පාළුවක් තනිකමක් දැනෙද්දි අතට ගන්නේ ඒ පොත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Art එකේ කැරට්ටුව.. හඬ: බුද්ධදාස ගලප්පත්ති

කාත් කවුරුත් ළඟක නැති මොහොතක හිනැහෙමින් පහුරු ගාන හුදෙකලාව තුන් හිත අසල ගැවසෙද්දී නොරිකො සං ඇවිත් ඒ හිත් පිල්කඩේ කොහේ හරි තැනක ඉඳගන්නවා... දෙවොන්දරා සං යන්නම ගියත්... නොරිකෝ ඇරලවලා එන්න ගියත් ප්‍රේමයක් නිමාවෙන්න හැකිද ඒ ලෙස... හිත මගේ අහන්නෙම එහෙම... මළගිය ඇත්තෝ මළවුන්ගේ අවුරුදු දා නවකතාවක් නොවෙයි ශෝක රසයේ උල්පත් මැවූ මහා කාව්‍යයක් විදිහටයි මට පෙනුණේ... මේ අල්ල පනල්ලේ දෙවොන්දරා සං සහ නොරිකෝ සං වයි මට මතක් කළේ බුද්ධදාස ගලප්පත්ති... ඔහුගේ ජීවිතයටත් මේ චරිත දෙක සෑහෙන්න බලපෑමක් කළාලු... 

නොරිකෝ දෙවොන්දරා ගැන කතාකරන්න ඉස්සර.... මේ දවස්වල එයාගේ නිර්මාණ කටයුතු ගැන අපිට පොඩ්ඩක් දැනගෙන ඉමුද?
මේ අවුරුද්දෙ මගේ අලුත්ම කවිපොත වන පහළොස් පැය පාඨකයා වෙනුවෙන් ජනගත කළා..  ඒත් එකක්ම මගේ තීරුලිපි සංග්‍රහයේ අලුත්ම තීරැලිපි එකතුව එදවස සොඳුරුමය හයවන කාණ්ඩය පොතත් දොරට වැඩියා. ඒ ඇරෙන්න සාමාන්‍ය පරිදි නිර්මාණත් එකක්ම ජීවිතය ගතවෙනවා... 

20200213Buddadasa-1මම මෙහෙම අහන්නම්කො බුද්ධදාස ගලප්පත්තිගේ ජීවිතයට සමීප වුණු නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතාකරමුද..?  හැමදාම වගේම කොන්දේසි දෙකක් තියෙනවා... ඒ නිර්මාණය ගීතයක් වෙන්නත් බෑ? ඔබේ නිර්මාණයක් වෙන්න බෑ... එකඟද?
හරි... එකඟයි කියන්නාක් මෙන්.. සුන්දර හිනාවක් ඔහුගේ මුවගේ... 

මෙහෙමයි.. එක නිර්මාණයක් තෝරගන්න එක ටිකක්  අමාරු වැඩක්.. නමුත් ඔබ එක නිර්මාණයක් ගැන කතා කරන්න කිව්වාම... මගේ මතකයට ආවේ.. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ව... සරච්චන්ද්‍රයන් නිර්මාණය කරපු නාට්‍යවලින් සිංහබාහු නාට්‍ය මගේ ජීවිතයට ගොඩක් සමීපයි. සිංහබාහු නාට්‍යය සෑහෙන වාර ගණනාවක් මාව පිනවලා තියෙනවා.. ඒ වගේම සරච්චන්ද්‍රයන් රචනා කරපු පොත් කියවලා මම පුදුමාකාර රසයක් විඳලා තියෙනවා. ඒ අතරිනුත් මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා කෘති දෙකත් විශේෂයි... අද මම කතා කරන්න හිතන් ඉන්නෙ මළවුන්ගේ අවුරුදු දා කෘතිය ගැන..   

විශේෂ හේතුවක් ඇති නේද මේ පොතට මෙච්චරම ආදරය කරන්න...?
ඇත්තටම මම ගොඩක්ම මේ පොතට කැමති වෙන්න හේතුව නොරිකෝ කිව්වොත්... ඒක තමයි ඇත්ත.. 

මේ නවකතාව දිග ඇරෙන්නේ... ජපානයට යන දෙවොන්දරා සං කියන සිත්තරා  සහ ජපානයේ වෙසෙන නොරිකෝ සං කියන තරුණිය  අතර ඇතිවන මානව සම්බන්ධතාවක්. මේ කෘතියට ප්‍රේමය මුල් වුණත්... හැබැයි ඒ ප්‍රේමය ප්‍රකාශිත ප්‍රේමයක් නෙමේ.... නමුත් මේ දෙන්නට මේ දෙන්නා නැතුව බෑ... අවසානයේ දෙවොන්දරා සං නොරිකෝට සමුදීලා ලංකාවට එන්න තීරණය කරනවා. අන්න ඒ අවස්ථාවේ නොරිකොගේ මානසිකත්වය, ඇය අත්විඳන හුදකලාව වගේම අතීත ස්මරණ, ඔවුන් දෙදෙනා ටෝකියෝ ගතකරපු සුන්දර ජීවිතය ගැන මතකාවලියක් සරච්චන්ද්‍රයන් අපූරුවට මේ පොතේ විස්තර කරනවා... සරච්චන්ද්‍රයන් මළගිය ඇත්තෝ කෘතිය රචනා කරන්නෙ දෙවොන්දරා සං ගේ දෘෂ්ඨියෙන්... මළවුන්ගේ අවුරුදු දා කෘතිය රචනා කරන්නෙ නොරිකෝ සං ගේ දෘෂ්ඨියෙන්... 

