මට පෙම්වතෙක් හිටියේ නෑ, මං ඉල්ලූවා මට නුවරින් කොල්ලෙක් හම්බවෙන්න කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200623Shanika-(1)ඇය ශානිකා වනිගසේකර. නමුත් ඇය කා අතරත් වඩාත් ජනප්‍රියත්වයට, ප්‍රසිද්ධියට පත්වුණේ බේබි ශානිකා නමින්. වයස අවුරුදු හය තරම් කුඩා වයසේදී ගී ගායනයට යොමු වූ ඇය එදා මෙන්ම එකසේ තම ජනප්‍රියත්වය රැකගත්, ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි අති දක්ෂ ගායන ශිල්පිනියක්. මේ ඇය ගැනයි....
 

අලූත් නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?

මේ දවස්වල අලූත් ගීත නං කළේ නෑ. ඇත්තටම මට අදහසක් නෑ මොකද්ද කරන්නේ කියලවත් මේ තියෙන තත්ත්වය උඩ. හැබැයි මගේ ආගමට අදාළ ගීතයක් මම නිර්මාණය කළා. පද, තනු නිර්මාණ මගේ. මං ආසයි වන්දනීය ගීත එකතුවක් කරන්න. මගේ සාමාන්‍ය ගීතවලට වඩා වෙනස් දෙයක්, මගේ රසික රසිකාවියන්ගේ ජීවිතේට දෙයක් දෙන්න මං ආසයි. මේ අවුරුද්දේ තමයි ඒක මම කරන්න හිටියේ. නමුත් මේ තියෙන වාතාවරණයත් එක්ක, තියෙන ආර්ථික පැත්තත් එක්ක ඒක මේ අවුරුද්දේ කරන්න බැරි වෙනවා. ඒ නිසා ලබන අවුරුද්දේ මැද වෙද්දී මට ආදරය කරන සහ මට ආදරේ නොකරන සියලූම දෙනාට නිර්මාණ එකතුව තිලිණ කරන්නයි හිතං ඉන්නේ.

ඔබේ වෙනස් නිර්මාණ රාශියක් තියෙනවා නේද?

ඔව්, නමුත් මාව ලේබල් කරලා තියෙනවනේ, ශානිකා ගයන්නේ බයිලා කියලා. ඇත්තටම සංගීතය නොදන්න කෙනෙක් තමයි මාව එහෙම ලේබල් කරන්නේ. මොකද එයාලා මගේ සමහර ගීත අහලා නැහැ. ඒකට වෙලාවකට මාධ්‍යත් හේතුවක්. මොකද ඒගොල්ලෝ ප්‍රචාරය කරන්නෙත් මගේ අර ලේබල් කරපු ගනයේ ගීත විතරයි ගොඩක් වෙලාවට. හැබැයි දන්න අය දන්නවා මං මොන වගේ ගීතද ගයන්නේ, මට මොනවගේ පරාසයන්ට යන්න පුළුවන්ද කියන එක.

ඉස්සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?

ඉස්සරහට මං හිතන්නේ නෑ එළිමහන් ප්‍රසංග වෙනදා වගේ තත්ත්වයක තියෙයි කියලා. අපේ රටේ දැන් දෙපාරක්ම එක දිගට මේ ක්ෂේත්‍රය පහලටම වැටුණා. හරි අමාරුයි එහෙම වුණාම නැගිටින්න. මගේ ස්ටයිල් එක තියාගෙන නමුත් ටිකක් වෙනස් විදිහක ගීත දෙක තුනක් කරලා ඊට පස්සේ මට ආසයි කොන්සර්ට් පැත්තට පොඞ්ඩක් යොමුවෙන්න. ඉතිං කොන්සර්ට් එකක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මට ආසයි ඒක හොඳට සැලසුම් කරලා හොඳ ලස්සනට කරන්න. සල්ලි හම්බකරන චේතනාවෙන්ම නෙමෙයි. හම්බකිරීම ගැනම හිතුවා නම් මේ අවුරුදු 32 ක් පුරාවට සිංදු කියලා හම්බකරපු ගොඩාක් දේවල් තියෙන්න ඕන මුදල්වලින් මට. මං ඇත්තටම එහෙම කෙනෙක් නෙමෙයි. මං ජීවිතේ හැමදේකින්ම තෘප්තියක් ලබන්න කැමති කෙනෙක්. කොන්සර්ට් එකක් කරනකොට මාව කව්ද කියලා බලන්න ඉන්න කෙනත්, මාව දන්න කෙනත්, මාව විඳින කෙනත් එතනට එන්න ඕන.

