අලූත් නිර්මාණ නොකළොත් සුභාවිත ගීතය අභාවයට යනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මං මතක පොතේ පිටු අතරේ තනි වෙන්නම්. ඔබෙ සිත ආපසු ගෙන යන්නට ඉඩ දෙන්නම්.

දුරකථනයෙන් ඇසෙන්නේ මියුරු ගී හඬකි. එය කෙළවර වූ ඉක්බිති ඔහු හලෝ යැයි කීවේය.

මෙම සෙනෙවිරත්න වන්නිනායක

අනතුරුව ඔහු කීවේය.

 

ඒ සිංදුවෙ ඊළඟ පද මොනවද?

අර ගීතයට ආසා හිතුණෙන් මම ඇසුවෙමි. නොඑනා සතුටේ කිමිදෙන්නට ඉඩ  දෙන්නම්.

 

මං මතකය විතරක් අරගෙන යන්නම්?

ඕක ලාල් ආනන්ද අබේධීර ලියලා සංගීතවත් කළ ගීතයක්.

20200213Senarath-1

මෑතකදී ද කළේ ?

අපොයි. නෑ බොහොම ඈතක. ඒත් මම කැමතිම ගීතයක් නිසා ෆෝන් එකට කතා කරන කෙනෙකුට ඇහෙන්න මම ඒ සිංදුව දාගෙන ඉන්නවා.

ඈතක කිව්වේ?

ඒක රස කතාවක්. කියන්න ද?

කියන්න?

මම දවසක එච්.එම්. ජයවර්ධන මුණ ගැහෙන්න එයාගේ ගෙදර ගියා. ඒ යනකොට ගුවන් විදුලියෙ විපුල ධර්මප‍්‍රිය ජයසේකරයි සුදන්ත තිලකසිරියි එහෙ හිටියා. කට්ටිය හිටියේ මදු විතක රස බලමින්. මමත් ඉතින් එතෙන්ට සෙට් වුණා. එතකොටම ලාල් ආනන්ද අබේධීර කියන කෙනත් ඔතෙන්ට ආවා. විපුල ඒ වෙලාවෙ ගුවන් විදුලියට කතා කරලා සුදන්ත තිලකසිරිගේ සිංදුවක් වාදනය කෙරෙව්වා. ඊට පස්සේ මගෙ දිහා බලලා වන්නි ඔයාගෙ සිංදුවකුත් ප්ලේ කරනවන්නද කියලා විපුල මගෙන් ඇහුවා. මම හා කිව්වා. ඊට පස්සේ විපුල ගුවන් විදුලියට කතා කරලා මං ගයන ගණදුර පමණක් කියන කපිල එම්. ගමගේ ලියපු ගීතයක් වාදනය කෙරෙව්වා.

සිංදුව ඉවර වුණාම ලාල් ආනන්ද අබේධීර මට කතා කළා. ඔයාගේ හඬ ලස්සනයිනෙ. මම දන්නේ නෑනෙ ඔයා ගායකයෙක් විත්තිය. ඔයා කැමති නැද්ද මම හදපු සිංදුවකුත් කරන්න.

බලමු බලමු කියලා මං කිව්වා.

ඒ වෙලාවෙම ලාල් එයා ළඟ තිබුණු ඔය මතක පොතේ ගීතය මට කියලා පෙන්නුවා. ලස්සන වාදනයකුත් එක්ක. මට ආසා හිතුන. මම කැමැත්තෙන්ම ගායනා කළා.

 

එතකොට ඔබ ගී ලොවට එන්නේ ඔය ගීතයෙන් නොවෙයි. ගණදුර විතරක් කියන ගීතයෙන්ද?

ඒකත් ටිකක් දිග කතාවක් කියන්නද?

 

කියන්න?

ඔය 1992 දී විතර සුදම් එස්. පහළගම කියන මාධ්‍යවේදියයි. ඌව ප‍්‍රජා ගුවන් විදුලියෙ පාලක උපුල් කරුණාරත්නයි මාව ගංගාරාමෙට එක්ක ගිහින් රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ට හඳුන්වා දුන්නා. ඔය වෙද්දි මම මහවැලි සංස්කෘතික අංශයෙ ස්ථාන භාර නිලධාරී ලෙස සේවය කරමින් හිටියෙ. නමුත් මම කියපු ගීතයක් දෙකක් ඌව ප‍්‍රජා ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය වෙමින් තිබුණා.

