රිය අනතුරකට ලක්වූ චාමර ප්‍රියදර්ශන දැන් සුව අතට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චාමර ප්‍රියදර්ශන කියන්නේ බොහෝ දෙනා ඇලුම් කරන ආදරය කරන ජනප්‍රියම රංගන ශිල්පියෙක්.

මතකද.... ඒ ඔබ ආදරය කරපු රංගන ශිල්පියාව. ඔහුගේ විහිළු කතා ආදරණීය රඟපෑම් අමතක කරන්නට බැරි තරමට චාමර ප්‍රේක්ෂක හදවත වැළඳගෙන තිබුණා. කෙදිනක හෝ රටේ ජනප්‍රිය නළුවෙක් වෙන්න හීන දැකපු චාමර බොහෝ දුක් ගැහැට විඳ කලා ක්ෂේත්‍රයට පිවිසි රංගන ශිල්පියෙක් බව බොහෝ දෙනා දන්නා කරුණක්.

‘‘හීන දැක්කේ කවදාහරි නළුවෙක් වෙන්න. ඒ හීනෙට එන්න මම නොවිඳිනා දුක් වින්ඳා. කොළඹට ආපු මුල් කාලේ මම වැඩ කළේ පිටකොටුවේ කඩේක. රඟපාන්න එන්න කලින් මේසන් බාස්ලට අත්වැඩ දීලා තියෙනවා.

20200524Chamara-1අද මම පාරේ යනකොට මිනිස්සු මාව අඳුරනවා. අම්මෝ ඒ වෙලාවට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ. මම ආපු තැන මතක  නිසා අදටත් චාමර කියන්නේ සරල කොල්ලෙක්. මගේ ඔය බොරු ෂෝක් වැඩ නෑනේ.’’

 

චාමර සමග කතා බහ කරපු පුවත්පත් සාකච්ඡා කරපු බොහෝ දවස්වලට මේ වචන ටික කියන්න ඔහු අමතක කළේ නැහැ. කොහොම වුණත් කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට වටපිටාව සකස් කරගනිමින් ජය කණුවට ළඟා වුණු චාමරට හිටි හැටියෙම මීට මාස කිහිපයකට ඉහතදී ඉතාමත් අවාසනාවන්ත ලෙස රිය අනතුරකට මුහුණ දීමට සිදුවුණා. කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මාස කිහිපයක්ම නේවාසිකව ප්‍රතිකාර ලැබූ චාමර මේ වන විට සුව අතට පත්වෙමින් සිටිනවා. චාමරට ආදරය කරන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් චාමරගේ නවතම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අප චාමරගේ පියා වන අනිල් ගාමිණී මහතාගෙන් තොරතුරු විමසුවා.

‘‘චාමරගේ දුරකතනයට මුලින්ම ප්‍රතිචාර දැක්වූයේ චාමරමයි. අපේ චාමරට දැන් සුවයි නේද කියන අදහස හදවතේ කැකෑරුණත් හිසට සිදුවූ හානියත් සමග බොහෝ දේවල් චාමරගේ මතකයෙන් ඈත් වෙලා.

 

චාමර දැන් කොහොමද?

‘‘දැන් සුවයි. දැන් මට ටිකක් කතා කරන්නත් පුළුවන්. ඒත් මට මුකුත් මතක නෑ නදී. මම රඟපෑවා මතකයි. සමහර වෙලාවට සමහර දේවල් මතක් වෙනවා. යාළුවෝ ගොඩක් ආවා මාව බලන්න. ස්තුතියි. මම ගැන හොයලා බලපු උදව් කරපු සියලුම දෙනාට. ඉක්මනට මම ආයෙත් රඟපාන්න එනවා.’’

මේ පුංචි වචන ටික තැබුවේ චාමර ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්.

අනතුරුව අප චාමරගේ තත්ත්වය පියාගෙන් විමසුවා.

 

කොහොමද දැන් චාමරගේ තත්ත්වය?

පසුගිය පෙබරවාරි 15 වැනිදා තමයි පුතාව අනතුරට ලක්වුණේ. කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ දවස් දහනවයක් ප්‍රතිකාර ලැබුවා. එතැනින් සාමාන්‍ය වාට්ටුවට දාලා දින පහළවක් ප්‍රතිකාර ලැබුවා. මාර්තු 27 තමයි රෝහලෙන් පුතාව අපිට ගෙනයන්න හැකියාව ලැබුණේ. මාස හතර පහක්ම ඔට්ටු වුණේ පුතාව ගොඩගන්න. කෑම එහෙම දෙන්න බට දාලා තිබුණේ. අප්‍රේල් මාසේ සායනවලට එක්ක ආවාම ඒවා සියල්ලම ඉවත් කළා. දැන් කෑම කන්න පුළුවන්. පසුගිය සතියේ දකුණු අතේ නැවත ශල්‍යකර්මයක් කළා. දකුණු අත ස්ථාන දෙකකින් අස්ථි බිඳීමක් වෙලා තියෙනවා.

අනතුරින් චාමරගේ හිසට බරපතළ ලෙස හානි වුණා.

 

දැන් ශල්‍යකර්මයන් සියල්ල අවසන්ද?

