ෂෙරීන් කුමාරතුංග ගෙන් ‘බර්ත් ඩේ ස’ප්‍රයිස්’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අද ජූනි 14 වැනිදා සිංහල සිනමාවේ ප්‍රවීණ නිළියකද, ලේඛිකාවකද වන ශ්‍රියානි අමරසේන උපන් දිනය සමරයි.

සිංහල සිනමා වංශ කතාවේද, යුග දිවියේ ද වසර පනහක් අවසන් කර ඇති නමුත් ඇගේ වයස කීයදැයි අපි නොඇසුවෙමු. ඒ ගැහැනියකගෙන් වයස ගැන ඇසීම නොහොබිනා ප්‍රශ්නයක් බව දන්නා නිසාමය. එසේ වුවත් ගෙවී ගිය උපන් දින අතරින් ඇගේ මතකය ඇවිස්සීමට මම පසුබට නොවීමි.

‘‘උපන් දිනය ගැන මතක් කරනකොට හිතේ ඇතිවෙන්නෙ සුන්දර හැඟීමක්. ඒ එක්කම කාලෙන් කාලෙට ගෙවුණු උපන් දිනවල විවිධ මතකයන් හිතේ අලුත් වෙනවා.’’

උපන් දිනය ගැන ඇසු විටම ශ්‍රියානි අමරසේන කීවේ එසේය.

 

20200614Shriyani-(1)

ඒ අතුරින් පුංචිම කාලෙට යමු. කොහොමද ඒ පුංචි දවස්වල උපන්දින?

ශ්‍රියානි අක්කාගේ මුවෙහි සිනාවක් ඉපදිණි.

ම​ගේ අම්මටයි තාත්තටයි දරුවෙකුට හිටියෙ මං විතරනෙ. ඉතින් උපන් දිනේ දවසට තෑගි ගොඩාක් ගෙනත් දෙනවා. වැඩිපුරම මට තිබුණෙ බෝනික්කෝ. එක එක සයිස්වල බෝනික්කො විසිපහක් විතර මගෙ එකතුවෙ තිබුණා. හැම උපන් දිනේකම ඒ බෝනික්කෝ ගොඩට තවත් අලුත් බෝනික්කෙක් ලැබීම අනිවාර්යය සිද්ධියක් වුණා. ඉතින් පුංචි කාලෙ මගෙ උපන් දිනේ ගත වෙන්නෙ එදා තෑග්ගට ලැබුණු බෝනික්කව නාවන්න ඇඳුම් අන්දවන්න. ඒ වගේම  බෝනික්කට නමක් දාන්නත් ඕනැනෙ. ඉතිං මට හරියට වැඩ.

ශ්‍රියානි අක්කා හඬනගා සිනාසුනාය.

ඒ ළමා විය ඇයටම විහිළුවක් වූ නිසා විය යුතුය.

උපන් දිනේ දවසට මාව කොහෙහරි ට්‍රිප් එකක් එක්ක ගෙන යෑමත් තාත්තගෙ සතුට වුණා. කතරගම, අනුරාධපුරේ, සීගිරිය, සිරිපාද, වට වන්දනාව වගේ ගමන් තමයි වැඩිපුරම ගියේ. එහෙම ගියාම තාත්තා මට ඒ ඒ තැන්වල ඉතිහාසයත් කියාදෙනවා. අපේ රට ගැන හිතේ ආඩම්බරයක් උපදින විදිහට තමා ඒ කතන්දර කියල දෙන්නෙ.

ඒත් මම ගොඩක්ම කැමති කැලේ ඇවිදින්න. යාල වගේ. මං ගොඩාක්ම කැමති සතා අලියා. ඉතින් උපන් දිනේ දවසක කැලේ ගිහින් අලි බලන එක තරම් සතුටක් මට තවත් නැහැ.

තව උපන් දිනේකට මාව එක්ක ගෙන යන්නෙ තාත්තගෙ ගමට. මහනුවර අම්පිටිය කියන්නෙ ඒ කාලෙ සුන්දර ගමක්. කැලෑ රොදවල් දිය දහරා හරියට. ඉතින් ඔය  දියදහරා වල බැහැලා සීතල වතුරෙ නටන එකට මං හරිම කැමතියි.

හැබැයි මං වතුරට බය නිසා ලොකු වතුරකට නම් බහින්නෙ නැහැ. ඒත් ඉතින් තාත්තගෙ ගම තරම් මං කැමති තැනක් මේ ලෝකෙම නැතුව ඇති.

