ලංකාවේ විශාලම වීදි පවුරු චිත්‍රය නිරාවරණය කෙරේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200211Art-(3)කුරුවිට නගරයේ නිර්මාණය කළ ලංකාවේ වර්ග ප්‍රමාණයෙන් විශාලම වීදි පවුරු චිත්‍රය පසුගිය සිකුරාදා (07දා) මහජනතාවට දැක බලා ගැනීම සඳහා නිරාවරණය කෙරිණි.

‘පිබිදිනු හදවත්- නගර අලංකාරණ කමිටුව’ විසින් සංවිධානය කළ මෙම චිත්‍රය කුරුවිට ප්‍රදේශයේ තරුණ චිත්‍ර ශිල්පියෙක් වන කේ.පී.එච්. චතුරංග ගමගේ තරුණ ශිල්පියාගේ මෝස්තර අලංකරණයෙන්  බිහිවූවකි.

දිගින් අඩි 270ක් සහ උසින් අඩි 30කින් යුතු මෙම විශාලතම සිතුවම කොළඹ රත්නපුර ප්‍රධාන පාරේ කුරුවිට පොලිස්ථානය පිහිටි කන්දේ ආරක්‍ෂාවට තැනූ පැති බැම්මේ නිර්මාණය වූ අතර එම මාර්ගයේ යන එන ඕනෑම කෙනෙකුට මෙම සිතුවම දැක ගත හැකිය.

කුරුවිට නගරයේ නම සෑදුන සමනල අඩවියේ සිටින කුරු අලි විසූ ඕවිට යන අරුත නිසා බිහිවූ කුරුවිට යන නම අර්ථගැන්වීමට මෙම සිතුවමින් කටයුතු කර තිබේ. ඒ පෘතුගීසීන්ට එරෙහිව සටන් කරමින් සිංහල ජාතිය රැක ගැනීමට මෙහෙවරක් කළ කුරුවිටරාළ නම් සිංහල රණවිරුවාගේ උපන් ප්‍රදේශය කුරුවිට නිසාවෙනි.එබැවින් එම රණවිරුවාගේ රුවද සිතුවම් අතරට නිර්මාණය වී තිබෙන අතර අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත මහා රට්ඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියන්ගේ රුවද පසෙකින් නිර්මාණය කර ඇත.

කුරුවිට ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ආවේනික මැණික් කර්මාන්තය, තේ සහ රබර් වගාවල නියැලි ජන ජීවිතය, ස්වභාවික ගහකොළවලින් සමන්විත සමනල අඩවියේ දර්ශන, ශ්‍රීමත් දළඳා වහන්සේ වසර හතළිස් තුනක් වැඩසිටි දෙල්ගමු රජමහා විහාරස්ථානයේ ඇති යෝධ කුරහන්ගලඇතුළත් කුරුවිට ආර්ථික, සමාජීය, ආගමික සහ සංස්කෘතික එකතුවද විස්මිත ලියැවල් කැටයම් කලාවද මෙම දැවැන්ත සිතුවමට පාදක වී ඇත.

කුරුවිට ප්‍රධාන බස් නැවතුමේ හිස් ඉඩ චිත්‍රයට නැංවීමෙන් පසුව මෙම දැවැන්ත සිතුවම නිර්මාණයට මුල් පුරන ලද්දේ පසුගිය දෙසැමිබර් 15 දිනය. ඒ අනුව විවිධ කාලගුණික සහ වෙනත් බාධා මැද රුපියල් ලක්‍ෂ දෙකක පමණ වියදක් දරා මෙම යෝධ සිතුවම නිර්මාණය කළ බව ‘පිබිදිනු හදවත්- නගර අලංකාරණ කමිටුවේ’ මාධ්‍ය අංශයේ ටී. ඩබ්. නිපුන් කාවින්ද තරුණයා අප සමග පැවසීය.

පරගල විහාරාධිපති පුපුරැස්සේ නන්දාලෝක හිමි දිවා රාත්‍රි නොතකා මේ සඳහා සොයා බැලූ බවත්, කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, පොලීසිය, ලංකා විදුලි බලමණ්ඩලය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනත්, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ ජන කොටස්වලට අයිති ප්‍රජාවත් මේ සඳහා විශාල අනුබලයක් දුන් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙහි සිතුවම් නිර්මාණ ශිල්පී කේ.පී.එච්. චතුරංග ගමගේ තරුණයා දෙදරු පියෙකු බවත්, ඔහු මේ නිර්මාණය අවසන් කිරිමට සිය රැකියාවෙන් පවා ඉවත්ව කටයුතු කළ බවත්, මෙම වීදි පවුරු සහ බිත්ති සිතුවම් කලාව ව්‍යාප්තවීම නිසා ඒ ඒ ප්‍රදේශවල නිර්මාණ ශිල්පීන් කළඑළි බැස ඇති බවද ඔහු වැඩිදුරටත්පැවසීය.

මෙම සිතුවම නිරාවරණය කිරීමේ අවස්ථාවට සමගාමීවමල්වෙඩි සංදර්ශනයක්ද පැවැත්වුණු අතර කුරුවිට ප්‍රාදේශීය සභා සභාපති ප්‍රේමරත්න මල්කැකුළ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.සෝමරත්න, ප්‍රාදේශීය ලේකම් දිලිනි ධර්මදාස, පොලිස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඒ.ඒ.පී.ඒ. කුලතුංග, සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී.ඩී. නිහාල් යන මහත්වරු ඇතුළු අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

 

අජිත්ලාල් ශාන්තඋදය

20200211Art-(1)20200211Art-(2)20200211Art-(4) 20200211Art-(5) 20200211Art-(6)