මගේ මහත්තයා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ ඇතිවී තිබෙන වසංගත තත්ත්වය නිසා හැමෝම වගේම කලා ක්ෂේත්‍රයේ නියැලී සිටින අයත් ඉන්නෙ ගෙදර. දැන් ඒ නිසා කලා ක්ෂේත්‍රයේ නිරතව සිටින නෝනලා මහත්තයලාට එක්තරා විදියක විරාමයක් ලැබිලයි තියෙන්නෙ. අද දවසේ ඔවුන් නිවෙස්වලට වෙලා මොන විදියටද කාලය ගත කරන්නෙ. හෙට දවසේ  ඒ අය කරන්න හිතාගෙන  ඉන්නේ මොන වගේ වැඩද? මේ කලා ක්ෂේත්‍රයේ සිටින නෝනලා කීප දෙනෙක් එම ක්ෂේත්‍රයේම සිටින මහත්තුරු ගැන කිව්වේ මෙලෙසිනි.

අනේ ‘සුපර්ණා’

20200524Husband-(5)

සුජීව ප්‍රියාල් ගැන දුලීකා මාරපන

සුජීවයි මායි කියන්නෙ ඉතින් එක්කෙනෙක්. කලා ක්ෂේත්‍රයේ සෑම දෙයක්ම වෙන වෙනම කියලා කරන්නෙ නැහැ. දෙන්නම එකටමයිනෙ කරන්නෙ. ඉතින් අපි දෙන්නා එකතු වෙලා කළ. සුපර්ණා රිලීස් කරලා තිබුණෙ. ඒ වෙලාවෙ තමයි කොරෝනා ආවේ. ඒ නිසා චිත්‍රපටය පෙන්වන කටයුතු අඩාල වුණා. ඉන්පස්සෙ ඉතින් කොරෝනා මැද කොළඹ සිටි දින කීපයේදි අපි දෙන්නා එකතු වෙලා සුළු සුළුවෙන් පුලුවන්විදියට නැති බැරි අයට ටික ටික උදවු කළා. කොහොමටත් අපි අවුරුදු මාසයේදී කෑගල්ලෙ ගමේ යාම පුරුද්දක් කරගෙන ඉන්නෙ. මේ සැරේත් එහි ගිහින් ඉන්නෙ. හැබැයි නිරෝධායනය වෙනුවට අපි කළේ ගොවිතැනට බැහැලා කටයුතු කළ එකයි. කොහොමටත් අපේ කුඹුරුවල වැඩ වලට අපි උදවු වෙනවා. සුජීව කොළඹ කෙනෙක් වුණත් මගේ ගමේ වැඩත් එක්ක දැන් මට වඩා එයා මේ කුඹුරු වැඩ වලට සහ වගා කරන වැඩ වලට උනන්දුයි. මගේ ජන ජීවිතය සහ ස්වරූපය එක්ක එයත් ඒවාට හැඩගැහිලා.

අපි වගා කරන්නෙ තනිකරම වස විස පොහොර වලින් තොරවයි. කාබනික පොහොර යොදා ගෙන වගා කරලා ඵලදාව ගන්න නිසා සෞඛ්‍යටත් එය හොඳයි. ගමට කොරෝනා නැත්තෙත් ගමේ මිනිස්සු ස්වභාවර්ධයට පිටු නොපා පරිසරය එක්ක ජීවත් වන නිසයි. කොළඹ අයට එහෙම නැහැනෙ. එයාලට බඩ ගින්නක් සාගරතයක් වසංගතයක් ආවම කන්න වෙන්නෙ ගෙවල් වලට බැඳලා තියෙන සිමෙන්ති තාප්ප කඩා ගෙනයි. ගමේ අයට එහෙම නැහැනෙ. ගමේ සෑම කෙනෙකුටම වහ නැතුව ගහක කොළයක් හරි කන්න තියෙනවා. ගමේ මිනිස්සු හැප්පෙන්නෙ පොළවත් එක්ක.

