ඉඩ ලැබෙන හැම වෙලාවෙම මම ඉන්නෙ පල්ලියේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගෝතමී පතිරාජ, ඇමරිකා එක්සත් ජනපදයේ සිට...

20200524Gothami-3‘සුවඳක් දැනේවී හදේහි

ආදර ලෝකේ හා  හා

කුමරෙක් ඇවිදින් සිටීවි

කුමරී කොහේද මා හා

මංජු...ම් ...ම් ...ම්

කේ. ඒ. ඩබ්. පෙරේරා ශූරීන්ගේ ජනක සහ මංජු’ චිත්‍රපටයට ඇතුළත් වූ මෙම ගීතය එදා මෙන්ම අදටත් අතිශය ජනප්‍රිය චිත්‍රපට ගීතයකි. ඇය එදා සිනමාවට පිවිසියේ ‘මංජු’ ලෙස  ජනක සහ මංජු චිත්‍රපටය  ඔස්සේය. මේ කුමරිය, එතැන් සිට තනි තරුව, වජිරා, යස ඉසුරු ඇතුළු චිත්‍රපට ගණනාවකට සහ අවසඳ ඇතුළු අපූරු ටෙලි නිර්මාණ කීපයකටම දායකත්වය ලබා දුන්නාය. අනුව දශකයේ අග භාගයෙන් පසුව රංගනයෙන් අපට හමු වූයේ නැතත් පසුගිය දශක දෙකක පමණ කාලයේදී ඇය ගැන කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි වූයේ ඇය වසර ගණනාවකට පෙර සිට පදිංචිව සිටින්නේ ඇමරිකාවේ වීම නිසාය. කෝවිඩ් වසංගතය නිසා ඇමරිකාව මහ ව්‍යසනයකට පත්ව ඇති මොහොතකදී ගෝතමී ඇමරිකාවේ සිට දිවි ගෙවන්නේ කොහොමද?  මේ ඇය වසර පහළොවකට පමණ පසුව පුවත්පත් පිළසඳරකට එක්වූ අයුරුයි.

ගෝතමී ඇයි ලංකාව දාලා ගියේ?

ලංකාව දාලා ගියේ නැහැ. ඇමරිකාවට ඒම එක්තරා විදිහක අහම්බයක්. 1999 දී විතර සංචාරයකට ඇමරිකාවට ගියා. එදා තමයි ආසාවක් ඇතිවුණේ  ආයෙත් දූලා දෙන්නා එක්ක ගියොත් හොඳයි කියලා. දූලා දෙන්නගෙ පාසල් නිවාඩු සමයක ආයෙත් ඇමරිකාවට ගියා. මාස දෙකක් විතර එහි ගත කරන්න හිතාගෙන ගියේ. හැබැයි එහේ නීතියේ හැටියට එච්චර කාලයක් ළමුන් පාසල් නොයවා සිටින්නට බැහැ. ඒ හැරත් ඇමරිකාවේ ජීවත් වන මගේ පාසල් සමයේ මිතුරියන් මට කිව්වේ ​ගෝතමී ඔයා මෙහේ ඉන්නකො කියලයි. මෙහේ ඉගෙන ගන්න එක හොඳයිනෙ කීවා. අන්තිමට ඒ විදියට තමයි මෙහේ පදිංචියට ආවොත් හොඳයි කියලා හිතලා ඇමරිකාවේ නතර වුණේ. හැබැයි මෙ​හේ ඉන්න හිතාගෙන ආපු ගමනක් නම් නෙවෙයි.

අන්තිමට රඟපෑ චිත්‍රපටය මොකක්ද?

මට මතක විදියට ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගෙ ‘සඳ කිඳුරි’ චිත්‍රපටයේ එහි රන්ජන්, ජනක කුඹුකගේ සහ මම ප්‍රධාන චරිත රඟපෑවා. ඒ චිත්‍රපටය නිෂ්පාදනය කළේ මගේ සැමියා එරික් රාජපක්ෂ.

අද ඇමරිකාවේ ගෙවන ජීවිතය කොහොමද?

