සිරගෙදරින් ආ විජය මැලවුණු මුහුණකින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200327Vijaya-1

ගාමිණී - මාලිනී යුගයක් තිබිණ. ඉන්පසුව ආවේ විජය - මාලිනී යුගයයි. විජය - මාලිනී පෙම්වතුන් ලෙස රඟපෑ චිත්‍රපට බෙහෙවින් ආකර්ෂණය දිනාගත්තේය. තුෂාරා, සංගීතා, මේ දෑස කුමටද? උදාහරණ කීපයක් පමණි.
පසු කාලයකදී ගාමිණී - මාලිනී එකට චිත්‍රපටවල රඟ නොපෑහ. මේ නොහොඳ නෝක්කාඩුවලට විවිධ හේතු බලපෑවේය. මුල් කාලයේ ගාමිණී, විජය, මාලිනී හතර දෙනාම සූරයෝ, සැණකෙළිය ආදී චිත්‍රපටවල රඟපෑවද පසුව ගාමිණී, විජයද එකට චිත්‍රපටවලදී දැකගත නොහැකි විය.

අසූව දශකයේ මුල් යුගයේදී කෙහෙළිය රඹුක්වැල්ල චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙන්නේ දයා රාජපක්ෂගේ චිත්‍රකතාවක් වූ සක්විති සුවය නිෂ්පාදනය කිරීමෙනි. එහි ප්‍රධාන චරිත රංගනය මෙන්ම අධ්‍යක්ෂණයද ගාමිණී ෆොන්සේකාගෙනි.
බකට් හැරී නම් ටැක්සි රියැදුරකු ලෙස ගාමිණී ඉතා ප්‍රබල රංගනයක් ඉදිරිපත් කරන සක්විති සුවයේ ගාමිණීගේ නැගණිය ලෙස සබීතා පෙරේරාද ඇගේ ආදරය බලාපොරොත්තු වන පෙම්වතා ලෙස අමරසිරි කලංසූරියද තෝරා ගැනිණ. එහෙත් සබීතාගේ අනෙක් පෙම්වතා ලෙස රඟපෑමට නළුවකු තෝරාගෙන නොතිබිණ.

ඒ සඳහා විජය කුමාරණතුංග තෝරා ගනිමු යයි ගාමිණීට යෝජනා කළේ කෙහෙළිය බව ඔහු මට වරක් කීවා මතකය. ගාමිණී, විජය එකට රඟ නොපා කාලයක් ගතවුවද ගාමිණී විජයට දොස් කියනු මා අසා නැත. මඳක් කල්පනා කළ ගාමිණී, විජය ඒ චරිතය සඳහා තෝරාගන්නට කැමැති වූයේලු. 

සක්විති සුවය චිත්‍රපටයේ ඇතැම් ජවනිකා රූගත කෙරුණේ නුගේගොඩ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නිවසේදීය. මමත් තිලක් රත්නායකත් සක්විති සුවය රූගත කිරීම් පිළිබඳව ලිපියක් ලියන්නට එහි ගිය බව මට මතකය.
ගාමිණී බකට් හැරීගේ චරිතය රඟපාමින්ම එහි අධ්‍යක්ෂණයද කිරීම නිසා ඔහු එදින සරමකින් හා කමිසයකින් සැරසී සිටියේය. මට මතක හැටියට විජය එහි රඟපෑවේ ඒ දිනවල බොහෝ චිත්‍රපට සඳහා යොදාගත් කඩා හැලෙන හිසකෙස් සහිත විග් එකක් පැළැඳගෙනය.

එදින රූගත කිරීම් අතරතුර විවේකයේදී ගාමිණී මඳකට එළියට ආවේ ප්‍රතාපවත් ලීලාවෙනි. දසන් නොපෙනෙන සේ පානා ආඩම්බර සිනාවෙන් අවට සිටි කීප දෙනාට ඔහු සංග්‍රහ කළේය. විජය ආවේ ඒ පිටුපසිනි. ඔහුගේ සිනාවේ තිබුණේ සුපුරුදු ආදරණීයත්වයයි.

සක්විති සුවය චිත්‍රපටයේ විජය රඟපෑවේ ප්‍රධාන චරිතයක් නොවේ. ප්‍රධාන චරිතය බකට් හැරීය. එහෙත් විජයට එය ගැටලුවක් නොවීය.

•  •  •  •  •  •  •
දේශපාලනයට පිවිසෙත්ම හතර වටින්ම ආ තර්ජන, ගර්ජන, විවේචන මධ්‍යයේ විජයගේ ජනප්‍රියත්වය සැලුනේ නැත. තිරයේදී සිහින කුමාරයා වුවද දේශපාලනයේදී ඔහුගේ දේශපාලන කතා ප්‍රබල විය. ඔහු දේශපාලකයන්ට එල්ල කළ විවේචන ඉතා තියුණු විය. 1982 පැවැති ජනාධිපතිවරණයේදී ඔහු හෙක්ටර් කොබ්බෑකඩුව මහතා වෙනුවෙන් මැතිවරණ කටයුතුවල නිරත වූයේය. ජනපතිවරණයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතා ජයගත් අතර නැක්සලයිට් චෝදනා යටතේ හදිසි නීතිය උපයෝගී කරගෙන විජයට සිරගත වන්නට සිදුවිය. එය ඔහුට ඉතා දුෂ්කර කාලයක් විය.

