‘ඉන්ටර්නැෂනල්’ මට්ටමට කරපු ගීතයක් තමයි ‘රාගයෙන්’ කියන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200213Dileepa-1‘මැෂප්’ ගීත ගායනයෙන් රසික හදවත් දිනාගත් යොවුන් ගායන ශිල්පියෙක් ලෙස දිලීප සාරංග හැඳින්විය හැකිය. මේ වනවිට තමන්ගේම ගීත දහයකට වඩා වැඩි සංඛ්‍යාවක් එළිදක්වා ඇති ඔහු මීට දින කිහිපයකට පෙර සිය අලුත්ම ගීතය වූ ‘රාගයෙන්’ සිය රසික, රසිකාවියන්ට තිළිණ කරනු ලැබුවේය. සිය අලුත්ම ගීතය හා ඉදිරි කලා කටයුතු පිළිබඳව දිලිප ‘සාරවිට’ අපි සමග මෙළෙස කතාබහ කළේමු.

එළිදැක්වූ අලුත්ම ගීතයෙන් අපි කතාව පටන් ගමු?

‘රාගයෙන්’ තමයි මගේ අලුත්ම ගීතය. මේ ගීතය ලිව්වේ මම. පද රචනා කළේ දිනේෂ් හේමන්ත. මේක ටිකක් ඉන්ටර්නැෂනල් මට්ටමේ ගීතයක්. රූප රචනාව නරඹන කොට ඒ බව පේනවා. ඒ රූප රචනාවට පෙනී ඉන්නේ මමත්, අමාෂා කියලා නවක නිරූපණ ශිල්පිනියක්. ගාල්ලේ මුහුදු තිරයේ තමයි ගොඩක්ම දර්ශන අපි රූපගත කළේ.

ඔබගේම  නිර්මාණ බොහෝමයක් දැනට එළිදක්වා තිබුණත් ඔබව වඩාත් ජනප්‍රිය වුණේ ‘මැෂාප්’ ගීත හරහා නේද?

ඔව්, මමත් හිතනවා මාව ගොඩ දෙනෙක් අඳුන ගත්තේ මම ගායනා කළා ‘මැෂාප්’ ගීත හරහා කියලා. දැනට මගේම නිර්මාණවලට වඩා මම එළිදක්වලා තියෙන්නේ ‘මැෂාප්’ ගීත. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට දැනෙන දෙයක් තමයි ‘මැෂාප්’ ගීතවට ගැළපෙන කටහඬක් මට තියෙනවා කියලා. තවත් දෙයක් තමයි මම තෝරගන්න ගීතවලට ගොඩක් අය කැමතියි කියලා.

‘රාගයෙන්’ පස්සේ ‘මැෂාප්’ ගීතයක් කරන්න අදහසක් නැද්ද?

කැලරන්ස් විජේවර්ධන මහත්මයාගේ ගීත යොදාගෙන ‘මැෂාප්’ ගීතයක් කරන්න අදහසක් තියෙනවා. නමුත්, මේ ගීතය නිර්මාණය කරන්න කළින් මම සැළසුම් කරමින් ඉන්නවා මම ගායනා කරපු ගීත අතරින් ගොඩක්ම ජනප්‍රිය වුණ ‘මගේ කඳුළ’ කියන ගීතයට රූප රචනාවක් කරන්න. මේ දිනවල මම ලංකාවට ඇවිල්ලා ඉන්නෙත් ඒ නිසා. ‘මගේ කඳුළ’ ගීතය ලිව්වේ දිල්ශාන් එල්. සිල්වා. සංගීතවත් කළේ ලසිත ජයනෙත්ති. මේ ගීතයේ ඕඩියෝව නිකුත් කරලා  ටික කාලයක් වෙනවා. ගොඩක් අය අතර ජනප්‍රිය වුණ නිසා තමයි මේ ගීතයට රූප රචනාවක් කරන්න මම හිතුවේ.

මෑතකදී ඔබ රංගනයටත් යොමු වුණා කියලා කතාවක් යනවා?

ඔව්, සුරේන්ද්‍ර පෙරේරාගේ ගායනා කරන ගීතය රූප රචනාවක පෙනී හිටියා. එය පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයන්ගේ දිනයේදී  එළිදක්වන්න සූදානම් කරලා තියෙනවා. සිරස රූපවාහිනි නාලිකාවෙන් කරන වැඩක් එක. ඊට අමතරව රංගනයටත් ආරාධනා කිහිපයක් දැනට ලැබිලා තියෙනවා. තවමත් ඒවා සාකච්ඡා මට්ටමින් තියෙන්නේ. බලමු ඉදිරියට.

ඔබ ‘යූ ටියුබ්’ තරුවක් නේද?

මගේ ගීත ගොඩක් වෙලාවට මම රසිකයන් අතරට යවන්නේ මගේ ‘යූ ටියුබ්’ චැනලය හරහා. මොකද, මම විදෙස් රටක රැකියාවක් කරමින් ජීවත් වෙන කෙනෙක්. ප්‍රසංග සඳහා මට යන්න ලැබෙන අවස්ථාව අඩුයි. ඉතාලියේ පැවැත්වෙන ප්‍රසංග සඳහා ආරාධනා ලැබෙනවා. ඒත්, කාලවෙලාව අනුව තමයි මම ඒවාටත් සහභාගි වෙන්නේ. ගොඩක් වෙලාවට මගේ ගීත රසික, රසිකාවියෝ අහන්නේ, බලන්නේ ‘යූ ටියුබ්’ චැනල්වලින් තමයි.

ගීතයක් නිර්මාණය කරන්න යම් මුදලක් අවශයි. ඒවා ඔබ සොයාගන්නේ කොහොමද?

මගේ රැකියාවෙන් ලැබෙන මුදල්වලින් තමයි බොහෝ වෙලාවට කරන්නේ. එහෙම නැත්නම් මගේ යහළුවෝ මට අනුග්‍රාහය දක්වනවා. නැත්නම් හිතවත් අය මුදල් දෙනවා. ඊට අමතරව මම ‘යු ටියුබ්’ චැනලය හරහා එළිදක්වන ගීතවලට මුදල් ලැබෙනවා. නමුත්, ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මම නිර්මාණය කරන ‘මැෂාප්’ ගීතවලට රූප රාමු මම යොදන්නේ විදෙස් රටවල්වලින් නිර්මාණය කළ රූප රචනා. එහෙම වුණාම ‘කොෆි රයිට්’ වදිනවා. බොහෝ අවස්ථාවල ගීතයට වියදම් කරන මුදල පවා මට නොලැබෙන අවස්ථා තියෙනවා.

බුද්ධික සේනාධීර     

20200213Dileepa-2