ගෙදරට වෙලා වහලෙ දිහා බලන් ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කරුණාදාස සපුතන්ත්‍රී, ශ්‍රී ලාංකීය ගීත වංශ කතාවේ ප්‍රබල චරිතයකි. හැත්තෑවේ දශකයේ බැබලුණු සිංහල ගීතාවලියේ ජනප්‍රියතම ගීත ගොන්නක් රචනා කළේ ඔහු වන බැවිනි.ඉකුත් සතියේ දිනෙක උදයවරුවේ මම ඔහුට ඇමතුමක් ගතිමි. එහෙත් දුරකථනය කාර්යබහුල වී තිබිණි. මට ඔහු අල්ලා ගත හැකිවූයේ හරියටම මිනිත්තු පහළොවකට පසුවය.

 

20200528Karunadasa-1ටෙලිෆෝන් එක දිගටම එන්ගේජ් නේද?

ඔව්. කෝල් එකක් ආවා.

කව්ද අප්පේ ඔච්චරම කතා කරන්නෙ?

යාලුවො තමා

ඒ කියන්නෙ සංගීත ලෝකෙ අය?

ඔව් එඩ්වඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ, රෝහණ වීරසිංහ ඇතුළු මහ ගොඩාක් අය නිතරම වගේ කතා කරනවා.

මේ දවස්වල ගෙදරමයි?

ඔව්, ඉතින් වහලෙ දිහා බලන් ඉන්නවා.

යට ලීයෙන් නාරිලතා මල් පූදිනවද?

ඒ කාලෙ ඉවරයිනෙ. දැන් නෙළුම් ඕලු වගේ පන්සලට ගෙනියන මල්වත් පූදින්නෙ නෑ.

ඉන්නෙ කලාපුරේ නේද?

ඔව්.

ළඟපාත හොඳ යාලුවො ඇතිනෙ?

ළඟම තියෙන්නෙ

ජානක වික්‍රමසිංහගෙ, ශ්‍රියන්ත මෙන්ඩිස්ගෙ, විජය නන්දසිරිගෙ ගෙවල්. මම ඉන්නෙ හතරවෙනි ගෙදර.

එහෙනම් ඉතින් එළියට බැහැලා කතාකරන්න පුළුවන්නෙ.

පුළුවන්. ඒත් ඒ වැඩේ වැරදිනෙ. ආණ්ඩුවෙන් කියන්නෙ ගෙදරටම වෙලා ඉන්න කියලා. අපි ඒ උපදෙස් පිලිපදින්න ඕනෑ.

එතකොට ජානක එක්ක කතාකරන්නෙත් ෆෝන් එකෙන්.

ඔව්.

මේ වෙලාවෙ කලා ලෝකෙ පරණ රස කතා එහෙම මතක් වෙනව ඇති.

ඔය පරණ කතා මතක් වෙන්නෙ යාලු මිත්‍රයො එකතු වුනාමනෙ. මේ දවස්වල ඉතින් තනිවෙලානෙ ඉන්නෙ.

ඒ වුණාට පළමුවෙනි සිංදුව ලියපු හැටිනම් මතක් කරන්නම වෙනවා.

ඒ කාලෙ මම වැඩ කළේ ගුවන් විදුලි සංස්ථාවෙනෙ. මම සහාය නිෂ්පාදකයෙක් විදිහට වැඩ කළේ. ඉතින් ඔය කාලෙ රෝහණ වීරසිංහ එහෙම මගෙ මිත්‍රයා. දවසක් රෝහණ මෙලඩි දෙකක් ගෙනත් දීලා මගෙන් ඇහුවා මේකට හොඳ වචන ටිකක් දාලා දෙන්න බැරිද කියලා. ඒ කාලෙ මම සිංදු ලියන්නෙ නැහැ. ඒත් ඉතින් මට හිතුනා මේ මෙලඩිවල වචන දාන්න පුළුවන් වෙයි කියලා. ඒනිසා මං කිව්වා උත්සාහ කරන්නම් කියලා.

