විජයගේ තුවාලයට කලං අඬපු හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විජය සමඟ වැඩිම දින ගණනක් ගත කිරීමට මට අවස්ථාව ලැබුණේ හැත්තෑව දශකයේ අග භාගයේ රූගත කළ වැල්ලෙ තැනූ මාලිගා චිත්‍රපටයේ දර්ශන තලයේදීය. එම චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන්නට මට අවස්ථාව ලැබිණි.

ටිකිරා චිත්‍රපටයෙන් අධ්‍යක්ෂවරයකු ලෙස සිනමාවට ආ ෂර්ලි පී. විජේරත්නට එකල කලාත්මක චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ දැඩි කැමැත්තක් තිබිණ. ඒ නිසාම ඔහු වැල්ලෙ තැනූ මාලිගා කතාව තෝරා ගත්තේය. එය සුමතිපාල - ජෝතිපාලගේ ජනප්‍රිය චිත්‍රකතාවකි. එහි තිරනාටයක ලියුවේ හරිශ්චන්ද්‍ර වීරසිංහයන්ය. මූදුකරයේ කතාවක් රැගත් ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් චිත්‍රපටයට එකලද බෙහෙවින් විචාරක ප්‍රශංසා ලැබිණි. ඒ නිසාම ෂර්ලිටත් එවැනි මූදුකරයේ කතාවක් රැගත් චිත්‍රපටයකට හිත ගියා විය හැකිය.

නිෂ්පාදකවරුන් කීපදෙනකුගේම සහභාගිත්වයෙන් නිපදවීමට සූදානම් කළ වැල්ලෙ තැනූ මාලිගා එකල අතිශය ජනප්‍රිය නළු නිළියන් රුසක් එක්කළ චිත්‍රපටයක් විය. එහි සංගීතය සැපයූවේද ප්‍රේමසිරි කේමදාසයන්ය. විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, අමරසිරි කලංසූරිය, ඩී.ආර්. නානායක්කාර, විමල් කුමාර ද කොස්තා, බන්දු සමරසිංහ, වින්සන්ට් වාස්, රූබි ද මෙල්, මියුරි සමරසිංහ, තෙරේසා විරසිංහ පමණක් නොව එකල රුක්මණී දේවිය සමග ගී ගයා ජනප්‍රිය වූ ක්‍රිස්ටි ද මැල්ද එහි රඟපෑ බව මට මතකය. කැමරා අධ්‍යක්ෂවරයා වූයේ ඩොනල්ඩ් කරුණාරත්නය. 

සැබැවින්ම එය සුන්දර කාලයකි. වැල්ලෙ තැනූ මාලිගා රූගත කිරීම සඳහා ෂර්ලි තෝරාගත්තේද කල්පිටිය ආසන්නයේම පිහිටි කන්දකුලිය ප්‍රදේශයයි. හැත්තෑව දශකයේ අග භාගයේ රූගත කිරීම් ඇරුඹි වැල්ලෙ තැනූ මාලිගා චිත්‍රපටයේ නළු නිළියන් සහ කාර්මික ශිල්පි කණ්ඩායමට නවාතැන් ගැනීමට පහසුකම්වලින් පිරි හෝටල් එකල ඒ ප්‍රදේශයේ නොවීය. මුහුදුකරයේ තිබූ ගෙවල් කිහිපයක් කුලියට ගත් අතර ඉවුම් පිහුම් සඳහා වෙනම තාවකාලික මඩුවක් ඉදිකරනු ලැබිණ. නළු නිළියන් ඇතුළු බොහෝ පිරිස් එම ගෙවල්වල නවාතැන් ගෙන සිටි අතර විජය ඒ කිට්ටුව තිබූ කිසියම් නවාතැන්පොළක නවාතැන්ගෙන සිටි බව මට මතකය. මාලිනී, රූබි, මියුරි, තෙරේසා ඇතුළු පිරිසද කිට්ටුව පිහිටි නවාතැනක නැවතී සිටියහ. රෑගත කිරීම් තිබුණේ මුහුදු වෙරළේ නිසා වෑන් රථවලට යා හැකි නොවීය. ඒ සඳහා යොදාගත්තේ විශාල ට්‍රැක්ටරයකි. ට්‍රැක්ටරයේ ට්‍රේලරය මත නැගී කැමරා ආම්පන්නද පටවාගෙන මුහුදු වෙරළට යෑම දුෂ්කර වුවද සොඳුරු අත්දැකීමක් විය.

20200213Vijaya-1

රූගත කිරීම්වලට යද්දී වතුර කළගෙඩි, ඩීසල් දැමූ ප්ලාස්ටික් කෑන් පමණක් නොව කැමරා උපකරණ ආදියද ට්‍රේලරයේම පැටවේ. ඒවා සමඟ ගැහැනු පිරිමි භේදයකින් තොරව සියල්ලෝම ට්‍රැක්ටරයේ ට්‍රේලරයට නැග ගනිති. උඩ විසි වෙමින් එහි කිලෝමීටර් කීපයක් ගමන් කිරීම අපට සිනාවට කරුණක් විය. උදෑසන කෑමද මුහුදු වෙරළේ මාළු වාඩියක සූදානම් කෙරෙයි. 