ඉදිරියේදි මගේ මහත්තයයි මායි එකතු වෙලා තවත් වේදිකා නාට්‍යයක් කරන්න සැලසුම් කරනවා. මේ වසංගතය ආවා කියලා මිනිස්සු ඒ මත්තෙම වැටිලා හිටියෙ නැහැනෙ. ඉදිරි වැඩ කටයුතු සැළසුම් කළා. හැබැයි ඉතින් අනෙක් රටවලට සාපේක්ෂව මේ රටේ කලාව අත්‍යාවශ්‍ය දෙයක්​ නෙවෙයි වගෙයි.

ජාතික ප්‍රතිපත්තියක් නැති වෘත්තියක්නෙ මේ. ඒ කොහොම වුණත් වෙනදා වගේම අපේ ශක්තියෙන් අපි හැමෝටම නැගිටින්න උත්සාහ ගන්න වේවි.

20200524Husband-(3)‘රැස්’ නතරවුණා

ගයාන් ගැන චතුරිකා

ගයාන් රඟපාන රැස් නාට්‍යය විකාශය වෙමින් තිබුණෙ. ඒත් මේ තත්ත්වය නිසා ඒක තාවකාලිකව නතර වෙලා එහි ඉදිරි කොටස් රූගත කිරීම් නැවත පටන් ගනීවි. ඊට අමතරව අපි දෙන්නම රඟපාන නිර්මාණයෙහි වැඩ නතර වුණා. එහි වැඩ කටයුතු අරඹන්න හිටියෙ මැයි මාසයේදී. මාර්තු-අප්‍රේල් කියන්නෙ  කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාට ඉතාම සරු කාලයක්. මේ කාලයේදී තමයි සංගීත ප්‍රසංග ආදී විවිධාකාර උත්සව බෙහෙවින් සංවිධානය වෙන්නෙ. ඒත් මේ වසංගතය නිසා කලාකරුවන්ට ඒ සියල්ල අහිමිව ගියා. හැබැයි ඒ නිසා අපේ චූටි දෝනිට නම් වුණේ හොඳක්. මාර්තු- 17 ඉඳලාම එක දිගට අම්මා තාත්තාගෙ උණුහුමට මැදිව එයාට ඉන්න ලැබුණා. අපි පොඩි කාලයේදීවත් අපට ඒ විදියට අපේ අම්මා තාත්තා එක්ක ඉන්න බැරි වුණේ කලා ක්ෂේත්‍රයේදී එයාලා කාර්ය බහුලවීම නිසයි. මේ වසංගතය දුරු වෙන්න ඕනෑ තමයි. ඒත් අපි නම් මේ සියල්ල දෙස බලන්නෙ සුබවාදිවයි.

කාලයක් තිස්සේ චිත්‍රපටයක් කරන්න ගයාන් සැළසුම් කරගෙන හිටියෙ. ජුලි වල පටන් ගන්න හිටියත් දැන් ඒකත් කල් දාන්න වෙලා. ගෙදර ඉන්නට ලැබුණු මේ කාලයේදී ගයාන් කළේ වගා කරන එකයි. එළවළු වවන්න එයා උනන්දු වුණා. පුළු පුළුවන් විදියට බන්‍ඩක්කා, මෑකරල්, බටු, ගොටු කොළ වගේ දේ වගා කරන්නත් අනෙක් පැල වලට සාත්තු සප්පායම් කරන එකත් එයාගෙ පුරුද්දක් කර ගත්තා. එයාගෙ සුනඛ සුරතලාගෙන් තමයි පැල ටික බේරා ගන්න ලොකු මහන්සියක් වෙන්නෙ. ගයාන් වගා කරද්දි සුනඛ සුරතලා ඇවිත් පැළ උඩ පෙරළෙනවා. දඟලනවා. ඒ නිසා එයාගෙන් බේරිලා ඒ වැඩ ටික කරන්න එයා මහන්සි ගත්තා. ගෙදර අස්පස් කරන්න වගේම දෝනිගෙ වැඩ කටයුතු කරන්නත් එයා ඉස්සර ඉඳලාම මට උදවු කරනවා. ඒක සෑහෙන ලොකු දෙයක්. එයාගෙන් මා දැකපු විශේෂම දේ මේ දිනවල දෝනිට වඩාත් සමීප වීමයි. පසුගිය දිනවල එයාට එයාගේ අලුත් ගමන වෙනුවෙන් මාතලේ ගමට ගිහින් ජනතාව එක්ක එකට හිඳිමින් කාලය ගත කරන්න සිදුවුණා. ඒ නිසා දුව එක්ක ඉන්න ලොකු කාලයක් තිබුණෙ නැහැ. ඒත් දැන් නම් දෙන්නාට දෙන්නා නැතුව බැරි ගාණට මේ දවස් ටිකට ලොකු බැඳීමක් ඇති වෙලා. ඒ බැඳීම ඉතා ආසාවෙන් සුන්දරව විඳිනවා. වැඩිපුර අම්මා, අම්මා කියලා මුමුනපු දෝනි දැන් මේ දවස් ටිකට කොච්චර නම් තාත්තාට සමීප වුණාද කිව්වොත් තාත්තාගේ නම කියන්න තමයි වැඩිපුර උත්සාහ ගන්නෙ. මම ඉතින් මේ දේවල් දිහා බලාගෙන සතුටින් ගෙදරට වෙලා කාලය ගත කරනවා.