මෙච්චර කාලෙකට ඇයි එහෙම දෙයක් නොකළේ?

මං ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 32 ට පස්සේ තමයි මේ කොන්සර්ට් එකක් කරන්න හිතුවේ. ඒ පැත්තෙන් නං අනිත් ගායක ගායිකාවන් එක්ක ගත්තම මං ටිකක් කම්මැලියි. සිංදු කරන්න වුණත් මං ටිකක් කම්මැලියි. හස්බන්ඞ් වෙලාවකට බණිනවා කිසිම උවමනාවක් නෑ කියලා. ක්ෂේත්‍රයේ දැකපු සමහර දේවල්, එපා වෙච්ච තැන් එක්ක මං ටික ටික කම්මැලි වුණා. ජීවිතේ, කලාවට ගොඩාක් මුල් තැන දෙන තත්ත්වය නැතිවුණා.

බේබි ශානිකා ගැන කතා කළොත්?

සිංදු කියන්න චූටි කාලේ ඉඳන් මං හරිම ආසයි. අවුරුදු හයේදී මං සිංදු කියන්නේ ගත්තේ. ඒ 89 දී. මගේ අම්මටයි තාත්තටයි කැලිප්සෝ බෑන්ඞ් එකක් තිබ්බා. දවසක් එයාලගේ යාළුවන්ගේ පාටි එකක මට ගීතයක් කියන්න
අවස්ථාව ලැබුණා. තාත්තිගේ යාළුවෙක් තමයි එතන ගීතයක් ගයන්න මාව යොමු කළේ. හැබැයි මාව ගායිකාවක් කරන අදහසක් මේ වෙද්දී අපේ අම්මටයි තාත්තටයි තිබිලම නෑ. ඉතිං එදා මං ළමයි එක්ක සෙල්ලං කර ඉද්දී අම්මී කිව්වා ඔයාගේ නම කිව්වා ගිහිං සිංදුව කියන්න කියලා. මං ඉතිං සෙල්ලං කර කර ඉන්න ගමන්ම දුවගෙන ගිහිල්ලා හැඩකාරයි මං පොඩි කාලේ සහ මහ සයුරේ ගැඹුරු දියේ ගීත දෙක ගායනා කළා. කියලා ඉවර වෙලා එද්දී තාත්තිගේ යාළුවෙක් මගේ අතට මොනවද කොළ කෑල්ලක් උන්ඩි කරලා දුන්නා. මං ඒක වීසි කරා. පස්සේ බලපුවම රුපියල් පනහේ කොළ දෙකක්. ඒක තමයි මගේ පළවෙනි අවස්ථාව මං කට්ටියක් ඉස්සරහ සිංදුවක් කියපු. ඊට පස්සේ තාත්තිගේ යාළුවෙක් කිව්වා දැන් දුවට සිංදු කියන්න පුළුවන්නේ ප්‍රසංගවලට දාමු කියලා. ඊගල්ස් බෑන්ඞ් එකත් එක්කත් මං ගීත කිහිපයක් ගයලා තියෙනවා.

එතකොට පළමු ප්‍රසංග අත්දැකීම?

