මැංගුස් මුලින්ම පටන්ගත්තේ කොමඩි වීඩියෝස් හදන්නයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200611mangus-1

ලංකාවේ ජනප්‍රිය ගීත රෙගේ ශෛලියෙන් කවර් ගීත ලෙස නිර්මාණය කරන යූ ටියුබ් චැනලයක් තමයි ‘මැංගුස් ස්ටූඩියෝ’ කියන්නේ. පසුගියදා මැංගුස් ස්ටූඩියෝ සබ්ස්ක්‍රයිබස්ලා තිස්පන්දහසේ සීමාව පසු කළා. ඒ සුබ ආරංචිය ගැන දැනගන්නයි, මේ මැංගුස් කියන්නේ කවුද කියලා දැනගන්නයි එහි ගායක දෙපල වන මේනුක අබේසේකරවයි නවන් පෙරේරාවයි සාරවිට කතාබහකට එකතු කරගන්න අපි හිතුවා.

සබ්ස්ක්‍රයිබස්ලා තිස්පන්දහස ගැන මොකද හිතෙන්නේ?

සතුටුයි. මේ ගමන එන්නත්, සබ්ස්ක්‍රයිබස්ලා තිස්පන්දාහස පසු කරන්න දීපු සහයෝගයට අපේ ප්‍රේක්ෂකයන්ටත්, අපේ හිතමිතුරන්ටත්, උදව් කළ හැමෝටමත් ස්තූතියි කරනවා. ඉදිරියේදීත් අපිත් එක්ක ඉඳිවි කියලා විශ්වාස කරනවා.

මැංගුස් හැදෙන්නේ කොහොමද?

මුලින්ම අපි සෝෂල් මීඩියා එකේ වැඩ කරේ ‘බලනවා නම් බලපං’ එකෙන්නේ. ඒ චැනල් එක අපෙන් terminate වුණා. ඊටපස්සේ අළුතෙන් 2018දී තමයි මැංගුස් පටන් ගන්නේ.

20200611mangus-2

මැංගුස් නම දාන්නේ කවුද?

මැංගුස් නම දාන්නේ අපේ සහෝදර සිරස එෆ් එම් නාලිකාවේ අයියා කෙනෙක්. අපි දෙන්නම කළුතරනේ. ඉතින් කළුතර ප්‍රසිද්ධම මැංගුස් වලට නිසා මැංගුස් කියලා නම දාපං කියලා ඒ අයියා කිව්වා. ඒ විදිහට තමයි මැංගුස් නම චැනල් එකට.

මැංගුස් පටන් ගත්තේ රෙගේ කවර්ස් කරන්නමද?

මැංගුස් මුලින්ම පටන්ගත්තේ ඇත්තටම කොමඩි වීඩියෝස් හදන්නයි. මියුසික් බේස් කරගත්තේ නැහැ. ඒත් පස්සේ හිතුණා යූ ටියුබ් එකේ කොමඩි වීඩියෝස් ගොඩක් තිබෙන නිසා රෙගේ කවර්ස් කරන්න. රෙගේ වලට ගොඩක් අයගේ ආකර්ෂණය තියෙනවානේ. ඉතින් වෙනත් ගීත රෙගේ වර්ෂන් විදිහට කරන්න හිතුවේ එහෙමයි.

ගීත රෙගේ කරද්දි කාගෙන්වත් දෝශාරෝපණ ආවේ නැද්ද?

අපි කරපු ගොඩක් ගීතවලට එහි නියම හිමිකරුවන්ගෙන් අවසර ගත්තා. ඒත් සමහර ගීතවලට නම් අවසර ගන්න බැරි වුණා. තවම එහෙම දෝශාරෝපණයක් කාගෙන්වත් ආවේ නම් නැහැ. කොහොමත් අපේ වීඩියෝ එකේදී නියම ගායකයා, පද රචකයාගේ සහ තනු නිර්මාණකරුවන්ගේ නම සඳහන් කරනවා. ඒක අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්නේ.

ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර නම් ඇත්තටම හොඳයි. සතුටුයි. අපි වීඩියෝ එකක් දානකල් බලාගෙන ඉන්න රසික පිරිසක් දැන් අපිට හැදිලා තියෙනවා. ෆීල්ඩ් එකේ ඉන්න අය අතරත් අපි හරි ජනප්‍රියයි. නරක ප්‍රතිචාර ලැබෙනවා නම් අඩුයි. සමහර අය නම් අපි දෙන්නට කියනවා රෙගේ කළා ඇති වෙන මොනවාහරි කරන්න එහෙම කියලා.

නවන්, මේනුක දෙන්නාම මියුසික් හදාරලා තියෙනවාද?

ඔව්. අපි දෙන්නම පොඩි කාලේ ඉඳලාම මියුසික් කළේ. අපි පොඩි කාලේ ඉඳලාම යාළුවෝ. අපි ලහිරු පෙරේරාගේ මියුසික් අවන් එකේ මියුසික් ඉංජිනියරින් ඉගෙනගත්තා. තාමත් ඉතින් මියුසික් ඉගෙනගන්නවා.

රැකියාවත් එක්ක කොහොමද මැංගුස් කරන්නේ?

අපි දෙන්නම වයි එෆ් එම් එකේ. ආයතනයෙන් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. අපේ ආයතනය අපිට විශාල සහයෝගයක් ලබා දෙනවා මැංගුස් වැඩවලට. අපේ කවර් ගීත ප්‍රචාරය කරලත් දෙනවා.

දිගටම කවර්ස් කරන්නද බලාපොරොත්තු වෙන්නේ?

අපේ ඔරිජිනල් දෙකක් මේ වෙද්දි කරගෙන යනවා. ඉන් එකක වීඩියෝ එක විතරයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. තව මාස දෙකකින් විතර ඒ ගීත එළියට එයි.

මැංගුස්වල ඉදිරි වැඩකටයුතු කොහොමද?

අපිට ඇත්තටම ඕනේ වුණේ වෙනස් දෙයක් කරන්න. අපි ඕඩියන්ස් එකක් ඉලක්ක කරගෙන නෙවෙයි වැඩ කළේ. අපිට ගොඩක්ම උත්සාහ කළේ ආදරය විරහව ගැන නැතුව සමාජය ගැන කියැවෙන ගීත ටිකක් කවර්ස් කරන්න. අපි පොප් බෑන්ඩ් එකක් විදිහට තමයි දැන් ඉස්සරට යන්න හිතාගෙන ඉන්නේ. ඇල්බම් එකක් කරන්න හිතුණොත් පලවෙනි ඇල්බම් එක රෙගේ ශෛලියට කරලා ඊළඟ එක වෙනස් සංගීත ශෛලියකින් කරන්න බලාපොරොත්තු වෙනවා.

කැළුම් දේවින්ද

20200611mangus-3