ඒ දිනවල විජය දේශපාලන කටයුතුවලද යෙදී සිටි නිසා බොහෝ විට ඔහු අපට දැකගත හැකිවූයේ උදේ රූගත කිරීමට පැමිණෙද්දීය. රූගත කිරීම් හැන්දෑවේ නතර කළ විගස ඔහු ඉක්මනින් පිටව යයි. රූගත කිරීම් හැරුණු විට බොහෝ සැන්දෑ කාලවලදී විජය තම දේශපාලන සගයන් හමුවීමට කාලය යොදාගත්තා විය යුතුය.

මේ කාලය වනවිට විජය නිතරම ඇන්දේ සරම සහ අත්කොට කමිසයයි. ඔහුගේ ඇතැම් සරම් කළු, නිල් වැනි තනි පාටින් යුක්ත ඒවාය. කමිස අත්කොට වුවද එහි දෙපස සිහින් බෝඩරයක් දැකගත හැකිවිය. එය මට සිහිපත් කෙරෙනුයේ විජයටම සරිලන සේ නිර්මාණය කළ මෝස්තරයක් බවය. ඒ තරමටම ඒ ළා පාට කමිස ඔහුගේ සිරුරට අමුතු සුන්දරත්වයක් හා චාම් බවක් එක් කළේය. සපත්තු වෙනුවට සාමාන්‍යයෙන් කවුරැත් පළඳින ඉතා චාම් සෙරෙප්පු ජෝඩුවක්ද ඒ සරමට කමිසයට ගැළපෙන සේ ඔහු පැළඳුවේය. සාමාන්‍යයෙන් නළුවන් ජැන්ඩියට ඇඳ අව් කණ්ණාඩි යුවළක්ද පැළඳ සාටෝපයෙන් ගමන් බිමන් ගියද එවැනි ස්වරූපයක් ඔහුගේ ඇඳුමේ නොතිබිණි.

දර්ශන තලයට එද්දී ජීප් රථය පදවන්නේද විජයමය. ඇතැම් විටෙක සිනමාවට ඒමට පෙර සිටම මිත්‍රත්වයෙන් බැඳී සිටි කලංසූරියද එය පදවාගෙන එයි. විජය අනෙක් අසුනේය. විජය සරමකින්, කමිසයකින් සැරසී සිටියද කලංගේ මෝස්තරවල අඩුවක් නැත. ඔහු ඩෙනිම් කලිසමක් හෝ කොට්න් කලිසමක් අඳියි. නැතහොත් එකල බොහෝ සේ ජනප්‍රියව තිබූ කොඩ්‍රෝයිල් කලිසමක් අඳියි. සාක්කු ගණනාවක් තිබෙන අත් දිග කමිසයක් හෝ අත්කොට කමිසයක් ඔහුගේ මෝස්තරයයි. ඒ හැරුණු විට එකල වෙට්ලුක් නමින් ජනප්‍රියව තිබූ විවිධ වර්ණ රැගත් කමිසයකින් ඔහු සැරසී එයි. ඔහුගේ මෝස්තර නම් වරින්වර වෙනස් වෙයි.

මෝටර් රථයකට හෝ වෑන් රථයකට මුහුදු වෙරළේ යාමට නොහැකි වුවද ජීප් රථය වෙරළට ඔරොත්තු දෙයි. එහෙත් දර්ශන තලයට පැමිණීම සඳහා ජීප් රථය මඟ නවතා තරමක් දුර පයින් එන්නට සිදුවේ. ට්‍රැක්ටරයද එසේමය. ඒ රූගත කිරීම් යොදාගෙන ඇත්තේ කන්දකුලිය ධීවර නිවාස අතර නිසාය. එම ස්ථානවලට කිසිදු වාහනයකට යා නොහැකිය. ඒ නිසා සියලුම නළු නිළියෝ, කාර්මික පිරිස් පයින්ම ඇවිද එති. ඇතැමුන් අත කැමරා ආම්පන්නය. 

මාලනී එනවිට ධීවර ගම්මානවල බොහෝ දෙනාගේ මුහුණු විකසිත වෙයි. ඇයගේ සුන්දර සිනාවට ඔවුන් කැමතිය. මේ පිරිස් අතරින් විජය එන්නේ තවත් පිරිසක් පිරිවරාගෙනය. ඒ කන්දකුලිය ප්‍රදේශයේ තරැණයන් පිරිසකි. ඔවුහු විජය හා කතාකරමින් ඇවිද එති. එය එක් අතකින් විස්මයට කරුණක් නොවීය. විජයට පමණක් නොව මාලිනී ෆොන්සේකා වටා රසිකයන් රොද බැඳීම එකල අරැමයක් නොවිණි. එය සුලබ දසුනක් විය.