මේ සුන්දර අනූව කැසට් පට වැහි වහින කාලෙ. මටත් ගී එකතුවක් කර ගන්න උවමනාව තිබුණත් ඒකට සල්ලිත් නෑ. ක‍්‍රමයකුත් නෑ. ගීත රචකයොවත් ප‍්‍රවීණ සංගීතඥයොවත් මං හඳුනන්නෙත් නෑ. රඹුකන හාමුදුරුවන් මුණ ගැහෙන්න මම එන්නේ ගී එකතුවක් ගැන හීනයකුත් එක්ක. හාමුදුරුවො මට උදව් කළා. ගීත රචකයො අඳුන්නලා දුන්නා. සංගීතඥයො අඳුන්නලා දුන්නා. ඒ හැමෝමත් උදව් කළා. කොහොම හරි ගීත 12 ක සංගීත පටි රෙකෝඞ් කර ගන්න පුළුවන් වුණා. මං බැංකුවෙන් ණයට ගත්තු රුපියල් විසි පන්දාහම ඒ ට‍්‍රැක් ටිකට ඉවර වුණා. පස්සේ මම වැඬේ අතෑරියා. අපහු ගමට යන්න හිතාගෙන රඹුකන හාමුදුරුවන්ට වැඳලා සමු ගත්තා.

 

මොකද මේ?

හාමුදුරුවො ඇහුවා.

මම ගමේ යන්න කියලා අපේ හාමුදුරුවනේ.

 

කැසට් එකේ වැඩ කොහොමද?

ට‍්‍රැක් දොළහ හරි. ඒත් ඉන් එහාට මුකුත්ම කර ගන්න සල්ලි නැහැ. හාමුදුරුවනේ. ඒ නිසා වැඬේ කල් දාන්න හිතුව.

හාමුදුරුවො හිනා වුණා.

අර කැලැන්ඩරේ දාහතරවෙනිදා දිනේ ළඟින් නම ලියන්නකෝ.

මම හාමුදුරුවො දිහා පුදුමයෙන් බැලූවා.

දාහතරවෙනිදා එමු. සිංදු ටික ඔක්කොම පුරුදු වෙලා එහෙම.

මම දාහතරවෙනිදා කොළඹ ආවා. එතැන ඉඳලා ගී එකතුවෙ වැඩ අවසන් වෙනතුරු ඔක්කොම වියදම් කෑම බීම නවාතැන් හැමදේම කළේ හාමුදුරුවො.  සිංදු දොළහ කිව්වට පස්සේ හාමුදුරුවො ඒ හැම සිංදුවක්ම හොඳට ඇහුවා.

කැසට් එකට කඳුළු මිටියාවතේ කියන නම දාමු.

ඒක හොඳයි හාමුදුරුවනේ. ඒ සිංදුව ලිව්වේ මගේ නෝනා සුසිලා මංගලිකා.

එහෙමත් එක්කද? බැඳලද ඉන්නේ.

හාමුදුරුවො හිනා වෙවී ඇහුවා. මේ කැසට් එක දොරට වැඩියෙ ගිරාඳුරුකෝට්ටෙ සංවර්ධන මධ්‍යස්ථානයෙ.

ඒ උත්සවේට කොළඹින් මහ ගොඩන් ආවා. එච්.එම්ල රෝහණල, සුනිල්ල, බණ්ඩාර ඇහැලියගොඩල එහෙම. කට්ටිය එන්න මහ වැලියෙ බස් එකත් ලෑස්ති කරලා දුන්නේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයා. ගමන උත්සවය හැමදේම සංවිධානය කළේ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවො.

ඒ කැසට් එකේ තිබ්බ ගී අතුරින් කඳුළු මිටියාවතේ හුඟාක් ජනප‍්‍රිය වුණා.

 

කියමු බලන්න පද?

කඳුළු මිටියාවතේ

රෝස කුසුමක් පිපේ

සිතක සඟවා හමයි මාරුතේ

බමර සේනානැගී

කොපුල් ලතැවුල් සරින්

හිතට කොඳුරා කියයි ආදරේ...

ඔය කාලේ රුපවාහිනියේ අජිත් දර්ශන ජයවීර එහෙම මට හුඟාක් උදව් කළා.

 

ගී ප‍්‍රසංගයකුත් කළාලූ නේද?

ඔව්. ඒ 1996 දී අනුරාධපුරේදී සෙනෙවි ගී කියලා.

 

රණවිරු ගී ද ඒකට ඇතුළත් වුණේ? 

නෑ. නෑ. මං කියපු ගී. ගුණදාස කපුගේ, මාලනී බුලත්සිංහල, සමන් ජිනදාස, ආරාධිත ශිල්පීන් විදිහට සහභාගී වුණා.

