සුපර්ණා වඩාත් ගැලපෙන්නේ අනාගත පරම්පරාවට කියලා මම හිතනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200218Suparna-(10)මීට පෙර අප ඔහු හඳුනාගන්නේ රංගන ශිල්පියෙකු ලෙසිනි. රංගනය තුළින් ප්‍රේක්ෂකයින් වෙත සමීප වූ ඔහු අධ්‍යක්ෂණය කළ කුළුඳුල් සිනමා නිර්මාණය වන ‘සුපර්ණා’ සිනමා නිර්මාණය, මේ වන විට දිවයින පුරා සිනමාහල්වල තිරගත වෙයි. ඔහු සුජීව ප්‍රියලාල් යද්දෙහිගේය. ඔහු සමග මේ කතාබහ ඔහුගේ ‘සුපර්ණා’ සිනමා නිර්මාණය මූලික කර ගනිමිනි.

‘සුපර්ණා’ සිනමා නිර්මාණය සදහා ඔබ විසින් රචනා කරන තිරපිටපතෙන්ම කතාබහ ආරම්භ කරමු. ‘සුපර්ණා’ තිර රචනයට ප්‍රස්තුත කරගන්නා කාරණාව තෝරාගන්නේ කෙලෙසින්ද?

මම නාගරික පරිසරයක හැදී වැඩුණු කෙනෙක්. මට ගම ගැන, ගමේ පවතින කෘෂිකාර්මික පරිසරය, ඒ ජීවන රටාව ගැන යම් අත්දැකීමක් ලබාගත හැකිවෙන්නේ දුලීකත් එක්ක දුලීකාගේ ගමට යාමත් සමග. ඇගේ ගම තුළ කෘෂිකාර්මික ජීවන රටාව පවතිනවා. එහිදී මම දැක්ක දේ තමයි ගමේ මිනිස්සු කෘෂිකාර්මික කටයුතු සිදුකරන විට කාබනික පොහොර භාවිතා කර, කෘෂිකාර්මික කටයුතු සිදුකිරීම. රට තුළ රසායනික පොහොර භාවිතා කර කෘෂිකාර්මික කටයුතුත් සිදුවෙනවා, පස නිසරු වෙමින් පවතිනවා කියන කාරණාව කෘෂිකාර්මික කටයුතුත් සමගින් මම දැක්කා. රටෙත් ලෝකයෙත් සංචාරය කිරීමේදී මම දැක්ක දේ තමයි මිනිසුන් නොදැනුවත්වම මේ පරිසරය ගහකොළ, විනාශ කරමින් ඉන්නවා කියන කාරණය. මේ රට පාරම්පරිකවම කෘෂිකාර්මික රටක්. මේ රටේ ජනකොට්ඨාසය ස්වභාව දහම හා බැඳුණු ජීවන රටාවකින් යුක්ත වූ ජන කොට්ඨාසයක්. ඒ නිසාම මේ පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව ඔවුන්ට යම් කිසි සංවේදිතාවයක් පවතිනවා. දැන් සෑම දෙයක්ම යාන්ත්‍රික වෙලා. ඩිජිටලයිස් වෙලා. අපි හැමවිටම හිතනවා මේ ලෝකය දියුණු වෙලා කියලා. ඒත් මේ ලෝකය දියුණු වෙලා නැහැ. අපි මේ යන්නේ වැරදි මාවතක, වැරැදි ගමනක. මෙය ආපස්සට හැරිය යුතුමයි. මේ රටේ ඊළඟ පරම්පරාවට සුරක්ෂිතව මේ රට තුළ හුස්ම ගැනීමට නම්, එය සිදුකළ යුතුයි. පරිසරය ගැන කතා කරද්දි අද වුණත් මිනිසුන් මෝඩ කතා කියනවා. කඩොලානවල වටිනාකම දන්නෙ නැති මිනිසුන් ඉන්නේ. මේ සම්පත හා සරු භූමිය පිළිබඳ මෙරට දේශපාලඥයින්ගේ නොදැනුවත්කම නිසාම ඔවුන් මේ රට නරක ලෙස විනාශකරමින් ඉන්නවා. මේ රටට ආවේණික වූ බෝග වගා, ඖෂධ වෙන රටවල්වලින් හොරකම් කරමින් සිටිනවා. එසේ නැත්තම් ජාන විකෘති කර වෙනත් වෙනත් ආකාරවලින් මේ රටට හඳුන්වා දෙමින් තිබෙනවා. මේ සියලු කාරණා එක්ක තමයි මගේ පළමු සිනමාපටය වෙනුවෙන් සංකල්පය ඇතිවෙන්නේ. මට සිනමා ප්‍රේක්ෂකයින් චූන් කරන්න ෆිල්ම් එකක් කරන්න ඕන වුණේ නැහැ. මේ බේදවාචකය ගැන කතා කරන්න මම තීරණය කළේ ඒකයි.

