අනුරාධ අබේසිංහ දේවිකා චතුරානිගේ හඬින් සාවිත්‍රි හුලුගල්ලගේ පද වැලක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200625Song-1

සුදු සඳුන් සුව රැදී

සෙනෙහසේ උරතුරේ

හිස තබාලා

බැලු හීන මල් පිබිදුණේ.

සෝ සුසුම් ඉවරයි.

සිනාපිරි මග දිගේ.

දෑත් පටලා ඇවිද යමු අපි

සඳ කුමරුනේ

 

රොන් විසුල වැල්ලේ ගිමන් ලමු ප්‍රේමියේ

කොඳ කුමුදු මල් මාලා පලදන්නම් ගෙලේ

සවිය වී නිම් නැතුව ගලනා දිවි ගගේ

ළඟින් ඉන්නම් පියෙන තුරු නෙත් යුග මගේ

 

කටු පදුරු පෑගී රිදෙන මුදු පා නුඹේ

පිසලමින් කඳුලැල් සුව සදමි ජීවිතේ

බැඳුණු අත් අත නොහැර ඉමු අපි කුමරුනේ

සිනා කඳුලැල් බෙදා ගනිමින් හැම බවේ.

 

එදා දොළහ ශ්‍රේණියේ සිංහල පාඩමට නියමිතව තිබුණේ සඳ කිඳුරු ජාතකයයි. සඳ කිඳුරා සහ කිදුරිය යනු එකිනෙකාට අසීමිතව ප්‍රේම කරමින් සසර පුරා පැමිණෙන සුවළකි.

සාවිත්‍රි ගුරුතුමිය සඳ කිඳුරු ජාතකය සිසු සිසුවියන්ට ඉගැන්වූයේ අතිශය සංවේදී වෙමිනි. ප්‍රේමය වෙනුවෙන් ඒ තරම් කැපකිරීම් කරන පෙම්වතුන්ගෙන් පමණක් මේ ලොව පිරී පවතින්නේ නම් ලෝකය මොන තරම් සුන්දර තැනක් වනු ඇද්දැයි ඇයට සිතිණි.

‘‘සඳ කිඳුරයි කිඳුරියි වගේ ප්‍රේමයෙන් බැඳුණ අය අද ලෝකෙ නෑ ළමයි.’’

ඇය පාඩම අවසානයේදී පැවසුවාය. ‘‘හැබැයි එහෙම අය තාමත් හමුවෙනවා. නවකතාවල සහ චිත්‍රපට වල ඒ වගේම ගීත වල.’’

පංතියේදී එසේ කීවත්, එදා ගෙදර ගිය පසු ඇයට හදිසියේ සිහිපත් වූයේ ඇය උසස් පෙළ පංතියේ උගන්නා සමයේ පංතියේ සිටි මිතුරු පෙම් යුවලකි.

ඔවුන් පෙම් කලේ රහසේය. එහෙත් කිසියම් දවසක ඔවුන්ගේ ප්‍රේමය පංතිභාර ගුරුතුමියට දැනගන්නට ලැබිණි. ඇය මේ සිසුවාටත් සිසුවියටත් කතා කළාය.

‘‘ළමයි ඔයාලා දන්නවද ඔයාලගෙ අම්මල තාත්තල ඔයාලාව පාසල් එවන්නෙ මොනවටද කියලා. ඉගෙන ගන්න එහෙම නැතුව කසාද බඳින්න අය හොයාගන්න නෙවෙයි. කසාද බදින්නේ ඉගෙන ගෙන ඉවර වෙලා රස්සාවල් එහෙම හොයාගත්තට පස්සෙ. මේ කාලෙ ඔය විදිහට සම්බන්ධකම් පවත්වන කොට හිත දුවන්නේ අධ්‍යාපනයට නෙමේ. වල් පල් වලට ඒකෙ ප්‍රතිඵලය වෙන්නෙ විභාගෙ පේල් වෙන එක ඊට පස්සේ රස්සාවල් නැතුව දුක් විඳින්න වෙනවා. මතක තියාගන්නවල, නැති බැරි කම් ගෙට එනකොට ආදරේ පස්ස දොරෙන් පලායන බව.

ගුරුතුමිය කීවේ තදිනි.

අර සිසුවාත් සිසුවියත් බිම බලාගෙනම, මහපටගිල්ලෙන් පොළව හාරන්නටවත් බැරිව අසරණව සිටියහ.

‘‘මට පුළුවන් ඔය ළමයි ප්‍රින්සිපල් සර් ළඟට යවලා අම්මා තාත්තලා ගෙන්වල දරුවන්ගෙ හපන්කම් කියාදෙන්න. එහෙම වුණොත් අස්වීමේ සහතිකය දීලා දෙන්නවම ගෙදර යවයිද දන්නෙත් නෑ..’’