20200524Husband-(4)එංගලන්තෙ යන්න හිටියෙ

තුමිදු ගැන කලණි

තුමිඳු එයාගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් විදෙස්ගත වෙන්න හිටියෙ පසුගිය පෙබරවාරි හෝ මාර්තු අග වෙද්දි. ඒත් ඒ ගමන ටිකකට කල් ගියා. නාට්‍ය හා රංග කලාව පිළිබඳව ආචාර්ය උපාධිය වෙනුවෙන් එංගලන්තයට යාමට සිටියදී තමයි මේ විදියට ඒ ගමන කල් ගියේ.

රංගන කටයුතුවලදි ලක්මාල් ධර්මරත්නගෙ ෆිල්ම් එකේ රූගත කිරීම් වලට දායක වෙමින් සිටියෙ. මේ වැඩ වලට අමතරව තුමිඳු මට ලොකු සහයෝගයක් දෙන කෙනෙක්. මේ කාලයේදි කියලා වෙනසක් නැහැ. හැමදාම එයා මට ඒ සහයෝගය දුන්නා. මම කටයුතු කරන්නෙ මොරටුව සරසවියෙ මනෝ උපදේශකවරියක ලෙසයි. ඊට අමතරව මගේ කැම්පස් වැඩ වලට වගේම අපුර්ව පුතා බලා ගන්න වැඩ වලටත් තුමිඳු ලබා දෙන්නෙ ලොකුම ලොකු සහයෝගයක්. මේ කාලයේදී ගෙදරටම වෙලා ඉන්න නිසා පුතා එක්ක ඉන්නත් එයාට ලැබුණෙ ලොකු කාලයක්. පවුලක් හැටියට පුංචි පුංචි දේ එක්ක අපි ලැබුවෙ ලොකු සතුටක්. මේ ලොක් ඩවුන් කාලයේදී තුමිඳු ජනතාව පිළිපැදිය යුතු නීති රීති සම්බන්ධව කූඹියෝ නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් මිනිසුන් දැනුම්වත් කිරීමේ වීඩියෝ එකක් කළා. මේ විදියට අපට තුමිඳු එක්ක ඉස්සරට වඩා වැඩිපුර කාලයක් ගත කරන්න ලැබුණා. ඒ නිසා මටත් හරි සතුටුයි.

මේ කාලයේදී එයා ගස් වවන්නත් පුතා එක්ක සෙල්ලම් කරන්නත් කාලය යොදා ගත්තා. සමහරදාට පුතාට සෙල්ලම් ගෙවල් හදලා දුන්නා. මේ විදියට අපි තුන් දෙනාට වැඩි කාලයක් එකට එක්ව ගත කරන්න ලැබීම මට නම් ඇත්තටම ලොකු සතුටක්.