මොනවද ඒ සිංදු?

චන්ද්‍ර මඩල බැද්ද වටින් මෝදුවෙලා

කලු නැන්දගෙ දුව යන්න ගියා බැල්ම හෙලා

අනික

පාට දේදුනු හේදිලා

ඔය සිංදු දෙකම ගායනා කළේ සුනිල් එදිරිසිංහ

වැඩේ නැගලා ගියා

නැගල ගියාදත් අහනවා. සිංදු දෙකම පුදුම විදිහට ජනප්‍රිය වුනානෙ. ඊට පස්සෙ මෙලඩි හදාගෙන කට්ටිය මගෙ ළඟට ආවා, ඒවට වචන ලියව ගන්න.

මේ වෙද්දි සිංදු කීයක් විතර ලියලා තියෙනවද?

අනේ මන්දා... බර ගණනක් ඇති.

දැන් ඉතින් ඒ හැම සිංදුවකටම කර්තෘ භාගත් හම්බවෙනවනෙ.

මේ කොරෝනාවක් හින්ද ඒ වැඩෙත් යටගියානෙ.

අලුතින් සිංදුවක් එහෙම ලිව්වෙ නැහැ.

ලිව්ව කාලයක් මතකවත් නැහැ. දැන් අලුත් රැල්ලක් නෙ තියෙන්නෙ.

සුභාවිත ගීතත් හැදෙනවනෙ?

ඒවුණාට අද කාලෙ හැටියට සිංදුවක් කරන්න ලක්ෂ එක හමාරක් විතර වියදම යනවා. ඒ වියදම දරාගෙන සිංදු හදන්නෙ කව්ද? දැන් ගායකයො වුණත් පරණ සිංදු වලින්ම තමා යැපෙන්නෙ ජනප්‍රියත් ඒ සිංදුනෙ.

සංගීත ප්‍රසංග නම් කාලෙකට කෙරෙන එකක් නැහැ.

අවුරුද්දක්වත් යයිද දන්නෙ නෑ. එකක් හෝල් වල එක්රැස් වෙන්න බැහැ. අනික රටේ මිනිස්සු ළඟ සල්ලිය බාගෙ නැහැ. ප්‍රශ්න ගොඩයිනෙ.

මේ වගේ කාලයක් ඉස්සරත් තිබුණද?

ඇයි ජේ.වී.පී. කලබල කාලේ. අසූ අට අසූ නමේ කාලෙ. ඒ කාලෙත් ඇඳිරි නීතියනෙ. ගෙවල්වලමයි හිටියෙ.

හැබැයි ඒකාලෙ නම් අලුත් සිංදු ලියන්න ඇති.

ඒ කාලෙ අපි තරුණයොනෙ. ගැම්මක් තිබ්බනෙ. ඒ කාලෙ අලුත් දේවල් ලිව්වා.

එකක් දෙකක් මතක් කරමු.

දෑසේ කඳුළු තිබුණා දුක නිවන්නට,

මලින් මලට ඉගිලුනාට වන බමරුන් නෙමේ

අලුත් පාර හැදෙනවා

ඒ කාලෙ හුඟාක් ලිව්වෙ රට සංවර්ධනය වගේ තේමානෙ.

දැන් කොරෝනාව ගැන ලියන්න පුළුවන්නෙ?

මේක මහ එපාකරපු කාලයක්. ලෙංගතුකම් දුරස් කරන්නනෙ සිද්ධ වෙලා තියෙන්නෙ. අපි සිංදු ලිව්වෙ, ලෙංගතුකම් ඇතිකරන්න, ළංකරන්නනෙ.

දුරස් වෙන්න ඕනෑ මීටරේකින් විතරනෙ.

මට නම් දැනෙන්නෙ කිලෝමීටර් ගානකින් අපි දුරස් වෙලා ලෙංගතුකම් දුරස් වෙලා වගේ.

 

ශකුවි

20200528Karunadasa-2