ගී පද මාලාවක් හැමවිටම නැවුම් විය යුතුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලින් කලට විරුවෝ බිහිවෙති. රණවිරුවෝ, රට විරුවෝ අතරට දැන් සුව විරුවෝ ද එක්ව සිටිති. ලොවටම ව්‍යසනයක් වූ කොරෝනා නව වෛරසයට අභීතව මුහුණදී එය පැරද්දවීමට සමත්වූ අපේ වෛද්‍යවරු, හෙද හෙදියෝ සහ විවිධ වෛද්‍ය කාර්ය මණ්ඩල මේ සුව විරුවන්ට අයත් වෙති. සැබැවින්ම ඔවුන් මේ වෛරසය සමග සටන් කරන්නේ මනා කැපවීමකිනි.

මේ සුව විරුවන් අතර දහසක් රසික සිත් සුවපත් කළ හැකි කලාකාමීහුද වෙති. ගී ගයන, ගී ලියන නොඑසේ නම් වෙනත් කලා නිර්මාණ කරන මේ සුව විරුවන් ඇගයීම මේ මොහොතේ අපෙන් ඉටුවියයුතු යුතුකමකි. කෑගල්ල මහ රෝහලේ වැඩබලන විශේෂඥ වෛද්‍ය ඊෂ්මා සමරසිංහ, අද සඳැල්ලට කැඳවන්නේ සුව විරුවකු ලෙසද ගී තරුවක ලෙසද අගයමිනි.

 

20200528Ishma-1ඔබේ වෛද්‍ය සේවයේ ස්වභාවය කොයිවගේද?

බොහෝ රෝගීන්ගේ රෝගවල ස්වභාවය පිටතට පේන්නෙ නැහැ. ඒනිසා අපට සිද්ධවෙනවා. රෝගියාගේ ශරීර අභ්‍යන්තරය බලලා රෝගය හඳුනාගන්න. සී.ටී. ස්කෑන්, එම්.ආර්.අයි. වගේ විවිධ පරික්ෂණ වලින් මම කරන්නේ අන්න ඒ කටයුත්ත.

 

ඒ කියන්නෙ බොහොම බැරෑරුම් වගකීමක්.

වෛද්‍ය වෘත්තිය කියන්නෙම බැරෑරුම් වගකීමක්. මොකද අපි කටයුතු කරන්නේ මිනිස් ජීවිතයක් සමග. වෛද්‍යවරයෙක් එළඹෙන වැරැදි නිගමනයක් බලපාන්නෙ ජීවිතයට. මගේ වගකීම තවත් බැරෑරුම් වෙනවා. හරියට ලෙඩේ හඳුනාගත යුතු නිසා. මම දෙන විනිශ්චය අනුවයි, වෛද්‍යවරු ප්‍රතිකාර කරන්නෙ.

 

මේ දවස්වල, ඔබට වැඩ කටයුතු කරන්න වෙලා තියෙන්නෙත් අවදානම එක්ක.

ඇත්තටම විශේෂයෙන් මේ දවස්වල කොරෝනා නව වෛරසය පැතිර යන අවස්ථාවෙදි අපිට සිද්ධ වෙනවා වෛරස් වලට අනාවරණය නොවී රෝගියාට කිට්ටුවෙන්න. ඒ නිසා පොලිතීන් වගේ විශේෂ ඇඳුමකින් සැරසෙන්න වෙලා තියෙනවා. හරියට හඳට යන්න සූදානම් වෙලා වගේ.

 

එතකොට රෝහලේදී සිංදු කියන්න බැහැ.

වෛද්‍ය වෘත්තිය කියන්නෙ ලොකු වගකීමක්. ඒ වෙලාවට සිංදු කියනවා තියා සිංදු ගැන හිතන්නවත් බැහැ.

 

නමුත් රෝහලේ සහෝදර කාර්ය මණ්ඩලය, ඔබ සිංදු කියන දොස්තර කෙනෙක් බව දන්නව ඇති.

ඔව්.. ඒක නම් කවුරුත් වගේ දන්නවා. මොකද මං ගායනා කළ ගීත හුඟාක් අය අහල තියෙනවා.

 

ඔබ කියලා නෙවෙයි?

අපෝයි නෑ. මං කෑගල්ලට ඇවිත් අවුරුද්දකට වැඩියෙ නෑ. මං එනකොටම හුඟාක් අය මගේ ගීත අහලා තිබුණා. මං සිංදු කියන බව දැනගෙන තිබුණා.