20200524Husband-(1)ගායන ශිල්පියා ගොවි මහත්තයෙක් වෙලා

ටී.එම්.ජයරත්න ගැන මාලනී

අපි ඉතින් මුළු  රටක් එක්ක මේ දිනවල නිරෝධායනයට ලක්වෙලානෙ ඉන්නෙ. එක අතකට ඒක පුදුම අත්දැකීමක්. මේ ස්වභාවය එක්කම මහත්තයා මේ දිනවල කටයුතු කරන්නෙ තරමක් විවේකයෙන්. ඒ විවේකය එයාට ලැබුණෙ කාලයකට පසුවයි. පසුගිය කාලයේදී එයා කාර්ය බහුල වෙලා හිටියෙ. ඒ කාර්යබහුල තත්ත්වයෙන් මිදිලා විවේකයක් ලැබීමත් එකතකට හොඳ දෙයක්. මේ ලැබුණු විවේකය එයා අර්ථවත්ව ගත කරන බව පෙනෙනවා. ඒ ප්‍රවීණ ගායන ශිල්පී මහත්තයා, අද ගොවි මහත්තයෙක් වෙලා. වත්ත සුද්ද කරමින් පුංචි-පුංචි පාත්ති ටිකක් හදාගෙන, ඒවාට සාත්තු කරමින්, වැඩ කරනවා. එයාගෙ වැඩ කොහොමටත් හරි පිළිවෙලයි. කිසිම කලබලයක් නැහැ. මට හිතෙන්නෙ කාර්යබහුලව පසුගිය කාලයේ ගෙවූ කාලයට වඩා මේ නිසා මනස සැහැල්ලු කරගන්න පුළුවන් වුණා.

පසුගිය කාලයේ ‘සොඳුරු අතීතය ප්‍රසංගය’ පවත්වමින් සිටියෙ. තවත් ප්‍රසංගයක් සඳහා ආරාධනා ලැබී තිබියදී, එය අවලංගු කරන්න සිද්ධ වුනා. ගෙදරට වෙලා මේ විදියට කටයුතු කරන අතරේ අලුත් ගීත නිර්මාණ කීපයකුත් කළා. මේ වගේ ව්‍යසනයක් ආවාම, මුලින්ම සමාජය සුවපත් කරන්න ඉදිරිපත් වන්නෙ කලාකරුවො. මේ කාලයේදී බොහොමයක් හොඳ නිර්මාණ බිහි වෙන බව පෙනෙන්නට තිබෙනවා. එය හොඳ දෙයක්. පසුගිය පාස්කු බෝම්බයෙන් අනතුරුව මාත් අලුත් ගීතයක් ලියුවා. ‘කඳුලැලි මත යළි ගොඩ නැගෙමු’ නමින්.

20200524Husband-(2)නැවතුණු පොතේ වැඩ අායෙම පටන්ගත්තා

සනත් නන්දසිරි ගැන මල්කාන්ති

මුලින්ම කියන්න ඕනෑ. අපි දෙන්නා, දෙන්නෙක් නෙවෙයි. එක්කෙනෙක්. අපි දෙන්නාගේ ජීවිත ගලා අවේ ඒ විදියටයි. මහත්තයා කියන ඒවා අපි ක්‍රියාත්මක කරනවා. එහිදී එයා ඒකාධිපතියකු නොවෙයි. එයා ඉදිරිපත් කරන මතයේම ඉන්න කියලා අපට බල කරන්නේ නැහැ. සාර්ථක සහ ශක්තිමත් පවුලක් වීමේ රහසත් එයයි. මේ විදියට ජීවිත ගත කරන අපි, අපේ ජීවිත කාලයේදී බොහෝ ව්‍යසන වලට මුහුණ දිලා තියෙනවා. රටේ යුද්ධයක් පැවතියා, අපි ඒවාට මුහුණ දුන්නා. ජනවාර්ගික කෝලාහල ඇතිවුණා. අපි ඒවාට මුහුණ දුන්නා. මේ විදියට ප්‍රශ්න වලට මුහුණ දීලා යම් කිසි පන්නරයක් ලබා සිටිනවා. හැබැයි ඒ විදියට ව්‍යසන වලට මුහුණ දිලා ජීවිතයේ අත්දැකීම් තිබුණත්, මේ ව්‍යසනය කියන්නේ, අපි හැමෝම මුළු ලෝකයක් ලෙස මුහුණ දෙන ව්‍යසනයක්. අනෙක් ඒවාට වඩා මේ ව්‍යසනයට අපි ඔක්කෝගෙම, මනසට - පපුවට දැනිච්ච, වැදිච්ච දෙයක්. මේ ව්‍යසනය හමුවේ මුහුණ දීමට සිදුවෙලා තිබෙන්නෙ හරිම ගැටළුකාරී විදියටයි. එදිනෙදා යමක් හම්බකරන සහ මාස් පඩි නොගන්නා මිනිසුන් සහ කලාකරුවන් මේ වෙලාවේ ඉතාම අසරණව සිටින මොහොතක්.