තරුණයා පුවත්පත පටන්ගත් කාලයේදී විජයගේ වැඩිමහල් සොහොයුරු සිඩ්නි කුමාරණතුංගයන්ගේ පුතා වූ එවකට නැගී එන තරුණ නළුවකු වූ ජීවන්ගේ ඡායාරූප කිහිපයක් ගැනීමටත් සම්මුඛ සාකච්ඡාවක් සඳහාත් එක් දිනෙක අපි තලකොටුවවත්තේ විජයගේ නිවසට ගොස් සිටියෙමු. 

ඒ විජය සිරගෙයින් නිදහස් වී පැමිණි කාලයයි. මගේ මතකයේ හැටියට සිරෙන් නිදහස් වූ කාලයේම ඔහු සිය බිරිඳ චන්ද්‍රිකා සමඟ යුරෝපයේ චාරිකාවක යෙදුණ බව මට මතකය. ඡායාරූප ගනිමින් සිටි අවස්ථාවේදී අප අසලට පැමිණියේ විජයයි. ඔහු සුපුරුදු ලෙසම අප හා සිනාසුණේය. එහෙත් අප එවෙලේ දුටුවේ විජයගේ සුපුරැදු ආකර්ෂණීය මුහුණ නොවේ.... මම මඳක් වික්ෂිප්තව බලා සිටියෙමි. පැරීසියේදී ඔහුට මා දන්නා කීපදෙනෙකුම හමුවූ බව විජය කීවේය.

විජයගේ ආකර්ෂණීය මුහුණ සුපුරුදු විලාසයෙන් යළිත් දැකගත නොහැකි වේ යැයි මට එවෙලේ සිතිණි. බොහෝ පිරිස් ආදරය කළේ ඒ සොඳුරු පෙනුමටය. සිනමාහල් වටා ජනතාව පිරුණේ ඔහුගේ ආකර්ෂණීය රැඟුම් දැක ගන්නටය. ඔහුගේ සමීප රූපයක් තිරයේ පතිත වන විට ප්‍රේක්ෂකයෝ අමන්දානන්දයට පත්වෙති. එහෙත් දැන් මා දකිනා විජයගේ මුහුණේ ඇත්තේ මැලවුණු බවක්ය. එය ප්‍රේක්ෂකයන් සනසන්නක් නොවේ. සිරගතව සිටියදී ඔහු විඳි දුෂ්කරතා ඒ මුහුණින් පිළිබිඹු වන්නාක් මෙනි. එහෙත් ඔහුගේ හඬේ ඇති ප්‍රබෝධය නම් අඩුවී නොතිබිණි.

විජය පිළිබඳ මතක වසර තිස් ගණනකට පසුව අදද ආවර්ජනය කරද්දී තලකොටුව වත්තේදී එදා මා දුටු විජයගේ මැලවුණ මුහුණ මට වරින්වර මැවී පෙනෙයි. එහෙත් ඔහු ධෛර්යමත් මිනිසෙකි. ඊට ඉතා කෙටි කාලයකට පසුව විජය මට යළි හමුවෙද්දී ඔහු කලින්ටත් වඩා ලස්සන වී සිටියේය. එක් අතකින් එය මට මහත් පුදුමයක් විය.

1983 පටන් ගත් ජූලි කලබල සමඟ සාමාන්‍ය ජන ජීවිතයද අවුල් වී ගියේය. කොළඹ නගරය පාළු වී ගියේය. ඇතැම් දිනවල ඇඳිරි නීතිය දැමීම නිසා බෝඩිමක සිටි අපට කෑමක් බීමක් සොයාගැනීමටද අපහසු අවස්ථා තිබිණ.
තරුණයා පුවත්පත පටන් ගත්තේද 1983 ජූලි මාසයේ නිසා ඇතැම් දිනවල විජය පුවත්පත් කාර්යාලයේ රාත්‍රියේ නැවතී පුවත්පතේ වැඩ කටයුතුවල යෙදෙන්නට සිදුවිය. කලබල ටිකෙන් ටික පහවී ගියද තවත් කාලයක් ගතවනතුරු කොළඹ රාත්‍රි කාලයේ ගමන් කිරීමේදී ආරක්ෂක භටයන්ගේ පොලිස් නිලධාරීන්ගේ විමසීම්වලට නිරතුරුව ලක්වන්නට සිදුවිය.

මේ කාලයේ විජයගේ වාහනය වී තිබුණේ වීදුරු අඳුරු කරන ලද ඩෙලිකා වෑන් රථයකි. එහි පවර් ෂටර්ස් නොහොත් ඉබේ ඇරෙන කවුළු නොවීය. සිරගතව සිට පැමිණියද විජය දේශපාලන කටයුතු අත්හැර දැමුවේ නැත. තර්ජන ගර්ජනවල අඩුවක් නොවීය. එහෙත් ඔහුගේ ජනප්‍රියත්වය අඩුවූයේ නැත. ඔහු අධෛර්යමත් වූවේද නැත. ඔහු රාත්‍රී කාලයේ පවා දේශපාලන කටයුතුවලටත් රූගත කිරීම්වලටත් තනියම ගමන් බිමන් ගියේය.

(ලබන සතියේ - රාත්‍රියේ ආරක්ෂක භටයන්ට මැදිවූ විජය)

 

► Text - Rodney Widanapathirana