 

එතකොට ඒ අය ඔබ හඳුන්වන්නෙ සිංදු කියන දොස්තර නෝනා කියලද?

ඒකනම් දන්නෙ නෑ. සමහරු එහෙම කියනවත් ඇති.

 

ඒ අය අතරෙ වැඩියෙන්ම ජනප්‍රිය වුණු ගීතය?

මේ වසන්තයයි කියන ගීතය. ඒ ගීතයෙ කියැවෙන්නෙ පේරාදෙණි සරසවි ප්‍රේමයක් ගැන. මේ ගීතයට හදපු විෂුවල් එකෙත් තියෙන්නෙ පේරාදෙණි සරසවිය. ඒ නිසා මගේ සහෝදර වෛද්‍යවරු වැඩිදෙනෙක් මේ ගීතය අහල තියෙනවා.

මේ වසන්තයයි

ඔබ කියාදුන් වසන්තයයි

ඔබ නැතුව මෙය රසවිඳින හැටි

මට කියා නොදුන්නේ එපමණයි.

 

මේ වෙද්දි ඔබේ හඬින් ගැයුණු ගීත ගණන?

විසිපහක් විතර. නමුත් ඒ අතරින්, තවම රිලීස් කරල තියෙන්නෙ දහසයක් විතරයි.

 

ඇයි ඒ තියාගෙන ඉන්නෙ?

ඒකනම් අහන්න ඕනෑ මගෙ මහත්තයා පද්මගෙන්. එයා තමයි මගෙ සිංදු රිලීස් කරන්නෙ. එක වගේ මෙලඩි, එකවගේ පදමාලා තියෙන ගීත දෙක තුනක් එක ළඟ කෙරුණාම පද්ම එයින් රිලීස් කරන්නෙ එක ගීතයයි. ගීත වල විවිධත්වයක් තියෙන්න ඕනෑ කියලයි එයා කියන්නෙ.

 

ඒ කියන්නෙ ඔබේ ගායනා දිවියෙ නියෝජිතයා ඔහු.

ඒ වගේ තමා. ඔහුට ගීත ගැන, හොඳ රසඥතාවයක් තියෙනවා. පදමාලාව, සංගීතය වගේ හැමදෙයක් ගැනම. වාද්‍ය භාණ්ඩයක් එක් කිරීමෙන් සහ අඩුකිරීමෙන් ගීතයකට කළ හැකි වෙනස්කම් ගැන ඔහුට හොඳ ඉවක් තියෙනවා. ගීතයක් නිර්මාණය කරද්දි, ඒ වගේ සියුම් දේවල් ගැන වගේම මගේ ගායනයෙ පුංචි අඩුපාඩුවක් වුණොත් ඒ ගැන පවා ඔහුට දැනෙනවා.

 

ඔබේ ගායන දිවිය පටන්ගන්නෙ?

පාසලෙන්. මම අපේ පාසලේ (කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාව) තිබුණ සමූහ වාදන කණ්ඩායමේ සාමාජිකාවක්. හැබැයි මට සිදුවුණේ වාදනය කරන්න. මට පාසලේදී ගීතයක් ගයන්න අවස්ථාවක් ගන්න නම් මං වෙනුවට වාදනය කරන්න වෙන කෙනෙක් ඉන්න ඕනෑ. මේ නිසා මට පාසලේදී නම් ගයන්න අවස්ථාව ලැබුණෙ නැති තරම්. කොහොම වුණත් අපේ වාදන කණ්ඩායම සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණය හය වතාවක්ම ලබාගත්තා.

හැබැයි මම පද්‍ය ගායනා තරඟ වලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරල තියෙනවා.

 

පාසලෙන් විශ්ව විද්‍යාලයට ගියාම.

එතකොට නම් පීඨ දිනයට එහෙම ඉදිරිපත් වෙලා ගීත ගායනා කරල තියෙනවා. ජයග්‍රහණ එහෙමත් ලබලා තියෙනවා.

 

එතකොට ඔබේ පළමු ගීත නිර්මාණය එළිදකින්නෙ?

විශ්ව විද්‍යාලෙදි සරත් පීරිස්ගෙ සංගීතයට ගායනා කළ කවියක් සේ ඔබ.