ජීව අවි, එසේ නැත්තම් ඒ සඳහා සිදුකරන්නා වූ පර්යේෂණයක් තමයි මේ සිනමා නිර්මාණයට කේන්ද්‍රගත වෙන්නේ. ලංකාවේ සිනමා නිර්මාණවලින් මෙවැනි තේමා සාකච්ඡා කරන්න යොමුව තිබුණේ හරි අඩුවෙන්?

හිතන්න. බොහෝ දේශපාලඥයින් සිදුකරමින් ඉන්නේ ජනතාව ඇන්ඳවීම. ඒ තුළින් බලය ලබා ගැනීමට යොමුවීම. මම මේ සිදුකරන්නේ ප්‍රේක්ෂකයින් ඇන්ඳීම නෙමෙයි. මට දැනෙන දේ. මේ අවදානම අපිට තිබෙනවා. මේ සමස්ත ලෝකයම අවදානමක තිබෙන්නේ. මෙවැනි සිනමා නිර්මාණයක් කිරීම අවදානමක් වගේම අභියෝගාත්මකයි. මීට පෙර ලංකාව තුළ සිංහල සිනමා නිර්මාණයක් හරහා මේ තේමාව කතා කරනවා දැක තිබුණේ නැහැ.අපි චිත්‍රපටයක් කරද්දි ඒ ගැන අධ්‍යනය කරනවා. මගේ රිසර්ච් එක තිබුණේ පරිසරය සම්බන්ධයෙන්, සමස්ත මනුෂ්‍ය වර්ගයා පිළිබඳව. මේ රටේ ඉතිහාසයේ පැවැති නිවැරදිභාවය පිළිබඳව,එහිදී තමයි මේ නිර්මාණය කරන්න මූලිකත්වය ගත්තේ.

අද වෙද්දි කොරෝනා ජීව අවි ගැන කතා කරනවා. නමුත් මම මේ පිටපත රචනා කරන්නේ 2014 වර්ෂයේ. චිත්‍රපටය රූගත කරන්නේ 2017දී. 2018 වන විට සිනමා නිර්මාණයේ සියලු වැඩකටයුතු අවසන් කරන්න හැකිවෙනවා. අද වෙද්දි ලෝකයෙම මේ ජීව අවි ගැන කතාබහක් පවතිනවා. මේ පැවැති දේ මට දැනුනු නිසා මම සිදුකළා. මම හිතනවා ඒ අභියෝගාත්මක වැඩේට මම සාර්ථකව මුහුණදුන්නා කියලා. අද වෙද්දි මේ ලෝකයේ පවතින මේ අවදානම දැක තිබෙනවා. මේ සමස්ත ලේකයේ මිනිසුන් ප්‍රඥාවන්තයින් කළ යුතුයි. පරිසර සංවේදිතාවය ඇති කළ යුතුයි. ඒ නිසයි මම මෙය කලේ. මම හිතන්නේ නැහැ මේක ෆේල් වෙයි කියලා. පළමු සති අන්තය ගත කළා. ප්‍රේක්ෂකාගාරය සිනමා නිර්මාණය හොඳින් භාරගෙන තිබෙනවා.

මෙය ඔබේ පළමු සිනමා අධ්‍යක්ෂණය. මීට නවකයින් පිරිසක්ම දායක කර ගන්නවා. මෙලෙස සිදුකරන අධ්‍යක්ෂණ කටයුත්ත අවදානම් සහගත කටයුත්තක් වුණේ නැද්ද?