මෙහේ හැමෝම හරිම කාර්ය බහුලයි. ලංකාවෙ එහෙම නැ. හැමෝටම වගේ මුණ ගැහෙන්න කතා කරන්න ඕනෑ තරම් වෙලා තියෙනවා. ඒත් මෙහේ කාර්ය බහුලත්වය වගේම රටත් ලොකු නිසා එකිනෙකාට දුරස්ථයි. අපේ ලංකාවේ ජනතාව අඩුවෙන් වැටුප් ගෙව්වත් ඒ ලැබෙන මුදල ඔවුනට පිරිමසා ගෙන ජිවත් වෙන්න පුළුවන්. ඒත් මෙහේ එහෙම නැහැ. රුපියල් පනස් දහසක වැටුපක් ගන්න කෙනෙක් කියලා හිතමු. එයා කුලියට ඉන්න කෙනෙක් නම් රුපියල් 45,000ක මුදලකට තමයි නවාතැන මිලදී ගන්න වෙන්නේ. මෙහේ ආර්ථිකය හදලා තියෙන්නේ රජය නොවැටෙන විදියටයි. ඒ නිසා ඉතිරි කරන්න අමාරුයි. බොහෝ දෙනා කාර්ය බහුල වෙලා ඉන්නෙ සමහර වෙලාවට ජොබ් එකකට වඩා කරන නිසයි.

හැබැයි මේ ලොක්ඩවුන් එකත් එක්ක, මව්පියන්ට ළමයින් එක්ක එකට ජීවත්වීමේ අවස්ථාවක් දෙවියන් වහන්සේ ලබාදීලා කියලා මම හිතනවා. ලෝකයේ බොහෝ දෙනා පසුගිය කාලයේදී කිව්වෙ පවුලක් හැටියට ළමුන් එක්ක ගත කරන්න  කාලයක් නැහැ කියලනෙ. මම හිතන්නෙ එහෙම පුළුවන්  කියලා දෙවියන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒකයි අද අපි හැමෝම මේ විදියට ගෙවල්වලට කොටුකරලා සිටින්නේ.

20200524Gothami-1

ගෝතමීට රඟපෑමෙන් ඈත්වෙලා ඉන්න එක ගැන දුකක් නැද්ද?

මම  විතරක් නෙවෙයි. ඕනෑම ආටිස්ට් කෙනෙක්ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවොත්, ඒ හැමෝම දෙන්නෙ එක උත්තරයක්. ඒ කියන්නෙ ඒක ඇත්තටම දුකක්, පාළුවක්. ඒත් සමහර අවස්ථාවලදී අපට ජීවිතයේ බෙහෝ දේ වෙනුවෙන් තීරණ ගන්න වෙනවා. මෙහේ ආවාට පසුවත් මට  අවස්ථා කීපයකම ආරාධනා ලැබුණා. ඒත් ලොකු දේවල් කරන්න තරම් කාලය කැප කරන්න බැහැ. හොලිවුඩය වගේ තැනක අවස්ථා ගන්න නම් අතිවිශාල කැප කිරීමක් කරන්න ඕනෑ. ඒ උත්සාහ කිරිම් අතරේ රස්සාවකුත් කරන්න ඕනෑ. බිලියන ගණනක් ඒ තැනට එන්න උත්සාහ ගන්නවා. 2008දී මට රොබට් ඩී නීරෝ සමග what just happened  කියන චිත්‍රපටයේ රඟපෑමට ඉතාම කෙටි අවස්ථාවක් ලැබුණා. ඒ හැර ටෙලි මාලාවකට දායක  වුණා. එච්චරයි කළේ.

ඇමරිකාවේ පදිංචිය කොහේද?

අපි ඉන්නෙ ලොස් ඇන්ජලිස්වල. ඒත් මේ දිනවල නිව්යෝර්ක් නගරයේ සිට කටයුතු කරනවා. මම මෙහි ක්‍රිස්තියානි මිෂනාරි සභාවක  ස්වෙච්ඡා සේවිකාවක ලෙස මේ දිනවල සේවය ලබා දෙනවා. මෙම වසංගතයට මුහුණදී සිටින ජනතාව වෙනුවෙන් උදවු උපකාර කිරීම අපේ සමාජ සේවයයි.

නිව්යෝර්ක් නුවර ඉන්න බය නැද්ද? මොකද මේ වසංගතය තදින්ම පැතිරි තිබෙන නගරයක්?

මම සිටින තැන රෝහල් දෙකක් තිබෙනවා. නිතරම ඇම්බියුලන්ස් සයිරන් හඬ ඇහෙනවා. මොන දේ සිද්ධ වුණත් මේ ස්වෙච්ඡා සේවය මම කරන්නේ ආසාවෙන්. කරන වැඩත් එක්ක නිකරුණේ  ඉන්න කාලයක්  ලැබෙන්නෙ නැහැ. ඒ හැරත් ඉඩ ලැබෙන සෑම වෙලාවකම මම පල්ලියට යන කෙනෙක්.