 

පුංචි දවස්වල උපන් දින වල අමතක  නොවන මතක තවත් ඇති.

මම යළිත් ශ්‍රියානි අක්කාගෙ මතක අවුස්සමි.

එතකොට මම ටිකක් ලොකුයි. දවසක් දා එඩී රුක්මණී දෙන්නා කොලොන්නාවට ආවේ මගෙ උපන් දිනේ දවසකමයි. එඩී රුක්මණී  කියන්නේ ඒ කාලෙ හුඟක් ජනප්‍රිය නළු නිළි යුවළක් බව මමත් දැනගෙන හිටියෙ.

අම්මේ අපිත් යමු ඒ දෙන්න බලන්න.

මම අම්මට කිව්වා.

අම්මා මාව එක්කගෙන මහපාර අද්දරට ගියා. අපි යනකොටත් විවිධ වයස්වල අය පාර දෙපැත්තෙ බලන් ඉන්නවා. පැය භාගයක් විතර ගියා. ඔන්න ලොකු කාර් එකක් එනවා. ඒ කාලෙ පාරක කාර් එකක් යනවා කියන්නෙත් අමුතුම දෙයක්නෙ. කාර් එක ආවෙ හෙමින් හෙමින්. කාර් එකේ ඉස්සරහ සීට් දෙකේ වාඩිවෙලා හිටියෙ එඩී රුක්මණි දෙන්නා පාර දෙපැත්තෙ බලාගෙන හිටපු ජනතාවට හිනාවෙවී අත් වැනුවා.

 

පුංචි කාලෙ මතක සුන්දරයි තමා. ඒත් අසුන්දර මතකත් නැති වෙන්න බැහැ.

මම සැක සිතින් අසමි.

ඒක නම් බොහොම අසුන්දර මතකයක් තමා.

ශ්‍රියානි අක්කා යළිත් සිනාසුනාය.

20200614Shriyani-(2)‘‘කොළඹට එන ගංවතුර පාලනය කරන්න සුද්දෝ මීතොටමුල්ල බැම්මක් හදලා තිබ්බා. ඉතින් වැහි කාලෙට කැලණි ගඟෙන් එන වතුර මේ බැම්මේ වැදිලා නතර වෙනවා.

මගෙ එක උපන් දිනේ දවසක ගංවතුර ඇවිත් මීතොටමුල්ලෙ බැම්ම ළඟ නතර වෙලා තිබ්බේ. මට අසා  හිතුණා මේ ගංවතුර බලන්න. මගේ ගෙදර ළඟ ගෙවල්වල හිටිය පොඩි උන් කට්ටියකුත් ඇවිත් ගංවතුර බලන්න යන්න පොරේ.

අම්මා, මාමාට කතා කරල කිව්වා අනේ මල්ලි මේ පොඩි එවුන් ටික කාර් එකේ දාගෙන ගිහින් ගංවතුර පෙන්නගෙන එන්න කියලා.

මාමා අපි කට්ටියව කාර් එකේ දාගෙන මීතොටමුල්ල බැම්ම දිගේ ගියා. බැම්ම ළඟටම වතුර ඇවිත්. පොඩි තරුණ වැඩිහිටි හුඟාක් දෙනා බැම්මෙ ඉඳගෙන ගංවතුර දිහා බලාගෙන. ටිකක් දුර යනකොට ගුරු පාරක් තිබුණා. ඒ ගුරුපාරටත් වතුර පොඩ්ඩක් දාලා තිබුණෙ.

අනේ මාමා අපි මේ පාර දිගේ යමු.

මම මාමට ඇවිටිලි කළා. ඒ එක්කම කාර් එකේ හිටිය අනිත් ළමයිනුත් ගුරුපාර දිගේ යන්න ඇවිටිලි කළා.

මාමා ගුරු පාරට කාර් එක හැරෙව්වා. බන්ට් එකේ හිටපු අය යන්න එපා කිව්වම මාමා ඇහුවෙ නැහැ.

මාමා ගුරු පාර දිගේ කාර් එක එලෝනවා. එක පාරටම කාර් එක පෙරලුණා. ඒක හෙමින් සැරේ වතුර යටට යන හැටිත් දොරේ වීදුරුවට උඩින් වතුර ගලන හැටිත් මට මතකයි.