පළමු ප්‍රසංග අත්දැකීම අලූත්ගම කළුවාමෝදර ප්‍රසංගයක්. සන්ෆ්ලවර් බෑන්ඞ් එක එක්ක. නීල් අංකල් බෑ කියලත් කිව්වා බැක් කරන්න. මොකද මං චූටියි. ඒ මදිවට එදා දුන්න සිංදු ලිස්ට් එකේ තිබ්බා හින්දි ගීතයකුත්. ඉතිං එයා කියලා තිබුණා මේවා කියන්න බෑ මේ ළමයට කියලා. තාත්ති ඒත් කියලා තිබුණා සිංග් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ නීල් අංකල් කියලා තිබුණා හරි අපි එකක් ප්ලේ කරන්නම් පස්සේ ඒකෙ තත්ත්වේ බලලා ඉතුරු ටික ප්ලේ කරන්නම් කියලා. පළවෙනි එක ගායනා කළාට පස්සේ ඒගොල්ලෝ දිගටම ප්ලේ කළා. එදා තමයි පටන් ගැන්ම. මේ ප්‍රසංගයෙන් මුදලක් ලැබුණේ නැහැ මට; මොකද ඒක තාත්තිගේ යාළුවෙක්ගෙ වැඩක්. ඊට පස්සේ දිගටම ප්‍රසංග කළා. අම්මී ලියපු පොතක් තිබුණා ප්‍රසංගය කොහෙද, බෑන්ඞ් එක මොකක්ද, කීයක් මුදල් ලැබුණද, කියලා ඔක්කොම විස්තර ලියලා. ඒකෙ තියෙනවා රුපියල් සීය, දෙසීය, පන්සීයක් හම්බවෙච්ච දවස හරිම ලොකු දෙයක් මට ඒ කාලේ.

සුන්දර 90?

මාව මුලින් ජනතාව හඳුන ගත්තේ බේබි ශානිකා නමින්. අදටත් එහෙමයි. සෙන්දුර දේවි චිත්‍රපටය නිසා සෙන්දුර දේවි කියලා පොඩි ලේබල් එකකුත් හැදුනා. ප්‍රසංගත් වැඩිවුණා. ඊළඟට මගේ මංගල නැකතේ ගීතය කළා. ඒ ගීතයට මිනිස්සු තවමත් ආදරය කරනවා.

ඔබේ හීනය වුණේ?

තේරෙන වයසේ ඉඳන් මගේ හීනය වුණේ ගායිකාවක් වෙන එක නෙමෙයි. විවාහ වෙලා හස්බන්ඞ් වැඩට ගිහිං එනකං බලං ඉන්න ලස්සන පවුල් ජීවිතයක්. අදටත් ඒ දේවල්වලට තමයි මං මුල්තැන දීලා ඉන්නේ. ඉස්කෝලේ යන කාලේ මගේ ආසාව තිබ්බේ කන්‍යා සොයුරියක් වෙන්න. ඉස්කෝලේ ඇරිලා ආවම මං ඇඳුමක් ඔළුවට උඩින් දාලා බලනවා මං සිස්ටර් කෙනෙක් උනොත් කොහොමද කියලා. එච්චර ආසාවක් තිබ්බේ. හැබැයි ටික ටික සිංදු කියන, ප්‍රසංගවලට යන ආසාව ඉස්මතුවෙද්දී සිස්ටර් කෙනෙක් වෙන එක මං හිතින් අත්හැරියා. හැබැයි කලක් ආසාවෙන් හිටියා ගුරුවරියක් වෙන්න. හැමදේටම වඩා අම්මා කෙනෙක් වෙන ආසාව ලොකුවට හිතේ තිබ්බා.

ගෙදර?