ලංකාවට අන්තිමට ආවේ කවදද?

2018 දී ආවා. හැබැයි මම ආවා කියලා මාධ්‍යයට කිව්වෙ නැත්තේ මට මගේ නැදෑ හිතවත් අය එක්ක කාලය ගත කරන්න තිබුණු නිසයි. ඒත් මෙහි සිටින මගේ යාළුවෝ ගොඩාක් මගෙන් ඇහුවෙ ඇයි ඔයා වැඩකට දායක නොවුණේ කියලයි.

ඇමරිකාවේදී ඔබට හමුවන එහි පදිංචිව සිටින අනෙක් කලාකරුවෝ කවුද?

 මේක ලොකු රටක්නේ. නිතරම මිනිස්සු හමුවන්න වෙලාවක් නැහැ. අවුරුදු තුනකට විතර ඉස්සෙල්ලා ඩිලානි හමුවුණා. එයා ඉන්නෙ නිව්යෝර්ක්වල. වතාවක රෝයි ද සිල්වා මෙහි ආ වෙලාවක හමුවුණා. සොමී රත්නායකත් හමුවෙලා තියෙනවා. ලින්ටන් සේමගේ  ඉන්නේ කැලිෆෝර්නියාවල.

ගෝතමීට ජීවිතේ ගැන කොහොමද හිතෙන්නෙ?

පසුතැවීමක් නැහැ. මට ලැබුණු ජීවිතය ගැන මේ දක්වා ගෙවූ ජීවිතය ගැන, දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. හොඳම ජිවිතයක් මට ලැබුණා. ඒ නිසා හරිම සතුටුයි.

එදා ඔබට තිබුණෙ නිළියක වීමේ අරමුණ විතරමද?

පාසල් කාලයේදී මේක අහම්බයෙන් වෙච්ච දෙයක්. පාසලේදී නාට්‍ය වැඩවලට සම්බන්ධ වුණා. සඳට එහා ලොවට ගිහින් නාට්‍යයේ රඟපෑවා. සමස්ථ ලංකා  තරගාවලියේදී ඊට ලැබුණෙ ප්‍රථම ස්ථානය. මගේ යාළුවෙක් තමයි සිනමාවට යන්න මාව දිරිමත් කළේ. මගේ පංතියේ හිටපු යාළුවොත් මාව නිතරම දිරිමත් කළා. පුස්තකාලයේ සිට මගේ පිංතූරයක් කේ.ඒ. ඩබ්ලිව්. මහතාගේ අලුත් චිත්‍රපටයට තෝරා ගන්න තැපැල් කළේ යාළුවෝ එකතුවෙලා. හැබැයි මේ කිසි දෙයක් අම්මා දැනගෙන හිටියෙ නැහැ. ඒ දිනවල නිවාඩුවට තාත්තා මාව නතර කරන්නේ ආච්චි අම්මලගෙ ගෙදර. ආච්චිලගෙ ගෙදර සිටින විට තමයි තිර පරීක්ෂණයට මාව තෝරා ගෙන ඇති බව දැන ගත්තේ. ඒ පාර තාත්තා මාව ඊට සහභාගි කෙරෙව්වා. හැත්තෑවක් අතරින් මාව තමයි මංජුගේ චරිතයට තේරුණේ. පසුව සති දෙකකට විතර පස්සේ ගමට ඇවිල්ලා අම්මා එක්ක පොළට යද්දී මිනිස්සු හැමෝම මා දිහා බලන්න පටන් ගත්තා. පත්තර විකුණුව කඩයක මුදලාලි, ආ බලන්නකො මේ ළමයනෙ මේ කියලා කිව්වා. මගේ පින්තූරයක් පත්තරයක මුල් පිටුවෙ පළවෙලා. යමංකො  ගෙදර කියලා අම්මා බැණ බැණ මාව එක්කගෙන ගියා. ඊට පස්සේ චිත්‍රපටයෙ මංගල දැක්මෙන් පසුව අම්මත් කැමති වුණා. එයින් පසුව තාත්තා විතරක් නෙවෙයි අනෙක් ඔක්කෝමත් උදව් කළා.

ගෝතමිගෙ ගම?

සඳලංකාව.

ගෝතමී කොහොම කෙනෙක්ද?

අනුන්ගෙ දුක, කරදරයට පිහිට වෙන්න කැමති කෙනෙක්. මට පුළුවන් විදියට මිනිසුන්ට උදව් කරන පරිත්‍යාගීලී කෙනෙක් කියලා හිතනවා.

 

සඳුන් ගමගේ

20200524Gothami-2