ඊට පස්සෙ මට මතක මම අතකුත් බැන්ඩේජ් කරගෙන ඇඳක වැතිරිලා ඉන්න හැටි. එදා කාර් එක පරෙළෙද්දී මගේ අත කාර් දොරේ වැදිලා උරිස් ඇටේ බිඳිලා. අවට බලන් හිටපු පිරිස් තමයි ගංවතුරට පැනලා අපිව   බේරාගෙන තිබුණෙ.

එදා සිද්ධ වෙලා තිබුණෙ ගුරු පාරේ තිබුණු බෝක්කුව ගංවතුරට කැඩිලා යෑමයි.

 

ළමාවිය කෙළවර වන්නේ නව යෞවනයෙනි. ළමා වියේදී පෙම් බැඳි බෝනික්කන් කෙමෙන් දුරස් වෙද්දී යුවති හිතක උපදින්නේ වෙනත් හැඟීම්ය.

එවැනි කලෙක උපන් දිනක මතක කෙබඳුද?

මම ඒ ගැනත් අසිමි.

ඒ කාලෙ මම ඉගෙන ගත්තෙ මරදානේ. ගෝතමී විදුහලේ මගෙ උපන් දිනේ දවසට අම්මා කට්ලට් මහ ගොඩාක් අලුවා, මහ ගොඩාක් හදල දෙනවා. පංති භාර ටීචර්ටයි පංතියේ යාලුවන්ටයි අර කෑම බෙදල දෙනවා.

අපේ අම්මට ​බොහොම රසට කෑම හදන්න පුළුවන්. ඉතින් මගෙ උපන් දිනේ එනතුරු යාලුවො බලාගෙන ඉන්නවා අලුවා කන්න.

ඊට පස්සෙ යාලුවො ටික එකතු වෙලා හැපී බර්ත් ඩේ ටූ යූ සිංදුව කියනවා. සිංදුව ඉවර කරන්නෙ හැපී බර්ත් ඩේ ටූ යූ ඩියර් කුමාරි කියලා. ඔය අතුරේ ඉන්න කටකාර යාලුවා කුමාරි හාමි කියලත් කියනවා. මගෙ නමේ කොටසක්නෙ කුමාරිහාමි කියන්නේ.

 

යොවුන් වියෙන් තරුණ වියට පැමිණි ශ්‍රියාණි අතිනත ගත්තේ ප්‍රවීණ මාධ්‍යවේදී ආතර් යූ. අමරසේන සමගය.

 

ඒ කාලේ අමරසේන මහත්තයා එහෙම බොහොම වටිනා තෑගි දෙන්න ඇති.

මම අසමි.

එයා දුන්නේ සාරි තමා.

මම ලස්සනට ඇඳලා ඉන්නවා බලන්න එයා හරි කැමතියිනෙ.

ශ්‍රියානි අමරසේන නිළියක ලෙස රසික ලෝකයේ ප්‍රසාදය හිමිකර ගත් යුගයක් ඇරඹිණි. එකල සිනමා නිළියකට ලැබුණු රසික ආදරය අදටත් වඩා වැඩිය.

නිළියක වෙද්දි උපන් දින දවස්වලට සුබපැතුම් මහ ගොඩාක් ලැබෙන්න ඇති.

මා ඇසුයේ සැකයෙනි.

අප්පච්චියේ ඔව්. රසිකයො රසිකාවියො ඒ කාලෙ ලස්සන ලස්සන සුබපැතුම් එවනවා. සමහරු දවස් ගණනක් මහන්සි වෙලා අතින් හදපු සුබ පැතුම් පත් එවනවා. ඒවායෙ ලස්සන කවි එහෙම ලියලා. තව සමහරු මම රඟපාපු චිත්‍රපට ජවනිකාවක් චිත්‍රයට නගලා ඒක උපන්දින සුබ පැතුම විදිහට එවනවා. ඔය වගේ එවපු උපන්දින සුබ පැතුම් දහස් ගණනක් මේ මෑතක් වෙනතුරුම මා ළඟ සුරැකිව තිබුණා.

 

සමහර උපන් දින යෙදෙන්නෙ ෂූටිං අතරෙදි වෙන්න ඇති?

