මනෝගේ නාට්‍ය 13ක් එකක් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200220Mano-(2)

පසුගියදා දැයෙන් සමුගත් ආචාර්ය ජයලත් මනෝරත්නයන්, ස්වකීය ජීවිත ගමනෙන් නික්ම ගියේ සමාජයට බොහෝ දේ ශේෂ කරය. මනෝ යනු දැක්මක් සහ අරමුණක් තිබූ සුවිශේෂී චරිතයකැයි අමුතුවෙන් කිව යුතු නොවේ. ඔහුගේ දැක්ම සහ තිබූ අරමුණු අනාගත පරපුර වෙත රැගෙන යාම සඳහා සහෘද සංවාද කේන්ද්‍රය කටයුතු යොදා තිබේ. ඒ අනුව මුල්ම පියවර ලෙස ආචාර්ය ජයලත් මනෝරත්නයන් විසින් නිර්මාණය කරන ලද වේදිකා නාට්‍ය අතරින්, තෝරාගත් කොටස් සහිත නව නිර්මාණයක් මනෝ සොඳුරු රඟ සොබා නමින් මෙම 21 වැනිදා සවස 7 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී රංගගත වේ. මෙය එක්තරා විදියක දුර්ලබ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. මනෝරම්‍ය මනෝගේ නාට්‍ය නිර්මාණ 13ක් මෙලෙසින් එක් නිර්මාණයකට පෙළ ගැස්වූයේ කෙසේද? මනෝ සොඳුරු රඟ සොබා පිටපත් රචනය කර ඇත්තේ ප්‍රවීන සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැලියගොඩ විසිනි. ඒ හරඹය ඔහු කළේ කෙසේද? මනෝ සොඳුරු රඟ සොබා ගලා යන්නේ කෙලෙසින්ද? බණ්ඩාර ඇහැලියගොඩ ඒ ගැන විස්තර කළේ මෙලෙසිනි.

මනෝ එයාගේ ස්වකීය නිර්මාණ දිවියේ දී නාට්‍ය 13ක් නිර්මාණය කළා. ඒ සියලු නාට්‍ය වෙතින් ඔහු උත්සාහ කළේ ආදරය, කරුණාව, දයාව, මනුස්සකම ප්‍රකාශ කරවීමටයි. පරිවර්ථනයක් කළත්, එයින් ප්‍රකාශ වූයේ මේ කියන මනුස්සකම ඇතුළු සියල්ලයි. ලේ බැම්මට වඩා මානුෂීය බැම්ම ඉහළයි කියලා මනෝ කිව්වෙ, පුත්‍ර සමාගම නාට්‍යයෙන්. ඔහුගේ අනෙකුත් නාට්‍ය සියල්ල ගත්තත් ඒ විදියයි. නාට්‍යය නිර්මාණයක් කරද්දී මනෝට තිබුණෙ ලොකු දැක්මක්. හොඳට හිතලා බලලා විමර්ශනය කරලා තමයි නිර්මාණය කළේ. හඬ නිහඬ දක්වාම ඒ විදියයි. ඉතින් මනෝගේ මරණයෙන් පසුව මේ සියල්ල විනාශ වීමට ඉඩ නොතැබිය යුතුයි. මනෝ සොඳුරු රඟ සොබා පටන් ගත්තෙ ඒ නිසයි.

 

නාට්‍යය 13ක් එක් නිර්මාණයක් වෙනුවෙන් ඔබ පිටපත නිර්මාණය කළේ කොහොමද?

මෙහි කථකයෙක් හෙවත් පූරක කෙනෙක් ඉන්නවා. ඒ චරිතය කරන්නෙ රොඩ්නි වර්ණකුල. ඔහු කතාවක් පටන්ගන්නවා. ඒක මනෝ ගැන වූ කතාවක් විදියටයි පටන්ගන්නෙ. ගුරු තරුවෙ කවියකින් ඇරඹුම සටහන් වෙනවා. සුන්දර මෙරඟ සොබාවන් කියන එයින් ප්‍රකාශ වන්නෙ වේදිකාවට ආවාම, ඉස්සරහා ඉන්න අයට වඩා බොහෝ දේ පෙනෙනවා කියන අරුතයි.

