ආදරවන්තයින්ගේ දිනයේ දී සිනමා රසිකයන් වෙත පිදෙන තිළිණය “සුපර්ණා”



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුජීව ප්‍රියාල් යද්දෙහිගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “සුපර්ණා” පෙබරවාරි 14 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලා හි ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.

මිනිත්තු 101 ක් පුරා දිවෙන “සුපර්ණා” කතාව ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ ගමක සිදුවන සිදුවිම් පෙළකි. ගමේ එක්තරා ප්‍රදේශයක විදේශිකයන් විසින් පවත්වා ගෙන යන පාරිසරික පර්යේෂණ ආයතනයක් තිබේ. මෙහි රසායනාගාරයේ වැඩ කරන රවීන් එහි සිදුවන්නට යන්නාවු පර්යේෂණයක් ගැන ඔහුගේ මිතුරන් වන ඉන්ද්‍රජිත්ට හා සුපර්ණාට දැනුම් දෙයි. ඒ සමග හෙට දිනයේ ගමේ වැවට පර්යේෂණයක් සඳහා වෛරස් එකක් මුදා හරින බවත්, එය අවධානම් තත්ත්වයක් බවත්, දැනගත් සුපර්ණා හා ඉන්ද්‍රජිත් රවීන් සමග පර්යේෂණාගාරයට වැද වෛරසය සොරාගන්නට තිරණය කරයි.

ඔවුන් එදින සවස පර්යේෂණාගාරයෙන් වෛරසය සොරාගන්නා අතර ඉන් ඉවතට පැන යන අතර දි ආරක්ෂකයින්ගේ වෙඩි පහරට ලක්ව රවීන් මියයයි. ඉන් අනතුරුව සුපර්ණා හා ඉන්ද්‍රජිත් සොයමින් ගම පුරා යන පාරිසරික පර්යේෂණ ආයතනයේ ආරක්ෂකයින්ගේ සහයට පොලීසිය ද එකතුවේ. මේ අතර ගමට සෙත් ශාන්තියක් කරමින් දකුණු ප්‍රදේශයට ආවේණික වු පහතරට නැටුම් සම්ප්‍රදායේ එන ශාන්ති කර්මයක් ඉන්ද්‍රජිත්ගේ නිවසේ සිදුවෙමින් තිබේ. සැගවී සිටිනා සුපර්ණා හට අහම්බෙන් මුණගැසෙනා කිසියම් අමුත්තෙක් හරහා ඇගේ සම්භවය පිළිබඳ රහස දැනගැනීමට ලැබෙන අතර, ඇගේ පියා “භීම” නැමැති ග්‍රහලෝකයේ වැසියෙක් බවත්, ඇය කුඩා කල අතුරුදහන් වු ඇගේ පියා ඇය එන තෙක් භීමයේ බලා සිටින බවත්, ඇයට දැන ගැනිමට ලැබේ. ලාංකීය මහපොළොවේ සැබෑ ඉතිහාසය පිළිබඳවත්, පරිසර හිතකාමි මනුස්ස කොට්ඨාශයක් වු ඔවුන්ගේ සංස්කෘතික අංග පිළිබඳවත් පැය 48 ක් ඇතුලත සිදුවන කුතුහලය දනවන සිද්ධි දාමයක් සමග “සුපර්ණා” දිග හැරේ.

සොබාදහම, සංස්කෘතිය, පාරම්පරික කලාශිල්ප, ආදරය, ජන විශ්වාසයන් හා විද්‍යාව කැටි කොටගත් මෙම සිනමා නිර්මාණයේ තිර රචනය ද සුජීව ප්‍රියාල් යද්දෙහිගේ විසිනි.

දුලීකා මාරපන, අශාන් ඩයස්, ධර්ශන් ධර්මරාජ්, සංජීව උපෙන්ද්‍ර, දිනක්ෂි ප්‍රියසාද්, විණා ජයකොඩි, ජනක් ප්‍රේමලාල්, කළණ ගුණසේකර, බුද්ධික ජයරත්න, වසන්ත විට්ටච්චි, රයන් වැන්රෝයන් “සුපර්ණා” වෙනුවෙන් රංගන දායකත්වය සපයා තිබේ.

කැමරා අධ්‍යක්ෂණය ධනුෂ්ක ගුණතිලක, සංස්කරණය සහ ශබ්ද මිශ්‍රණය ප්‍රවීන් ජයරත්න, නිෂ්පාදන සැලසුම්කරනය ලාල් හරීන්ද්‍රනාත්, සංගීත අධ්‍යක්ෂණය පබලු විජේගුණවර්ධන, අංග රචනය හර්ෂ මංජුල, නිෂ්පාදනය කල්යාණි රණවක විසිනි.

20200212Suparna-1