රූගත කිරීම්වලදී විජය - මාලිනී පමණක් නොව කලං - කොස්තා දැකගන්නටද පිරිස් පැමිණියහ. මාලිනී එකල ජනප්‍රියම නිළියයි. විචාරක සම්මාන ලැබූ දක්ෂතම නිළියයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය සම්මාන උත්සවවලින්ද පිදුම් ලද කාලයයි. රසිකයන් මාලිනී ජනප්‍රිය නිළියක ලෙසත්, විචාරකයන් දක්ෂතම නිළියක ලෙසත් කිරැළු පැළඳවීම ආඩම්බරයට කරුණක් නොවේද? මා මෙය සඳහන් කරන්නේ ඒ සියල්ල තිබියදීත් මාලිනී දර්ශන තලයේ කොතරම් නිහතමානී ලෙස හැසිරුණාදැයි දැක්වීමටය.

රූගත කිරීම් අතරතුර දිවා ආහාරය සූදානම් කරන්නේද කුඩා මඩුවකය. හැමෝම දිවා ආහාරය ගත්තේ බිමට පොල් අතු දමා ඊට උඩින් පැදුරු දැමූ එම මඩුවේ බිම වාඩිගෙනය. ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ වැජඹුණු විජයට මාලිනීට හෝ වෙනත් කිසිම නළුවකුට හෝ නිළියකට එය ගැටලුවක් නොවීය. ඇතැම් විටෙක මාලිනී තම සහෝදර ශිල්පියකුගේ පිඟානකට බත් හැන්දක් බෙදා දුන්නාය. තවත් ව්‍යංජනයක් දෙකක් බෙදන්නට තරම් කාරුණික වූවාය. නිහතමානී වූවාය.

ඇතැම් විටෙක වැටී ගිය පොල් කඳන් උඩ, ඔරු කඳන් උඩ වාඩිවී රූපගත කිරීමේ වාරය එනතුරු අල්ලාප සල්ලාපයේ යෙදීමද ඉතා ප්‍රියමනාප කටයුත්තක් විය. කල්පිටිය ප්‍රදේශයේ ගින්දර අව්වත් පිපාසයත් දරා ගන්නට අපහසු තරම් විය. ඇතැම් විටෙක කුරුම්බා ගෙඩියක් ලැබුණේ එය අමෘතය මෙන් විය. වරෙක කුරුම්බා ගෙඩියක වතුර බී ඊට බෝතල් වතුර පුරවා විමල් කුමාර ද කොස්තාට දී එය බොන හැටි බලා පිරිසම විනෝද වූ හැටිද මට මතකය.
වැල්ලෙ තැනූ මාලිගා දර්ශන තලයේ මට වඩාත්ම මතකයේ ඇත්තේ විජය හා අමරසිරි කලංසූරියගේ රණ්ඩුය. කලංව කේන්ති ගැස්සීමට විජය බොහෝ විටෙක කුමක්හෝ කීවේය. කලංද ඊට ඇවිළී එයි. 
උඹ හිතුවද උඹ මන්ත්‍රී වුණාම මම උඹට සර් කියයි කියලා. මම උඹට සර් කියන්නේ නෑ.... කලං කේන්තියෙන් කීවේය. විජය හිනාවෙවී බලා සිටියේය.
අනේ පලයන් යන්න... කලං ගෝරිය නවත්වන්නේද නැත.

මං උඹට කිව්වද මට සර් කියන්න කියලා. මට මොකටද උඹ සර් කියන්නේ.... විජය අසන්නේ සිනාසෙමිනි. 
තවත් වරෙක සිනමාවට එන්නට පෙර විජය සහ කලං මෝටර් සයිකලයක යද්දී සිදුවූ අනතුරක් ගැන විජය මතක් කරයි. දවසක් අපි දෙන්නා බයිසිකලේ නුවර යනකොට බයිසිකලය පෙරළුණා. ඉතින් මට තුවාල වුණා. මූට මොකුත් තුවාලයක් නෑ. ඒ වුණාට කලං අඬනවා. අනේ මචං මට මොකක් හරි වුණොත් අජන්තටයි ආ මගෙ දරු පවුලටයි මොකද වෙන්නේ? තුවාල වුණේ මටයි... අඬන්නෙ කලං.... බයගුල්ලෙක්.... විජය සිනාසෙමින් කියන්නේ කලං ඉදිරිපිටදීය. කලංද අතඅරින්නේම නැත.
බොරු නොකියා හිටපන් විජේ. උඹට එදා තුවාල වුණේ නෑ. මටයි තුවාල වුණේ... විජය මේවා කියන්නේ කලං අවුස්සා ගැනීමටය. මේවාට හූමිටි තබන්නට විමල් කුමාර ද කොස්තා, ලයනල් සිල්වා (කලා අධ්‍යක්ෂ), බන්දු සමරසිංහ සැදී පැහැදී සිටිති.

( ලබන සතියේ කොස්තා බෑන්ඩ් කණ්ඩායමේ බෙරේ පැලූ හැටි...)

 

► Text - Rodney Widanapathirana