එහෙම උපන් දින ගණනාවක්ම උදාවුණා. මට දැන් ඒ චිත්‍රපටිවල නම් ෂූටිං තිබුණු තැන් එහෙම නම් අමතක වෙලා. ඒත් ඉතින් දර්ශන තලයේ උපන් දින ආපුවාම කේක් කාලා උපන් දිනේ සැමරුවා. එහෙම දාට තෑගි බෝග සිප ගැනීම්වල කෙලවරක් නැහැ.

මට මතකයි එක උපන් දිනයක් යෙදුනෙ ලංඩන් නුවර, ටෙලි නාට්‍යයක දර්ශන තලයක හිටපු දවසක. ෂූටිං ඉවර කරලා ඉවර වෙලා. කේක් කපලා කවලා කෑම බීම ගෙනත් කාලා දවස අවසන් කරද්දී හිතට දැනෙන්නෙ අපූරු හැඟීමක්. සතුටක්.

 

සාමාන්‍යයෙන් ඔබ උපන් දිනය දවස ගෙවන්න කැමති මොන විදිහටද?

මම ශ්‍රියානි අක්කාගෙන් විමසුවෙමි.

සුපුරුදු පරිදි බුදුන් වැඳලා තමයි උපන් දින දවසත් පටන් ගන්නෙ. ඒත් උපන් දිනේ දවසට නැති බැරි කෙනෙකුට උපකාරයක් කරලා ඒ අය සතුටට පත් කරන්න මම කැමැතියි. එයාලගෙ සතුට මගෙ සතුට. එහෙම නැතුව සාද පවත්වන්න නම් මම කවදාවත්ම පෙළඹුණේ නැහැ.

ඒත් ඉතින් හුඟාක් උපන් දිනවලදී දුවයි පුතයි ලේලියි තුන්දෙනා එකතු වෙලා උපන් දිනේට කොහේ හරි එළියකට ගිහින් දවස ගෙවනවා. එක්කෝ හොඳ හෝටලේකට ගිහින් ඩිනර් එකක් ගන්නවා. දරුවෝ යමු කීවම මායි අමරෙයි ලෑස්ති වෙලා යනවා. අනිත් ඔක්කොම ඒ තුන්දෙනා සූදානම් කරනවා.

 

මේ තාක් කාලෙකට සාදයක් පවත්වලම නැද්ද?

මම නම් නැහැ. ඒත් මීට අවුරුදු පහකට විතර කලින් උපන් දිනය දවසක ෂෙරින් කුමාරතුංග මට එහෙ ගෙදර එන්න කිව්වා. මායි අමරෙයි ගියා. යනකොට කලා ලෝකෙ හුඟාක් දෙනා එතැන. මම යනකොටම හැමෝම එකතු වෙලා හැපී බර්ත් ඩේ ටූ යූ කියනකොටයි මම දන්නෙ මේ මගේ උපන් දින උත්සවය කියලා. ෂෙරින් මට විතරක් නෙවෙයි හුඟාක් කලාකරුවන්ට මේ විදිහෙ උපන් දින උත්සව සංවිධානය කරනවා. එදා දයාන් විතාරණ ඇවිත් ඒ උත්සවයම ඡායාරූප ගත කළා.

 

අන්තිමටම මං අහන්නෙ උපන් දවස ගැන මොකද හිතෙන්නෙ කියලයි.

මම ශ්‍රියානි අක්කාට කීවෙමි.

පුංචි කාලෙ යොවුන් විය මැද විය ඉවර වෙලා මහලු වියට අපි ළංවෙලා ඉන්නේ. කාලෙන් කාලෙට උපන් දින වෙනස්. පුංචි කාලෙ යොවුන් වියේ තරුණ වියේ උපන් දිනය කියන්නේ විශේෂිත දවසක් වුණාට දැන් නම් හිතෙන්නේ ජීවිතයෙන් තවත් කාල පරිච්ඡේදයක් අවසන් වුණා කියලයි. හැමදේකම තියෙන්නේ අනිත්‍යයක්. අන්න ඒ ජීවිත අබෝධයයි උපන් දිනේකදි අපි ලබන්න ඕනෑ.

සැබෑවකි.

එසේ වුවත් තවත් දිගුකලක් නිදුක් නිරෝගීව උපන් දින සැමරීමට ලැබේවායි මේ නිහතමානී කලාකාරියට සුබ පතමි. ඒ සුබ පැතීමට සුවහසක් පාඨක ඔබද එක්කර ගනිමි.

ශාන්ත කුමාර විතාන

20200614Shriyani-(3) 20200614Shriyani-(4)