නැවත ජූනි මාසේ එකොළොස්වැනිදා හිසේ ශල්‍යකර්මයක් කරන්න තියෙනවා. එදාට හිස් කබල තැන්පත් කිරීමේ ශල්‍යකර්මය කරනවා. ඉඳපු තත්ත්වය හැටියට චාමර පුතාට ගොඩක් සුවයි. පුතාගේ යාළුවෝ රංගන ක්ෂේත්‍රයේ අය සුවය පතලා බෝධි පුජා කළා, සොයලා බැලුවා. ඒ ආශිර්වාදයෙන් දළඳා හාමුදුරුවන්ගේ පිහිටෙන් පුතාට ඉක්මනින්ම හිටපු තත්ත්වයට පත්වෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු කියනවා. රෝහලේ ඉඳලා ගෙදර එනකොට කතා කරන්න බැරුව හිටියේ. දැන් ටික ටික කතා කරනවා. ඒත් අවුරුද්දක දෙකක ඇතුළත සිද්ධ වුණ දේවල් මුකුත්ම මතක නැහැ. අනතුර නම් මතකම නැහැ. මහේන්ද්‍ර පෙරේරා මහත්මයා වගේ ගොඩක් කළකරුවන්ගේ නම් කිය කියා මතක් කරනවා. පුංචි කාලේ, පාසල් කාලේ පරණ දේවල් ගැන නම් හොඳ මතකයෙන් කතා කරනවා.

මගේ ලොකු පුතා පදිංචිය ඇතුල්කෝට්ටේ. පුතාගේ අනතුරින් පස්සේ අම්මයි මායි ලොකු පුතාලගේ ගෙදර ඉඳගෙන චාමර පුතාව බලාගන්නවා. අපේ පදිංචිය තෙල්දෙණිය. පුතා වෙනුවෙන් අපිත් දැන් මාස 4ක් කොළඹට වෙලා ඉන්නවා.

 

වෛද්‍යවරු චාමරගේ තත්ත්වය ගැන මොකද කියන්නේ?

අනතුර සිදුවුණු වෙලාවේ පුතාගේ හිසේ අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවෙලා තිබුණු නිසා කළුබෝවිල රෝහලෙන් පුතාව කොළඹ ජාතික රෝහලට යවලා තිබුණා. එදා උදේ තමයි අපිත් මේ ගැන දැනගත්තේ. දකුණු අත කැඩිලා, ඔළුවේ රුධිර පීඩනය වැඩිවෙලා තිබුණා. පුතාගේ ඔළුකට්ට තාවකාලික ඉවත් කලා. තත්ත්වය ටිකක් බරපතළ නිසා ඒ වෙලාවේ වෛද්‍යවරු කියලා තිබුණා 50%ක ජීවිත අවදානමක් තියෙනවා කියලා. නමුත් ශල්‍යකර්මයෙන් පස්සේ තත්ත්වය ගොඩාක් හොඳ අතට හැරීගෙන එනවා කියලා අපට වෛද්‍යවරු කිව්වා. දැනට තියෙන තත්ත්වය අනුව තව මාස හතක් අටක් විතර යනකොට පුතාට සම්පූර්ණ සුවය ලැබේවි කියලා වෛද්‍යවරු කියනවා.

 

ඇත්තටම එදා චාමරට මොකද වුණේ?

පෙබරවාරි 15 වැනිදා පුතා රූගත කිරීමකට ගිහිල්ලා නවාතැනට එනකොට රෑ වෙලා තිබෙනවා. පස්සේ නවාතැනේ ඉන්න යාළුවා දිනේෂ් පුතා එක්ක රෑට කෑම  ගන්න පැලවත්තේ ඉඳලා තලවතුගොඩ පැත්තට ඇවිල්ලා තියෙනවා. මෝටර් බයිසිකලය පදවලා තියෙන්නේ දිනේෂ් පුතා. චාමර ගිහින් තියෙන්නේ පිටිපස්සේ. පාන්දර 2.30ට විතර මෝටර් බයිසිකලය තලවතුගොඩදී ලයිට් කණුවක වැදිලා තියෙනවා. වැදුණු වේගෙට චාමර පුතාව විසි වෙලා ගිහිල්ලා එතන තිබුණු සිග්නල් කණුවේ ඔළුව වැදිලා තියෙනවා.

ඒ වෙලාවේ එතන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඉඳලා තියෙනවා. ඒ පොලිස් නිලධාරීන් දෙදෙනා තමයි පුතාලා දෙන්නව කළුබෝවිල රෝහලට එවලා තියෙන්නේ. අපිට අනතුර ගැන ආරංචි වුණේ පහුවෙනිදා උදේ පාන්දර. දිනේෂ් පුතාට ලොකු තුවාල නැහැ. එයා තමයි චාමර ළඟ ඉඳගෙන නිතරම බලා ගන්නේ.

නළුවෙක් වෙන්න තමයි චාමර පුතා හීන දැක්කේ. කොළඹ ඇවිල්ලා දැන් අවුරුදු දාහතක් විතර වෙනවා. රඟපානකොට ඉතින් හරිම සතුටෙන් ඒවා ගැන අපිට කියනවා. අම්මට, මට ගෙදර අවශ්‍යතාවලට මුදල් දෙනවා. මගේ පුතා ගොඩක් හිත මිතුරන් ඇසුරු කරපු හරිම ආදරණීය චරිතයක්. වෛද්‍යවරු, හෙද හෙදියන්, යාළුවෝ, හිතවතුන්, නෑදෑයින් පුතාට ආශිර්වාද කරපු සියලුම දෙනාට මම ස්තුති කරනවා. ඔයාලගේ ආදරේ ආශිර්වාදය තමයි පුතාව ජීවත් කරවන්නේ. ඉක්මනින්ම චාමර පුතා සුව වෙලා පුරුදු විදියටම ආයෙම රඟපාන්න ඒවි.

 

නදීෂා අතුකෝරළ

ඡායාරූප: චමත් වින්දුල