තරු විසිවුණු තරු බිස්නස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රඟපෑමට අමතරව තමුන්ගෙම ව්‍යාපාරයන්හි නිරතව සිටින නළු, නිළියන් කලා ක්ෂේත්‍රයේ සිටිනවා. මේ දවස් වල එයාලගේ ව්‍යාපාර වලට මොකද වෙලා තියෙන්නේ? රංගන ක්ෂේත්‍රයේ මේ තරු ඒ ගැන කියන්නේ මොනවද බලමු.

 

20200531Saranga-(1)ටික ටික වැඩ

ව්‍යාපාරයේ ස්වභාවය : ගෘහ අලංකරන සහ ඇලුමිනියම් අමුද්‍රව්‍ය වෙතින් කෙරෙන නිමැවුම්.

නම: සාරංග දිසාසේකර ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්.

අපේ ව්‍යාපාර යෙන් සිදු වන්නේ ගෘහ අලංකරන කටයුතු සහ ඇලුමිනියම් ෆැබ්රිකේෂන් නිර්මාණයි. (පැන්ට්‍රි කබඩ්, දොර-ජනෙල් නිර්මාණ). මේ ව්‍යාපාරය නම් කර තියෙන්නේ සාරංග දිසාසේකර ප්‍රයිවට් ලිමිටඩ් නමිනුයි. නිෂ්පාදන කටයුතු මෙහිදි සිදුවන අතර, ආනයනය කිරිමත් කරනවා. අපෙන් සේවය ලබාගත් පසු මිනිසුන් ඒ ගැන බොහෝ සෙයින් වර්ණනා කරනවා. මේ නිසා අපට හොඳ වෙළඳ නාමයක් ලැබී තිබෙන අතර,  අපේ සේවාවත් ඉහළින් අගය කරන බව කියන්න පුළුවනි. අපට හොඳටම වැඩ ලබන කාලයකදි තමයි, මේ වසංගතය ආවේ. මේ අනපේක්ෂිත මොහොතේදී වුවත් පෙර බාරගත් ඇණවුම් නිම කරන්න අපි මේ නීති රීති අනුගමනය කරමින් කටයුතු කරනවා. අපේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව එය කරන්න පුළුවනි. ඒ වගේම අපට ඇණවුම් බාර ගන්නත් පුළුවනි. මේ විදියට සේවා සපයන අපි අපේ සේවය කරන පිරිසත් හැකි විදියට බලාගත්තා. මේ කාලයේදිත් අපේ සේවයේ ස්වභාවය අනුව ඇණවුම් බාර ගත්තා. දැන් අපි ටික-ටික වැඩ කරන්න පටන්ගෙන. ඒත් ගෙවල් වලට ගිහින් සේවා සපයන්නට තරම් තවම රටේ යහපත් වාතාවරණයක් ඇතිවෙලා නැහැ.

 

20200531Saranga-(3)විලාසිතා පරණ වෙන්නෙ නෑ

සුරාජ් මාපා

ව්‍යාපාරයේ ස්වභාවය : Elsa නාමයේ විලාසිතා

මමයි, තව යාළුවෝ දෙන්නෙකුයි එකතුවෙලා පවත්වාගෙන යන ‘Elsa’ නාමයේ කාන්තා විලාසිතා දිවයින පුරා ඇති ඔඩෙල් ප්‍රදර්ශනාගාර 11ක විතර තියෙනවා. විලාසිතා අලෙවියේදී ඕනෑම ආයතනයකට ඉතා හොඳ අලෙවියක් තියෙන්නේ සිංහල අවුරුදු සමයේදීයි. ඒත් මේ වසංගත තත්වය හමුවේ, ව්‍යාපාර ක්ෂේත්‍රයේ සියලු දෙනා හට ඒ අවස්ථාව අහිමිව ගියා. තව මාස කීපයක්, ගත වන තෙක් අපි කාටවත් මේ ව්‍යාපාර සුපුරුදු විදියට කර ගන්න බැරි වේවි. කොයි හැටි වෙතත් අපේ විලාසිතා තව සෑහෙන කාලයක් දක්වා ගබඩා කරලා තියෙන්නේ. ඒ නිසා අපේ විලාසිතා වලට ප්‍රිය කරන අයට ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. මේ විලාසිතා කරන කාලයක් නෙවෙයිනේ. එකම දේ අපේ විලාසිතා වලට තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ඒනිසා පසුගිය කාලයේදී ලාභ ලැබු ව්‍යාපාරයක්. පසුගිය අප්‍රේල් වලින් පසුව ඒ තත්වය අහිමිව ගියත් ඉදිරිය ගැන අපි හිතන්නේ වඩාත් සුබවාදිවයි. අපි වැඩියෙන්ම අලෙවි කරන්නේ ‘විස්කෝස්’ වර්ගයේ රෙදි වලින් නිමවූ විලාසිතා. සිරුරට ඇති පහසුව නිසා කාන්තාවන් අතර හොඳ ඉල්ලුමක් තියෙන විලාසිතා නාමයක්.