මගේ තාත්ති නැතිවෙලා දැන් අවුරුදු හතරක් වෙනවා. තාත්තියි අම්මියි අවුරුදු පහළොවක් තිස්සේ ගියා ප්‍රසංගවලට මාත් එක්ක. මාව රැක්කා. මාර කට්ටක් කෑවා මාත් එක්ක. මං විවාහ වුණාට පස්සේ, මගේ සැමියා සජිත් මාත් එක්ක ප්‍රසංගවලට ගිහිල්ලා ඒ කට්ට ඒ විදිහටම කෑවා. අදටත් එහෙමයි. අපේ ලොකු දුව ශ්වේතාට අවුරුදු 14 යි. ශවීන් පුතාට අවුරුදු 12යි. තුන්වෙනියාට අවුරුදු නවයයි. සජිත් ස්ටේජ්ලයිටින්ග් සහ ඞී.ජේ. කරන්නේ. ඒ ව්‍යාපාරය එයා කරන්න හේතුවත් මගෙත් එක්ක යන්න එන්න බැරිවෙනවා එයා වෙන ජොබ් එකක් කළොත්. මොකද මං තනියෙන් යන්නේ නැහැ ප්‍රසංගවලට. මං කොන්සර්ට් පැත්තට යන්නත් එක හේතුවක් මගේ දරුවෝ තුන්දෙනා. එයාලත් එක්ක ඉන්න ගොඩක් කාලය මට දැන් ඕන. මොකද ලොකු දුවට අවුරුදු දාහතරක්. මං දැන් එයත් එක්කම ඉන්න ඕන කාලේ.

පළවෙනි කැසට් එක?

මගේ පළවෙනි කැසට් එක සිංදු හතරක එකක්. සරත් ද අල්විස් තමයි සංගීතය කළේ ඒකෙ. නාමල් කියලා අයියා කෙනෙක් තමයි පටිගත කිරීම් කළේ. ඒක කරන්නත්, කරලත් අම්මියි තාත්තියි මාර දුකක් වින්දා. මොකද ඒ කාලේ මිනිස්සු මාව දන්නේ නැහැනේ. එතකොට මට අවුරුදු හතයි. තාත්ති ගේ යාළුවෙක් තමයි උදව් කළේ. කැසට් අතේ තියා ගෙන, රෙකෝඞ් බාර්ස්වලට ගිහිං තමයි මුලින් ඒ දේවල් කළේ. ඊට පස්සේ තමයි සෙන්දුර දේවි කැසට් එක කළේ. ඒක කළේ කුමාරසිරි පතිරණ. මං ටෙලි නාට්‍ය දහයක විතර තමයි ගීත ගායනා කළේ. ගී ගයපු හුඟක් චිත්‍රපට සුනිල් ටී චිත්‍රපට. චිත්‍රපට නං සෑහෙන්න කරලා තියෙනවා. චිත්‍රපට, ටෙලි නාට්‍ය ගීත නැතුව මගේ ගීත හැටක් විතර ඇති. විස්සක් විතර තමයි හොඳටම මිනිස්සු දන්නේ. මාධ්‍යවලින් හුඟක් ගීත ප්‍රචාරය වෙන්නේ නෑ. මගේ වුණත් එකම ආරක ගී තමයි ප්‍රචාරය වෙන්නේ. ඇත්තටම මට ඕන විදිහේ නිර්මාණයක් කරලා දෙන්න අමාරුයි. මොකද සමහර අය ප්ලේ කරන්නේ නෑ. ඒකෙන් මට අසාධාරණයක් වෙනවා. මොකද මගේ වෙනස් නිර්මාණයක් මිනිස්සුන්ට අහන්න දෙන්න මට බැරිවෙනවා.

නුවර ගියේ මොකටද?

අහ්හ්.... ඒක දිග කතාවක්. මට අයියලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනක් ලංකාවේ නැහැ. අනිත් එක්කෙනා ලංකාවේ ඉන්නවා. මම ක්‍රිස්තියානි කෙනෙක්. දවසක් මමයි, මගේ අයියයි, අයිය ගේ බිරිඳයි එක්ක ගියා නුවර ටි‍්‍රප් එකක්. අයියගේ වයිෆ් බුද්ධාගමේ. ඉතිං දවසක් එයාලත් එක්ක දළදා මාලිගාවට ගියාම, අක්කි කිව්වා ඔයා දැන් දළදා මාලිගාවට ආව එකේ, ඉල්ලන්න මොනව හරි දෙයක්, ඉල්ලන ඕන දෙයක් හම්බවෙනවා කියලා. ඉතිං එතකොට මට පෙම්වතෙක් හිටියේ නෑ. මං ඉල්ලූවා මට නුවරින් කොල්ලෙක් හම්බවෙන්න කියලා. හරියටම හරි ඉතිං හම්බුනා නුවරින් කොල්ලෙක්.