මෙහි රංගනයෙන් දායක වන කිනාරා වීරතුංගගේ පළමු චිත්‍රපටය මේක. ළමා රංගන ශිල්පිනියක් ලෙස ඇය මීට මුලින්ම හඳුන්වා දෙනවා. ඒත් සමගින් නිෂ්පාදකතුමිය වන කල්‍යානි රණවකගේ පළමු චිත්‍රපටයත් මේක. සංගීත අධ්‍යක්ෂක පබලූ විජේගුණවර්ධනගේ පළමු සංගීත අධ්‍යක්ෂණයත් මේක. නැටුම් අධ්‍යක්ෂණය කළ රසික කොතලාවලගේ ප්‍රථම සිනමාපටය ලෙසත් මෙලෙස නවකයින් සම්බන්ධ කරගත්තා. සංගීත අධ්‍යක්ෂණය ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. මේ අවදානම අරගෙන මේ කටයුත්ත සිදුකිරීම ගැන අද වෙද්දි මං සතුටු වෙනවා

20200218Suparna-(1)

2018 වසර වෙද්දි චිත්‍රපටයේ සියලු වැඩ කටයුතු අවසන් වෙනවා. නමුත් තිරගත කරන්න තවත් වසරක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. නිර්මාණයක් ප්‍රේක්ෂකයින් අතරට ගෙනයන්න පවතින ප්‍රමාදය ගැන නිර්මාණකරුවෙක් ලෙස ඔබේ අදහස මොකක්ද?

VFX,3D සඳහා වැඩි කාලයක් වැය කරන්න වුණා. චත්‍ර වීරමන් එය සිදුකළේ. මේ නිසා පසු නිෂ්පාදන කටයුතුවලට මාස හතක් පමණ වැය කරන්න සිද්ධ වුණා. ඒ නිදහස ලබා දෙමින් මේ කටයුත්ත සිදුකළා. 2018දී චිත්‍රපටය තිරගත කරන්න අපි සුදානම් වෙලා සිටියේ. නමුත් ඊට අවශ්‍ය පරිසරය රට තුළ නිර්මාණය වී තිබුණේ නැහැ. අනෙක මේ රටේ සමස්තය තුළ සිස්ටම් එකක් නැති එකේ චිත්‍රපට ප්‍රදර්ශනයට සිස්ටම් එකක් පවතින්නේ කොහොමද? එයයි ඛේදවාචකය. මා වැනි නවක දක්ෂ සිනමාකරුවන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ සිනමා නිර්මාණය ප්‍රේක්ෂකයින්ට ගෙන එන්න බැරුව වසර පහ හයක කාලයක් පවා තියාගෙන ඉන්නවා. 2019දී අපි ඩකා ජාත්‍යන්තර සිනමා උළෙල,ඒෂියා පැසිපික් සිනමා උළෙල ආදි සිනමා උළෙලවල්වලට සහභාගි වුණා.

පාසල් සඳහා තවම මේ සිනමා නිර්මාණය නිර්දේශ ලබාගෙන නැහැ?                      

මේක පාසල් සිසුන්ට බලන්න පුළුවන් සිනමා නිර්මාණයක්. මේ චිත්‍රපටය ගැලපෙන්නේ අනාගත පරම්පරාවට. ඔවුන්ට තමයි මේ මහපොළොව ගහකොළ අයිති. ඔවුන් මේ චිත්‍රපටය අනිවාර්යයෙන් නැරඹිය යුතුමයි. ඔවුන් ලෝකය දෙස අලුත් විදිහකට බැලිය යුතුයි. සම්ප්‍රදායික චින්තනයෙන් බැහැර විය යුතුයි. එවිට රට, ලෝකය වෙනස් වෙයි. මේ ලෝකය හොඳ නම් අපි හැමෝම හොඳින් සතුටින් ප්‍රශ්න නැතිව ජීවත් වෙන්න ඕන. නමුත් එහෙම නැහැනේ. ඒ කියන්නේ මේ යන ගමෙන් වැරැද්දක් තියනවා. ලෝකයට සංවර්ධනය කරා යාමේ කිසියම් වරදක් තිබෙනවා. ඒ වරද නිවැරදි විය යුතුයි. මෙය පාසල් සඳහා නිර්දේශ විය යුතුයි. මම ඒ සදහා උත්සහ දැරුවේ නැහැ තවම. මෙය විද්‍යා ප්‍රබන්ධයක් ලෙසත් භාරගන්න පුළුවන්. ‘සුපර්ණා’ වඩාත් ගැලපෙන්නේ අනාගත පරම්පරාවට කියලා මම හිතනවා.