 

20200531Saranga-(4)මිනිස්සු ළඟ සල්ලි නැහැ

හර්ෂණ බෙත්මගේ

ව්‍යාපාරයේ ස්වභාවය : සුවඳ විලවුන් හා ආලේපන

නම : Bethz

මිනිස්සු මුහුණදී සිටින අතිශ්‍ ය බැරෑරුම් තත්වය හමුවේ, මේ වෙලාවේ එයාලට සුවඳ විලවුන් ගන්න, ක්‍රීම් වර්ග ගන්න හෝ රූපලාවන්‍ය සඳහා වූ දේ මිලදී ගන්න තරම් ආර්ථික ශක්තියක් නැහැ. මේ තත්වය හමුවේ මිනිස්සු අනවශ්‍ය විදියට වියදම් කරන්නෙත් නැහැ. ඒ නිසා මේවාට පුරුදු වෙච්ච අයට ඒවා අත්‍යවශ්‍ය වුනත්, මිලදී ගන්න එන්නේ නැහැ. තව මාස කිහිපයක් යන තෙක් ඒ තත්වය පවතීවි. කරන්න දෙයක් නැහැ. අපිට ඒකට මුහුණ දෙන්න වෙනවා. දැනට නම් අපේ මේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ඇණ හිටලා තියෙන්නේ.

 

 

 

20200531Saranga-(5)ඉල්ලුමේ අඩුවක්

ජනිත් වික්‍රමගේ

ව්‍යාපාරයේ ස්වභාවය : ඔන්ලයින් ක්‍රමයට විලාසිතා අලෙවි කිරීම

නම : ‘Touchstore’

රඟපෑමේ කටයුතු වලට අමතරව මම කරන්නේ ඔන්ලයින් බිස්නස් එකක්. ඒකෙ නම Touchstore. සාමාන්‍යයෙන් අනෙක් හැමෝම වගේ විලාසිතා කරන්න මාත් ආසයි. ඒ නිසා මේ වැඩේ මීට වසර හය-හතකට විතර පෙරදී පටන් ගත්තේ. විකුණලා සල්ලි හම්බ කිරීමේ පරමාර්ථයෙන්ම නෙවෙයි. මම කැමති විදියේ විලාසිතා කරද්දි, අනෙක් අයත් මේ විලාසිතා වලට කැමති ඇති කියා හිතනවා. ඒ නිසා බොහොම ආසාවෙන් මේ වැඩේ පටන් ගත්තේ. මේ වැඩේ මෙහෙයවන්න මගේ යාළුවෙක් සහ තව සේවයට කෙනෙක් ඉන්නවා. ඒ නිසා රඟපෑම් එක්ක කාර්ය බහුල වුනාම මේ වැඩේ ගැන සම්පූර්ණයෙන් සොයා බලා කටයුතු කරන්නේ, ඒ දෙන්නයි.

වැඩි හරියක්ම අපේ විලාසිතා ගන්නා පිරිස හැදිලා තියෙන්නේ අවුරුදු 18 සීමාවේ සිට බොහොම තරුණ පිරිසක්. ඔන්ලයින් සාප්පුවක් නිසා අපට ප්‍රදර්ශනාගාරයක් නැහැ. ලැබෙන ඇණවුම් පරිදි අපි ඒවා ප්‍රවාහනය කර දෙනවා. මේ ලෝක වසංගතය නිසා, මුළු ව්‍යාපාර ලෝකයටම එය බලපාන නිසා, වෙනදාට වඩා ඉල්ලුමේ පොඩි අඩුවක් තියෙන්නේ. හැබැයි ඒ එක්කම තව හොඳ දෙයක් සිද්ධ වෙනවා. එනම් මිනිස්සු ඔන්ලයින් හරහා භාන්ඩ ගෙන්වා ගන්න වෙනදාට වඩා ප්‍රිය කරන බව පෙනෙනවා. ටිකෙන්-ටික සාප්පු විවෘත කළත්, මිනිස්සු ඒකරාශි වෙන්න බයයි. ඒ නිසා මේ තත්වය හමුවේ වුණත් අපේ මේ ඔන්ලයින් බිස්නස් වැඩේ සම්පූර්ණයෙන් ඇන හිටියේ නැහැ.

 

20200531Saranga-(2)සාරි සහ බාරි

අමිල අබේසේකර

ව්‍යාපාරයේ ස්වභාවය: විලාසිතා

නම: Sawara

Sawara නාමයේ සාරි විලාසිතා මෙන්ම අංග සම්පූර්ණ Kit එකම අපෙන් ගන්න පුළුවනි. ඒ වගේම මංගල දිනයේ සාරි දක්වා මෙම විලාසිතා ව්‍යාපාරය සතුයි. මේ ගෝලීය ප්‍රශ්නයත් එක්ක පසුගිය මාස දෙක ඇතුලතදී සම්පූර්ණයෙන්ම මෙහි වැඩ කටයුතු ඇණ හිටියා. මේ දිනවල මම ඉන්නෙත් මගේ බිරිඳ එක්ක ඩුබායිවල. ඇයගේ රාජකාරි ස්වභාවය එක්ක මෙහි රැඳී සිටීමට සිදුවුණා. අද වන විට (2020.05.21) මේ කලාපයේ ආසාදිත වූවන් 26,000 ක් කියලා වාර්තා වුණා. ඒ අතින් අපේ ලංකාව මේ කොවිඩ් වසංගතය පාලනය කරන්න යෙදු වැඩ පිළිවෙල ඉහලින්ම අගය කරන්න ඕනෑ. ලංකාවේ රජය සෞඛ්‍ය බලධාරින් මෙන්ම ත්‍රිවිද හමුදාව සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් කළ සේවය ඉතා ප්‍රසංසනීයයි. ලංකාවේ සිටින අයට වඩා ලංකාවෙන් පිට සිටින අයට තමයි ලංකාවේ අගය තේරෙන්නේ. මේ වෙලාවේ ලංකාව ක්‍රියාත්මක වූ විදිය ගැන ලෝකයටම ආදර්ශයක්. ගුවන්තොටුපල විවෘත කළ විගස මාත් බලාගෙන ඉන්නේ ලංකාවට දුවගෙන එන්න.

සඳුන් ගමගේ