බුද්ධාස ගලප්පත්තිට මේ තරමටම මේ පොත සමීප වෙන්න පොතත් එකක් බැඳුණු ජීවිත අත්දැකීමක් තියෙනවා කියලා මට හිතෙනවා...?
මගේ ජීවිතයෙත් මම විඳපු අත්දැකීම්වල සමුගැනීම්, මුණගැසීම්, ආදරය අහිමිවීම් වගේ දේවල් තිබිලා තියෙනවා. ඒක මට විතරක් නෙමේ... මේ ලෝකයේ ඉන්න ඕනෑම තරැණයෙකුට හෝ තරුණියකට පොදු කාරණයක්.. ඒ අවස්ථාවේදී අපි කාටත් දැනෙන ශෝකය, පාළුව, අතීත ස්මරණය තුළ ජීවත්වෙන්න තියෙන ආශාව වගේ දේවල් ඕනම කෙනෙකුගේ ජීවිතවලට බලපාන්න පුළුවන්.. ඒ දේවල් තමයි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මළවුන්ගේ අවුරුදු දා පොතේ ගැබ්වෙලා තියෙන්නෙ... මට හිතෙන විදියට හැම කෙනෙකුටම ඒ අත්දැකීමේ කොටසක් හෝ සමීපවෙලා තියෙනවා. ඒ වගේම මහාචාර්යවරයාගේ විශිෂ්ඨ රචනා ශෛලය ගැනත් යමක් කියන්නම ඕනෙ.. අතිශය සියුම් මානව හැඟීම් අකුරු බවට පත්කරන්න ඔහුට විශිෂ්ඨ හැකියාවක් තිබුණා... ඒ රචනා ශෛලයත් බොහෝ දුරට හේතුවෙන්න ඇති මට මේ කෘතිය මෙච්චරම දැනෙන්න...  

නිර්මාණයක් රසවිඳිද්දි ඒ නිර්මාණය ඇතුළේ ඉන්න චරිත අපේ කරගන්න අපි කැමතියි... ඔබ ඔබේම කරගත්ත චරිතයක් ඇති නේද?
මේ නිර්මාණය ඇතුළේ මූලිකවන ප්‍රධානම චරිත දෙක තමයි නොරිකෝ සං සහ දෙවොන්දරා සං කියන්නෙ.. මම මාගේම කරගත්ත චරිතය තමයි, නොරිකෝ සං කියන්නෙ.... ඒකට හේතු ගොඩක් තියෙනවා... දොවොන්දරා සං කියන ලාංකික සිත්තරාට ඇය ආදරය කරනවා... මේ දෙදෙනා ජාතීන් දෙකකට අයත් සංස්කෘතීන් දෙකකට අයත් දෙන්නෙක්. නමුත් ඔවුන් දෙදෙනාගේ ආදරයට ඒ කාරණා වැදගත් වෙන්නෙ නෑ. මේ දෙදෙනාගේ සිතුම් පැතුම් බොහෝදුරට සමානයි.. නාට්‍යයක් බලන්න ගියත්, ස්වභාව සෞන්දර්ය විඳින්න ගියත් දෙදෙනාම එකම විදියට හිතන්නෙ. නොරිකෝ හැමෝටම උදව් කරන කෙනෙක්. මේ චරිත දෙකටම මගේ කැමැත්තක් තියෙනවා. නමුත් වැඩියෙන්ම කැමති නොරිකෝට තමයි.

මළවුන්ගේ අවුරුදු දා කෘතිය රසවිඳිද්දී ඔබේ සිත වැඩියෙන්ම සංවේදී කරපු තැනක් දෙකක් මතක් කරමුද...?
ඔව් මේ පොතේ ගොඩක් තැන් එහෙම තියෙනවා... මම වැඩියෙන්ම සංවේදී වෙන්නෙ දුක කියන එක කෙලින්ම කියන තැන්වල නෙමේ. ව්‍යංගයෙන් කියන තැන්වල දුක දැනෙනවා වැඩියි. අපේ හිත් නැවතෙන්නෙ එතන... පොතේ අවසාන භාගයේ මම වඩාත්ම කැමති තැන් දෙකක් තියෙනවා. එක සිද්ධියක් තමයි දෙවොන්දරා සං සහ නොරිකෝ සමුගන්න මොහොතේ... නොරිකෝ මෙහෙම කියනවා. 

තව කල්දැම්මත් කවදා හරි යන්න එපායැ?
මොකටද කල්දාලා..? 
ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවනි?