මේ එක්කම වේදිකාවට ගැමියෙක් එනවා. එයා එන්නෙ මනෝ හොයාගෙන. මනෝගෙ ගම වන දෙහිපෙ ගමෙන් එයා එන්නෙ. ඉන්දික තොටවත්ත ඒ ගැමියා ලෙස රඟනවා. එයා ඇවිත් රොඩ්නි එක්ක කෙරෙන සංවාදය එතැන් සිට ගලා යනවා. මේ සංවාදය තමයි ඉතා නාට්‍යානුසාරයෙන් ගලා යන්නෙ.

ගැමියා

මනෝ කියන්නෙ මහගිරිදඹේ නැග්ගත් තනියම නැග්ග කෙනෙක් නෙවෙයි.

පූරක (රොඩ්නි)

1980 වේදිකාවට ගෙන ආ මහගිරිදඹේ නාට්‍යයෙත් මනෝ ඕක කියලා තියෙනවා.

මේ විදියට කියද්දී නළු නිළි කණ්ඩායම ගායනය සහ රංගනයෙන් වේදිකාවට ප්‍රවේශ වෙනවා. මෙම නිර්මාණය ඉන්පසුව ගලා යන්නෙ මනෝගෙ ජීවිතය හා දර්ශනය පිළිබිඹු වන විදියටයි. විවිධ අවස්ථාවල දී භානුක මනෝරත්න රන්භරණා ගුරුන්නාන්සේ ලෙසත් තවත් විටෙක සාහිත්‍ය ගුරුවරයා (ගුරු තරුවෙ) ලෙසත් රඟනවා. අනෙකුත් නළු නිළියන් වන ප්‍රසන්නජිත් අබේසූරිය, රත්නාලාලනි, ඉන්දික ජයසිංහ, ෆර්නි රෝෂිණී, ඉෂාර වික්‍රමසිංහ, සෝමපාල පතිරගේ, කුමාර ලියනගේ, තෙරුණි ආශංසා, යසේන්ද්‍රා එදිරිසිංහ, නයන්තාරා, සඳමාලි රංගනයෙන් දායක වී මේ නිර්මාණ හැඩ කරනවා. රංග වින්‍යාශය කළේ රුවිනි ලියනගේ, ඇඳුම් නිර්මාණය සුවිනීතා පෙරේරා, සංගීත අධ්‍යක්ෂණය රංජිත් බාලසූරියගෙන්. මනෝට ආදරය කරන ගෞරව කරන හැමෝටම මේ අපූරු නිර්මාණය නරඹන්න එන්න කියලා මම ආරාධනා කරනවා.

මනෝ සොඳුරු රඟ සොබා ගලා යන අයුරු බණ්ඩාර ඇහැලියගොඩ විස්තර කළ පසුව මෙහි ප්‍රධාන භූමිකාවකට දායකව සිටින රොඩ්නි වර්ණකුල ප්‍රවීණයා මනෝ ගැන වූ මතකය අවදි කළේ මෙලෙසිනි.

රොඩ්නි වර්ණකුල

මගේ පළමු නාට්‍යයේදීම මට මනෝ අයියා එක්ක රඟපාන්න ලැබුණා. 1981 දී මුලින්ම ඔහු එක්ක රඟපෑවෙ ලූෂන් බුලත්සිංහල මහතාගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයෙ. එයින් පසුව අපි කණ්ඩායමක් ලෙස නාට්‍ය රඟ දැක්වීමට එකම බස් එකේ ගියේ, කතා කරපුවා, දැන ගත්ත දේ බොහෝමයි. එදා මගේ රංගනය ගැන ඉතා ඉහළින් වර්ණනා කළා. හොඳ වින්දනයක් වගේම රටේ ලෝකය ගැනත් මනෝ අයියාට තිබුණෙ ඉතා ඉහළ දැනුමක්. ඔහුගේ ඇසුර අපටත් ගෙන දුන්නෙ ලොකු ආභාෂයක්.

