්මල් ආරාමය ටෙලිනාට්‍යය හා හිතුවක්කාරි ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දිනවල ඒ නිර්මාණවල රූගත කිරීම් සිද්ධ වෙනවා. හිතුවක්කාරී ටෙලිනාට්‍යය තුළ අර්ජුන කියන චරිතයයි මම නිරූපණය කරන්නේ. සල්ලිවලට බන්ධනාගාරගත වන රස්තියාදුකාරයෙකුගේ චරිතයක් මම එහි කරන්නේ. එයත් වෙනස්. ඒකයි මම භාරගත්තේ. මේ නිර්මාණ තුන තුළ මගේ රංගනයන් තුනක් ප්‍රේක්ෂකයින්ට දකින්න හැකිවෙනවා. ඒ නිසා අපිට ඕනම දෙයක් කරන්න කාලය හදාගන්න පුළුවන් කියන තැන මම ඉන්නේ.

20201002Surya-(2)

චරිතයකට සුදානම් වීම හා ඒ සඳහා රංගන ශිල්පියෙකු ලෙස ඔබ ගන්නා කාලය ගැන කතා කළොත්?

අපි චරිතයක් කරනවා නම් ඒ වෙනුවෙන් කැපවීම් කළ යුතුමයි. නැත්තම් ඒ චරිතය තව කෙනෙකුට දනවන්න අපිට බැහැ. කරන දේ හොඳින් කරන්නයි මම හැමවිටම උත්සහ කරන්නේ. පිටපත අරගෙන කියවනවා වගේම ඒ හා සම්බන්ධ දේවල් මම කියවනවා. නිර්මාණ බලනවා. මගේ මිතුරන්ගෙන් අහනවා. අධ්‍යක්ෂකවරුන්ගෙන් අහනවා. ඒ අනුව හැමවිටම මට ලබා දිය හැකි උපරිම කැපවීම ඊට ලබා දෙනවා. මම චරිතයක් භාරගන්නෙත් ඒ වෙනුවෙන් කැපවීම් කරන බලාපොරොත්තුවෙන්.

ඔබ සිනමා මාධ්‍ය තුළින් තමයි ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ. නමුත් මේ වෙද්දි ඔබව දකින්න ලැබෙන්නේ ටෙලිනාට්‍ය මාධ්‍ය තුළින්?

චිත්‍රපට නිර්මාණ හයකට මම සම්බන්ධ වුණා. ඉන්පසු හොඳ නිර්මාණ මට ලැබුණේ නැහැ. අපිට කාලයක් තිබෙනවා. ඒ කාලේදි ප්‍රේක්ෂකයින්ට අපිට ලබා දෙන්න පුළුවන් දේ දෙන්න ඕන කියලා මම හිතුවා. තව කාලයක් යද්දි පාසල් චරිත ආදි දේවල් මට කරන්න හැකිවෙන්නේ නැහැ. නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයින්ගේ හදවතට කතා කරන්න පුළුවන් අවස්ථා ලැබෙන කොට මම ඒවා අත්හරින්නෙ නැතුව ඒවා භාරගත්තා. මම හිතනවා මම වැරැද්දක් කළේ නැහැ කියලා. සිනමා නිර්මාණ ලැබුණත් මම හොඳ නිර්මාණවලට දායක වෙනවා.

 

 

නිදුක් මදුෂික

20201002Surya-(1) 20201002Surya-(6) 20201002Surya-(10)