යළිත් ආ හැකි නිසාද ඔහු යන්නෙ....
නොගියොත් යළිත් ආ නොහැකිය. 
යාම හොඳයි, ගොස් ඒමද හොඳයි. 
ලොව ඇත්තේ යාම ඒමය.. 
ඇවිත් යන්නට බැරිය
නොගොස් එන්නට බැරිය...

අන්න ඒ කොටසට මම හරිම කැමතියි..  ජීවිතය පිළිබඳ පොදු සදාතනික ධර්මයක් තමයි සරච්චන්ද්‍රයන් කියන්නෙ... ජීවිතේ යථාර්ථය මෙයමයි.. ඒ ඇරෙන්න මේ පොතේ මම ආසම තව තැනක් තියෙනවා. ඒ මහාචාර්ය සරච්චන්ද්‍රයන් කාව්‍යම භාෂාව උපයෝගී කරගෙන නොරිකො සං සහ දෙවොන්දරා සංගේ අතීතය ස්මරණය කරන ආකාරය... මෙන්න මෙහෙමයි සරච්චන්ද්‍රයන් ඒක විස්තර කරන්නෙ. එහෙත් එදා රාත්‍රියේ  රුප්පාවල   හිඳ‍ගෙන ගී ගයමින් රමණය කළ නුවරුන් අතර  ප්‍රීති ප්‍රාමෝද්‍යයෙන් විසඥ වූ කලක් මෙන් නිහඬව ඔහු සමග සක්මන් කරමින් හුන් වේලෙහි අප දෙදෙනා සුපින ලොවක සැරිසරන්නවුන් සේ පෙනුණ ද මතු මත්තෙහි කුමක් වෙතත් යොවුන් වියෙහි මට මේසා ආස්වාද විඳින්ට ලැබීම මහත් භාග්‍යයක් යයි මම කල්පනා කළෙමි. මෙන්න මේ  වචන ටික ඉතාම ලස්සනයි ඔවුන් දෙදෙනාගේ අතිශය පිවිතුරු ප්‍රේමය මේ වචවල ගැබ්වෙලා තිබුණා... අන්න ඒ කොටසටත් මම බොහෝ සෙයින් ප්‍රිය කරනවා..  සිංහබාහු නාට්‍යයටත් මහාචාර්ය සරච්චන්ද්‍රයන් මේ අපූරු භාෂා විලාසය පාවිච්චි කරලා තිබුණා.

මළවුන්ගේ අවුරුදු දා ඔබට මුලින්ම මුණගැහෙන්නේ කොහොමද?
පාසල් යන කාලේ ඉඳන් නිර්මාණ රසවිඳින්න කැමති කෙනෙක් විදියට අලුත් නාට්‍යයක් අලුත් පොතක් ආවොත් මම බොහෝ වෙලාවට එය හොයාගෙන බලනවා..  මළගිය ඇත්තෝ කෘතිය මම කියවන්නෙ පාසල් කාලයේම... ඊටපස්සේ මේ කෘතියෙම දෙවැනි කොටස ලෙස මළවුන්ගේ අවුරුදු දා මම කියවන්නෙ එක්දාස් නමසිය හැට පහේ ඒ විශ්වවිද්‍යාලට ගියාට පස්සෙ.. 

මේ කෘතිය දැනට ඔබ කී වතාවක් කියවලා තියෙනවාද?
මට පාළුවක් තනිකමක් දැනෙන හැමවෙලාවකම මේ පොතට අතට අරගෙන කියවන්න පටන් ගන්නවා.. ඒ වෙලාවට මම ඉබේම නොරිකෝගේ චරිතයට පිවිසෙනවා. මේ පොත කියෙව්වට පස්සේ සෑහෙන සැහැල්ලුවක් මගේ හිතට දැනෙනවා. ඒ සුවය වචනවලින් කියන්න බෑ.

මේ නිර්මාණය රසවිඳලා අවසානයේ ඔබ ගත්ත ඵලය මොන වගේ එකක්ද?
ඔව් මම කලිනුත් කිව්ව වගේ මට තනිකමක් පාළුවක් හිතට දැනෙන හැමවෙලාවෙම මට මේ කෘතියෙන් සහනයක් ලැබෙනවා.. හිතට ධෛර්යය දෙනවා... පොදුවේ හැම පාඨකයටම ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් කියලා මම හිතනවා... මොවුන් දෙදෙනාගේ ආදරය බොළඳ ආදරයක් විදියට මම දකින්නෙ නෑ... වැඩිහිටි පුද්ගලයෙක් සහ තරුණ යුවතියක් මේ දෙදෙනාගේ සිතුම් පැතුම් රුචි අරුචිකම් සමානයි. එතනදී ඒ ආදරය නොසෙල්වී තියෙනවා. සෑම දෙයක්ම මැදහත් සිතින් මේ අය විඳදරාගන්නවා... මෙවැනි පොත් කියෙව්වාම අපිටම අපේ ජීවිතය ගැන අලුතින් යමක් හිතන්න පොළඹවනවා... මේ පොතේ තියෙන හරය වටහාගත්තට පස්සේ අපිට ජීවත්වෙන්න ලේසියි...

 

► Text - Danushka Wijesiri   /   Pic -  Sumudu