රසික ආදරය?

ඉස්සර ලියුම් එනවා හුඟක්. මට හිතාගන්න බෑ එච්චර ලියුම් ගොඩක්. ටික කලකින් ලියුම් වැඬේ නතර වුණානේ. ඊට පස්සේ මගේ නම්බර් එක හොයාගෙන කෝල්ස් දෙන්න පටන් ගත්තා කට්ටිය. දැන් නං හැබැයි ඉතිං සෝෂල් මීඩියාවලින් තමයි රසික රසිකාවියෝ කතා බහ කරන්නේ.

ඔබේ දියණිය ඔබේ ගීත ගයන්නේ නැද්ද?

මං මගේ දරුවෝ වෘත්තීමය සංගීත ශිල්පීන් ශිල්පිනියන් වෙනවට කැමති නැහැ. සංගීතය හුඟක් ලස්සන දෙයක්. නමුත් ඒක තමුන්ගේ ප්‍රධාන වෘත්තීය කරගන්න එක මේ රටේ හැටියට හොඳ දෙයක් කියලා මං හිතන්නේ නෑ. මේ රටේ සංගීතය කියන දෙයට අවශ්‍ය තැන ලැබෙන්නේ නැහැ. අනික මොන ප්‍රශ්නේ ආවත් සංගීතය කියන දේ තමයි මුලින්ම වැටෙන්නේ පල්ලෙහට. මම වෘත්තිමය ගායිකාවක්. මේ වෙච්ච දේවල් එක්ක අපේ ප්‍රසංග ඔක්කොම නැතිවුණා. පේන තෙක් මානෙක දැන් ප්‍රසංග නැහැ. එතකොට ආර්ථික මට්ටම එහෙමම පල්ලෙහාට වැටෙනවා. මං ආසා නෑ මගේ දරුවෝ ඔන්න ඔය දේට මුහුණ දෙනවට. මං හැම තිස්සෙම එයාලට කියන්නේ හොඳට ඉගෙනගෙන උදේ ගිහිං හවස එන රස්සාවක් කරන්න, ?ට හොඳට නිදාගන්න කියලා. මොකද මට මගේ නිදිමැරිල්ල එපා වෙලා තියෙන්නේ. ඇත්තටම ඒක හරිම වෙහෙසකරයි. මොකද මේගොල්ලෝ ඉන්න නිසා උදේට නිදාගන්න බෑ. ලොකු දුවට හොඳට ගායනා කරන්න පුළුවන්. පුතාට ඩ‍්‍රම්ස් ප්ලේ කරන්න. ලොකු දුවට යූ ටියුබ් චැනල් එකක් තියෙනවා. අනික මගේ දරුවා උනත් එයා ගේ කියලා දෙයක් හදාගන්න ඕන මුල ඉඳලා. එයා මගේ දේවල්වලින් ගියොත් එයා ගෙන් මිනිස්සු හැමදාම බලාපොරොත්තු වෙනවා මගේ දේ. එතකොට එයා ගේ කියලා ඉමේජ් එකක් එයාට හදාගන්න බෑ කවදාවත්. මං ආසා නෑ එහෙම වෙනවට.

කෙට්ටු වෙන්න අදහසක් ඇත්තෙම නැද්ද?

මං යන්න හදන්නේ ජිම්. වැඩේ තියෙන්නේ මං යන්න හදනකොට මොකක් හරි වෙනවනේ. ජිම් අපලයක් තියෙන්නේ. එක සැරයක් ඔන්න ජිම් යන්න ඕන කියලා හිතුවා මට ඩෙංගු හැදුනා. අප්‍රේල්වල ප්‍රසංග ටික ආවම හස්බන්ඞ් යන්න දෙන්නේ නෑ මේ මහන්සිවෙලා ඇවිල්ලා මොන ජිම් ද කියලා. ඔහොම මොකක් හරි එකක් එනවා. හැබැයි මේ සැරේ හිතාගත්තා මම යනවමයි කියලා.