 

ඊට පස්සෙ, කවියක් සේ ඔබ ගායිකාවක් සේ ඉදිරියට යනවා.

අනුරාධ අබේසිංහ අයියගෙ සංගීතයට හදපු සඳ ඉන්න තැන කියන ගීතය ගායනා කරනවා.

සඳ ඉන්න තැන දන්නවද ඔබ

ඔබට නොපෙනී ආකහේ

මම ඉන්න බව දන්නවද ඔබ

ඔබට නොපෙනී හදවතේ

 

මේ ගීතය, ඔබේ ගමනට පාර කපනවා.

ඔය ගීතය මුහුණු පොතට දානවා. යූ ටියුබ් චැනල් එකටත් දානවා. මේ නිසා හුඟාක්දෙනා අතරට මේ ගීතය යන්න පටන්ගත්තා. හුඟාක් ප්‍රතිචාර ලැබුණා. මගේ ගායනය ගැන ප්‍රශංසාත්මක ප්‍රතිචාර ලැබෙන්න පටන්ගත්තා.

 

ඊට පස්සෙ අනුරාධ, ඔබට තව තවත් ගීත නිර්මාණය කරලා දුන්නා.

මට ගොඩාක් පදමාලා ලැබෙන්න පටන්ගත්තා. පිටරටවලින්. ලංකාවෙ අයගෙන් එහෙම. ඕව අතරින් වෙනස් විදිහෙ පදමාලාවක් හම්බවුණාම අපි ඒක නව නිර්මාණයක් විදිහට එළි දක්වනවා.

 

ඒ කියන්නෙ ඔබ පදමාලා ගැන හුඟාක් හොයනවා.

නැතුව බැහැනෙ. සුභාවිත ගීත වුණත් ඒකාකාරී පදමාලා ගායනා කරල තේරුමක් නැහැ. ප්‍රේම ගීතයක වුණත්, අලුත් අදහසක් අලුත් වචන ටිකක් නොතිබුණොත් මම ඒ ගීතය ගායනා කරන්නෙ නැහැ. හැම ගීතයක්ම නැවුම් ගීතයක් වෙන්න නම් ඒ පදමාලාව මේතාක් ඇහුණු පදමාලාවකට වඩා වෙනස් වෙන්න ඕනෑ. ඒ වගේම සංගීතයත් නැවුම් වෙන්න ඕනෑ.

 

අනුරාධගේ සංගීත නිර්මාණ නැවුම්ද?

ඔහු හුඟාක් මහන්සි වෙනවා අලුත් විදිහෙ සංගීත රචනයක් කරන්න. මම ඉදිරියේදී ගයන්න තෝරාගෙන ඉන්නවා රාවණ සහ මන්දෝදරී දෙන්නගෙ ප්‍රේම සංවාදයක්. මේ ගීත පදමාලාවට තනුව හදන්න අනුරාධ මහන්සි වෙන්නෙ මාස ගණනක ඉඳන්. හදමින් වෙනස් කරමින් ඔහු වෙහෙස වෙනව.

 

ඔබේ ගීත අහන්න ලැබෙන්නෙ.

මුහුණු පොතෙන් සහ යූටියුබයෙන්.

 

ෆේස්බුක් එකෙන් විතරක් සිංදු ජනප්‍රිය කරන්න පුළුවන්ද?

මම අනුරාධ අබේසිංහත් එක්ක ගයපු ආසිරි කුසුම් වැසි වස්සවා කියන ගීතය මේ වෙද්දි ෆේස්බුක් එකෙන් විතරක් ලක්ෂ තුනකට වැඩි පිරිසක් බලලා තියෙනවා. මං හිතනවා ඒක හොඳ ප්‍රවණතාවයක් කියලා.

 

ඔබට හමුවන ලෙඩ්ඩු ඔබේ ගීත අහල තියෙනවද?

සමහර රෝගීන් මාව හොයාගෙනම ඇවිත් මගෙ ගීත ගැන කතාකරපු අවස්ථා තියෙනවා කොහොම වුණත්, රෝහලේදී ගීත ගැන කතා කරන්න මං කැමැති නැහැ.

 

ඔබේ මියුරු හඬට, රෝගීන්ගෙ වුණත් හිත සනසන්න පුළුවනි.

එහෙම නම් ඒක වාසනාවක්. ඒවගේම පිනක්.

 

ශකුවි

20200528Ishma-2 20200528Ishma-3