මේ වෙද්දි සිනමා නිර්මාණය තිරගත වෙනවා. ඔබ සිනමා නිර්මාණය තුළින් ගෙන එන කාරණා සමාජගත කරන්න ඇතිව තිබෙන කතිකාවත ගැන සෑහීමකට පත්විය හැකිද?

චිත්‍රපටය තිරගත කරලා දින ගණනක් වෙන්නේ. සමාජ ජාලා වෙබ් අඩවිවල හොඳ කතිකාවතක් ඇතිව තිබෙනවා. තරුණ බොහෝ පිරිසක් මේ නිර්මාණය නරඹන්න පැමිණ තිබෙනවා. ඔවුන් මෙය අලුත් වැඩක් ලෙස දැක තිබෙනවා. ඒ වගේම මේ තේමාව ගැන සොයා බලා ඔවුන් කියවා තිබෙනවා. තමන් පරිශීලනය කරන කලා කෘතිය කුමක්ද කියලා දැනගෙන එන එකයි වඩා හොඳ වෙන්නේ. ඉතා හොඳ කතිකාවක් ඇතිව තිබෙනවා. අද වෙද්දි පරිසරය ස්වභාව දහමට සිදුවන ව්‍යවසනය ගැන බොහෝ දෙනා කතා කරන නිසා මේ කතිකාව ඇති වෙයි. මෙය සිනමාපටයක්. නමුත් ඉන් එහාට ගිහින් මේ ගැන කතිකාවක් ඇතිවිය යුතුමයි. එතනින් එහාට ගිහින් අපේ ආකල්ප වෙනස් කරන්න පුළුවන් වෙන්නේ,අලුත් විදිහට ලෝකය දිහා බලන්න පුළුවන් වෙන්නේ ඒ කතිකාව නිසා.

20200218Suparna-(2)

පෙර නිෂ්පාදන කටයුත්තේ සිට මේ දක්වා ඔබත් සමගින් පිරිසක් කටයුතු කළා. අවසන් ලෙස ඒ ගැන සදහන් කරමු?

කල්‍යානි රණවක මහත්මියට,ආනන්ද සිල්වා මහත්මාට නිෂ්පාදනයෙන් දායක වුවාට ස්තූතිවන්ත වෙනවා. ‘සුපර්ණා’ කණ්ඩායමට ස්තූතිවන්ත වෙනවා. ඔවුන් දාකත්වය ලබා දුන්නේ අන්තර්ගතය ගැන ලොකු කැමැත්තකින්. ඈෂ්ලි රත්නවිභූෂණ මහතාට සහ ඒ ආයතනයට ස්තූතිවන්ත වෙනවා. අන්තර්ජාතික සිනමා උළෙලවල් නියෝජනයට ඉඩක් ලැබුණේ ඔවුන් නිසා. අපේ රටේ සංස්කෘතික අංග ගැන විශාල කතිකාවක් ඇතිවුණා. එය ඉතා හොඳ දෙයක්. අධ්‍යක්ෂකවරුන්ගේ අත්දැකීම් මම අහලා තිබෙනවා. චිත්‍රපටයක් ප්‍රදර්ශනය වුණාට පසුව තිබෙන අත්දැකීම් අතිශය අමිහිරිදායකයි. මට හොඳ කණ්ඩායමක් ලැබිලා තිබෙනවා. ඒ කණ්ඩායම සිහිපත් කළ යුතුයි. ඔවුන් ලබාදෙන සහයෝගය, දායකත්වය සිහිපත් කළ යුතුයි. මේ සිනමා නිර්මාණය බලන්න සැමට ආරාධනා කරනවා. මේ රටේ තරුණ පරම්පරාවට අලුත් විදිහට ලෝකය දිහා බලන්න මේ චිත්‍රපටය හොඳ ප්‍රවේශයක් බවට පත්වෙයි. පවුලේ හැමදෙනාටම නැරඹිය හැකි සිනමාපටයක්. මේ වෙනස් විදිහේ අත්දැකීම විඳගන්න හැමෝටම ආරාධනා කරනවා.

නිදුක් මදුෂික

20200218Suparna-(3) 20200218Suparna-(4) 20200218Suparna-(5) 20200218Suparna-(6) 20200218Suparna-(7) 20200218Suparna-(8)