සිද්ධාර්ථ හාමුදුරුවො කිව්වා අනුරාධපුරේ දක්ෂ කොල්ලෙක් ඉන්නවා. ක‍්‍රිෂාන්ත එරන්දක කියලා බැරිද ඌටත් තැනක් දෙන්න කියලා. හාමුදුරුවන්ට බෑ කියන්න බැහැනේ. මං ඉඩ දුන්නා. එදා ක‍්‍රිෂාන්ත වී පැදුරෙන් සිංදුව කිව්වා. මේ ෂෝ එකට වසන්තල දෙන්නෙක් ඇවිත් හිටියා. ඒ ලලිත් වසන්තයි වසන්ත රෝහණයි. ඒ දෙන්නම ක‍්‍රිෂාන්තගේ කට හඬට පැහැදුණා. වී පැදුරෙන් කියන ගී එකතුව නිල්වලා ලේබලයෙන් ආවේ එදා වසන්තලා දෙන්නගෙ කතා බහෙන් පස්සේ.

 

එදායින් පස්සේ ක‍්‍රිෂාන්ත ඔබට වැඩියෙ දුර ගමනක් ගියා.

ඔව්. ආර්ථික ප‍්‍රශ්න මගේ ඉදිරි ගමන නතර කළා. මම කාලයක් නිහඬව හිටිය. දැන් තමයි ආයෙම සංගීත ගමන පටන් ගත්තේ.

 

ඇයි එක පාරටම අළු ගසා දාන්න හිතුණෙ?

උදයංගනී ඉෂාරා කියන්නේ ගිරාඳුරුකෝට්ටෙන් මතුවෙන ගායිකාවක්. හොඳට සල්ලිය බාගෙ එහෙමත් තියෙනවා. ඉෂාරාගෙ ගීතයක කොටසක් ගායනා කරන්න මට ඇරියුමක් ආවා. මම කැමැත්තෙන්ම ඒ ගීතය ගායනා කළා.

ලියා නිම කරනු බැරි වූ  කියා නිම කරනු බැරි වූ ඔබේ පපුතුරේ සෙනෙහස කෙසේ වියැකුණේ කියන නයනසේන වන්නිනායක ලියපු ගීතයක්.

 

වන්නිලා දෙන්නෙකුගේ වැඩක්?

ඔව්. ඔව්. මමත් වන්නිනායකනෙ. ඊට පස්සේ ප‍්‍රසාද් නීලවල කියලා ගීත රචකයෙක් ලියපු ගීතයක් නිපුනි නයනතාරා එක්ක ගායනා කරන්න ලැබුණෙ. ඒකත් පුදුම ලස්සන නිර්මාණයක් වුණා.

තනි තරුව ඔබයි

පිනි කඳුළ ඔහුයි

සරා සඳට අකීකරුව

රිද වන්නේ ඇයි

තනි තරුව මමයි

තරු අහස ඔබයි

සරා සඳට මගේ සතුට

නොදැනෙන්නේ ඇයි? 

 

නිපුනි ගැන මොකද හිතෙන්නේ?

හොඳ ලයාන්විත හඬක් තියෙන්නේ රහට සිංදු කියනවා. කවදා හරි දවසක ලංකාවේ ජනප‍්‍රියම ගායිකාවක් වේවි කියලා මම හිතෙනවා.

 

මේ අලූත් ගීත ජනප‍්‍රිය ද?

යූටියුබ් හරහා තමයි ඔය ගීත ප‍්‍රචාරය රසිකයන්ට සමීප වෙන්නේ. එෆ්.එම්. නාළිකාවල යන්නේ ඉඳහිට. රංගිරි ශ්‍රී ලංකා ප‍්‍රජා ගුවන් විදුලි වගේ නාලිකා වල විතරනෙ ප‍්‍රචාරය වෙන්නේ.

 

හදිස්සියෙ සඳැල්ලට කතා කරන්න හිතුනෙ?

අලූත් ආරංචියක් කියන්න.

මම සංගීත නිර්මාණ කටයුතු පටන් ගත්තා.

ඒ කියන්නේ තනු නිර්මාණය ගීත නිර්මාණය අලූත් පරපුරකට ගායනා සිහිනය සැබෑ කරන්න මට උදව් වෙන්න පුළුවන්.

නාලිකාවල ගීත ප‍්‍රචාරය කළේ නෑ කියලා අලූත් නිර්මාණ නොකර හිටියොත් සුභාවිත ගීතය අභාවයට යනවා.

ඒ නිසා අපි නිර්මාණ කරලා බලමු. හොඳ දේවල් කවදාක හරි ඉස්මතු වේවි. මැණික් පොළව යට හැංගිලා තිබිලා තිබිලා එළියට ආපු දවසට වටිනාකම වැඩියිනෙ. හොඳ ගීතත් කවදා හරි මතු වේවි.

එහෙම නම් දුරකථන අංකයක් කියමු.

0776304848

 

ශාන්ත කුමාර විතාන