හැබැයි තාරාවෝ ඉගිලෙති රඟපෑවාට පසුව අපි දෙන්නා ආයෙත් එකට රඟපෑවෙ ඉන් වසර 15කට පමණ පසුවයි. ගුරුතරුව එක්ක නැවත අපි දෙන්නා වේදිකාවට ආවා. මම එහි සූත්‍රධර, පාසල් ශිෂ්‍යා සහ මුරකරු ලෙස ත්‍රිත්ව චරිතයක් රඟපාන්නෙ. මනෝ අයියා නිර්මාණය කළ ඒ නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් මට රංගනය උදෙසා සම්මාන සහතිකයක් පවා ලැබුණා.

20200220Mano-(3)

 

බෝඩිම ටෙලිනාට්‍යයේ මතකයන් ගැන කිව්වොත්?

මනෝ අයියා එහි රඟපෑවෙ ඉංග්‍රීසි ගුරුතුමා ලෙසයි. ඔහු සමග තවත් ප්‍රවීණයින් රැසක් රඟපෑ බෝඩිමට සම්බන්ධ වීමට ලැබීම මා ලැබූ තවත් භාග්‍යයක්. වේදිකාවෙන් සපැමිණි බොහෝ චරිත බෝඩිමේ රඟපෑවා. මනෝ අයියලා සිටි තැන පාළු නැහැ. ඔවුන් කළ විහිළුව පවා හිස් නැහැ. ඔවුන් සිටි තැන ලොකු පරාසයක් තිබුණෙ. ජීවිතයට බොහෝ දේ ගත හැකි තෝතැන්නක් වුණා. එතුමන්ලාගෙන් මා දැන උගත් දේ බොහෝමයි.

 

පසු කාලයක දී ඔහු සමග රඟපෑ නිර්මාණ මොනවද?

ගුරු තරුවෙන් පසුව සුදු රෙදි හොරු නාට්‍යයේ ප්‍රධාන චරිතයකට මාව ගත්තා. ඊට අමතරව මනෝරම්‍ය ගී ඔහු කළ වැඩසටහනෙත් මම හිටියා. කෙටියෙන්ම කිව්වොත් අපට වේදිකා නාට්‍යයකින් තොරව ඉන්නට බැහැ වගේ, මනෝ අයියගෙ ඇසුරෙන් වෙන්ව සිටිය නොහැකි වුණා. එච්චරටම හෘදයාංගම බවක් තිබුණෙ.

 

විදෙස් සංචාරවලදී මනෝ අයියා, දිගා අයියා (දිද්දෙණිය) සමග මටත් ඒ දිනවල යන්න ලැබුණෙ. ඊළඟ පරම්පරාවෙ කෙනෙක් ලෙස. එයාලා ප්‍රවීණයින් ලෙස මා පිළිගත් විදිය අගය කරන්නම ඕනෑ. අපි කොහොම වෙතත් රොඩ්නි වේදිකාවට ආවාම අපි හැලෙනවා කියලා එයාලා කියන්නට තරම් නිහතමානි වුණා.

 

අවසන් වතාවට එතුමා ඔබට මුණ ගැසුනෙ?

2019 දී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැත්වූ ප්‍රසංගයකට ආවා. එදා එතුමා හිටියෙ පුදුම සතුටකින්. ඔහු ගීතත් ගායනා කළා. ඉන්පසුව රෝගාතුර වුණාම දෙතුන් වතාවක් බලන්නට ගියා. අපි මේ කරන මනෝ සොඳුරු රඟ සොබා මනෝ අයියාට උපහාරයක්ම වේවා කියලා, එය නරඹන්න එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මනෝ අයියගෙ ජීවිතය දකිමින් එතුමාගෙ නාට්‍ය නිර්මාණ ගොන්නක රංගනයන් දැකබලා ගන්න පුළුවනි.

මනෝ සොඳුරු රඟ සොබා සංවිධානය ප්‍රියංකර ද සිල්වා විසිනි.

 

සඳුන් ගමගේ

20200220Mano-(4) 20200220Mano-(5)