එක පාරට එහෙම හිතුනේ?

මට කෙට්ටු වෙන්න නෙමෙයි ඕන. මට හරි ආසයි සුම්බා ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වෙන්න. ඉතිං මං මේ ඉන්න විදිහත් එක්ක වෙනස් වුණොත් මං හිතන්නේ ගොඩක් පිරිසක් මං හිතන තැනට ගන්න පුළුවන්. අනික ප්ලස් සයිස් ක්ලොතින්ග් කියලා පුංචි ව්‍යාපාරයක් පටන් ගත්තා. මොකද සමහර වෙලාවට ඇඳුම් ගන්න ගියාම, ගන්න ඇඳුමක් නැති වුණාම හරි අප්සට් හිතට. ඔය දේ අනිත් කෙනාටත් වෙනවනේ. ඒක නිසා ඒගොල්ලෝ වෙනුවෙන් විතරක් මං ඇඳුම් ෂොප් එකක් පටන් ගන්නවා. ඒකෙන් මං ගොඩක් සතුටු වෙනවා. මොකද ඇඳුමක් හොයලා ඇඟට වගේම හිතට හරියන එකක් ලැබුණම හිතට සතුටුයිනේ. පුංචි කාලේ ඉඳන් මගේ ඇඳුම් මැහුවේ හැදුවේ මගේ ලොකු අම්මා. ඉතිං මට මහලා අඳිනවා වගේ හිතට හරි යන්නෙත් නෑ ඇඳුම් ගත්තම. ඉඳල ඉඳලා ගන්න ගියොත් හරියන ඇඳුමක් නැතිවුණාම මට හිතට හරි නැහැ. ඒක නිසා මං හිතුවා මේ ප්ලස් සයිස් ක්ලෝතින්ග්වලට යන්න. මොකද මගේ ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා, එයාලත් මගෙන් අහනවා කොහෙන්ද ඇඳුම් ගත්තේ කියලා. ඒ හින්දා ඔය වැඩ දෙක ගැන හිත යොමු කරලා තියෙන්නේ. මොකද මේ දෙකම මගේ ගායනයත් එක්ක කරන්න පුළුවන් දේවල්. අනික මං හිතන්නේ හැම කෙනෙක්ම එක රස්සාවක් නෙමෙයි රස්සාවල් දෙකක් කරන්න ඕන මේ දැන් තියෙන ආර්ථික අරගලයත් එක්ක.

බේබි ශානිකාගෙන් ඈත් වෙන්න කැමති නැද්ද?

අනේ මං කොච්චර කැමතිද. ඒත් බෑ. ඒ නම නං ගැලවෙන්නේ නෑ. බේබි කියන එක අදටත් කියනවා. කරන්න දෙයක් නෑ. තව ටිකක් වයසට ගියාම බේබි ආච්චි කියලත් කියයි. හැබැයි මේ දේත් කියන්නම ඕන. මේ කතාව මං බොහොම හදවතින් කියන්නේ. පළමුව මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මට මෙහෙම කට හඬක් දුන්නට. මට ආදරය කරන මෙහෙම රසික පිරිසක් දුන්නට. ඒ වගේම මෙච්චර කාලයක් මට ආදරය කරමින් අදටත් මාත් එක්ක මගේ අඩුපාඩු හැම දෙයක්ම දරාගෙන හිටපු මගේ රසික රසිකාවියන්ට මගේ වචනයෙන් කිව්වොත් මං පට්ට ආදරෙයි. ඒගොල්ලන්ට බොහොම ස්තුතියි. අනික මගේ අම්මට, තාත්තට, හස්බන්ඞ්ට මගේ දරුවොන්ට මේ හැමෝටම මාව තේරුම් අරං මට ආදරෙන් මගේ ජීවිතේ ඉන්නවට හුඟක් ස්තුතියි.

යුගන්ති යශෝධරා

20200623Shanika-(2)