අපි දෙන්නා අපේ ජීවිත ගොඩනගා ගත්තෙ ඉතා ක්‍රමවත් විදියකට සැළසුමකට අනුව ඒ නිසා ආර්ථිකව ගත්තොත් අපට දුෂ්කරතාවයක් නැහැ. එහෙමයි කියලා අපි මහා සල්ලිකාරයෝ එහෙම නොවෙයි. අද වෙනදාට වඩා නේකවිධ මිනිස්සු අපේ ගේට්ටුව අසලට එනවා. මාත් මහත්තයත්, ඒ කිසිවකු හරවා යවන්නෙ හිස් අතින් නම් නෙවෙයි. හැකි විදියට අපි කළ යුතු උදව්වක් කරනවා. ඒ නිසා අපි ලබන මානසික තෘප්තිය ඉහළයි.

මේ මොහොතේ ජනපති, අගමැති, හමුදාපති, වෛද්‍ය ක්ෂේත්‍රය, ඇතුළු පිරිස රට වෙනුවෙන් කරන සේවයත් අපි ඉහළින්ම අගයන්න ඕනෑ.

මගේ මහත්තයා කටයුතු කරන්නෙ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙසයි. ආයතනික වශයෙන් මේ දිනවල ඇති වී තිබෙන ගැටළු - ප්‍රශ්න නිරාකරණය කර ගන්න දුරකථනයෙන් උපදෙස් ලබා දෙනවා. ඊට අමතරව එයා බොහෝ දෙනාට උපදෙස් දෙන්න, ඕනෑම වෙලාවක පැකිලෙන්නෙ නැහැ. විශේෂමදේ පසුගිය කාලයේ අතපසු වූ වැඩ කීපයකට එතුමා යළි අත ගැසුවා. පොත් දෙකක් ලියන්න හිටියෙ. ඒ වැඩේ ආයෙත් මේ දිනවල පටන් ගත්තා. මම කළේ අපේ ගෙවීගිය ජීවිත කාලයේදී කළ සංචාරවලදී සහ ප්‍රසංග වලදී, ගත්ත ඡායාරූප සහිත ඇල්බම් පිළිවෙලකට සකස් කළ එකයි. ඊට අමතරව ඉතින් අපි දෙන්නෙක් වුණාට, ඊට වඩා අපි හිතන්නෙ පවුලක් විදිහටයි. දුව අනුරාධා සහ එයාගෙ මහත්තයා ජීවිතය ගත කරන්නේ සැලසුමකට. ඉතින් එයලත් අපට උදවු කරනවා. ගෙදර ඉන්න අපි එක්ක ජීවත්වන සුරතල් සතුන් රංචුව බලාගන්නත් ඕනෑ. මේ සියල්ල අතරේ අහල-පහළ උදවියට අපට හැකි පමණින් උදවු කරන්න අපි මැලිවෙන්නෙ නැහැ. මම කියන්නෙ අපි ඔක්කොම එක්ව-එක්සිත්ව මේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම නිවැරදිව අනුගමනය කරලා මේ ව්‍යසනය අපේ රටෙන් දුරු කරනවන්න ජාතියක් ලෙස උදවු වෙමු.

 

සඳුන් ගමගේ