ගුරු තුමියගේ අවවාද හිස් මුදුනින් පිළිගත් ඔවුහු පාසල් සමයේදී ප්‍රේම කිරීම තාවකාලිකව නතර කළෝය. හැබැයි දෙදෙනාම හැකි වෙර යොදා ඉගෙනීම කළ අතර අර දෙදෙනා දිගටම ඉගෙනීම සඳහා එකිනෙකාට උදව් පදව් කරගත්හ.

දෙදෙනා විභාගයට ඉතා හොඳින් මුහුණ දුන්හ.

විභාග ප්‍රතිඵල පැමිණියේ දෙදෙනාටම සරසවි වරම් හිමිකර දෙමිනි.

ඔවුහු විභාග ප්‍රථිපල රැගෙන පංතිභාර ගුරුතුමිය වෙත ගොස් වැඳ වැටුණහ.

කොහොමද පුතේ ප්‍රථිපල,

‘‘හැම වැඩකටම ඒ’’

දෙදෙනාම කීවේ එකටය.

එහෙනම් දෙන්නටම එකම විශ්ව විද්‍යාලෙකට යන්න පුළුවන්. විශ්ව විද්‍යාලෙදී ස්කෝල වල වගේ ප්‍රේම සම්බන්ධවලට තහංචි නැහැ පුතේ. මං එදා අර විදියට තහංචි නොදැම්මා නම් ඔය දෙන්නම විනාශයක් කර ගන්නවා.

නමුත් ඔය දෙන්නා මගෙ කීමත් පිළිඅරන් හිතේ ඉපදුණු ප්‍රේමයත් හිතයට හංගන් හොඳට ඉගෙනගත්තා. මම ඔය දෙන්නටම ආශිර්වාද කරනවා. බඳින දවසට මං එනවා. සාක්‍ෂියට අත්සන් කරන්නත්.’’

ගුරුතුමිය කීවේ දෙදෙනාගේම හිස් අතගාමිනි.

මොවුන් අද විවාහ වී සතුටින් ජීවත් වෙති.

‘‘ඒ දෙන්නත් සංසාරෙ බවෙන් බවේ හමුවෙන දෙන්නෙක් වෙන්න ඇති.’’

සාවිත්‍රි තමන්ටම කියාගත්තාය.

ඒ සමගම ඇයට සිහිපත් වූයේ දෙතුන් දවසකට පෙර ගුරු විවේකාගාරයේදී දොඩමලු වූ ගුරුතුමියකි.

‘‘මට නම් මේ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නෙ මැඩම්’’

ඇය කීවේ දෙනෙත කඳුලින් තෙත් කර ගනිමිනි.

‘‘ඇයි ටීචර් එහෙම කියන්නෙ

මැඩම්ට කියන්න, මේ කසාදෙ, මට කසායක් වෙලා තියෙන්නෙ. ඒ තරමට තිත්තයි.’’

ඔයාලා බැන්දෙ ප්‍රොපෝසල් එකකින්ද?

නෑ මැඩම් ලව් අපෙයාර් එකක්

එහෙම නම් ඉතින් එහෙම තිත්ත වෙන්න බැහැනෙ. ඔයාලා කතා කරගෙන ප්‍රශ්න විසඳගන්න පුළුවන්නෙ.

මොන පිස්සුද මැඩම් ලව් කරපු කාලෙ හිටපු මනුස්සයා නෙමේ බැන්දට පස්සෙ ඉන්නෙ. තනිකරම වෙනස් මිනිහෙක්. මං හිතන්නෙ ලව් කරද්දී එයා වෙස් මූණක් දාගෙන හිටියෙ. ඒ කාලෙ හිටපු ආදරණීය මිනිසා දැන් නැහැ. දැන් ඉන්නෙ තනිකරම ආත්මාර්ථකාමී මිනිහෙක් ගෙදර වැඩකට උදව් වෙන්නෙ නෑ. උදේ නැගිට්ටා, නෑවා කෑවා ඇඳගත්තා වැඩට ගියා. හවස එන්නෙ නෑ. එන්නෙ රෑවෙලා ඒ එන්නෙ යාලුවොත් එක්ක සෙට් වෙලා බීගෙන. ඊට පස්සෙ මටත් ගෝරනාඩු කරලා කාලා නිදාගන්නවා. බොන්න සල්ලි නැතුව ගියාම මගේ පඩියෙනුත් ඉල්ලලා මාව මරන්කන්න හදනවා. ඒක තමයි එපාම කරපු දේ.. තව ටික දොහක් බලලා මම ගෙදර යනවා.

ආදරේ කරන කාලෙ එයා එහෙම නැද්ද?

අනේ නෑ, ඒ කාලෙ හරි හොඳයි. කලුවර වැටිලා මට තනියම ගෙදර යන්න දෙන්නෙත් නෑ. ගේ කිට්ටුවටම ගෙනත් ඇරලලයි ආපහු යන්නෙ. ඒත් දැන්. මම රෑ නවය දහය වෙනතුරු ගෙදර තනියම වගේ වගක් නෑ.

ඒ කාලෙ දවසක් මට උණහැදුනා. මම හොස්පිට්ල් ඇඩ්මිට් වුණා. ටිකට් කපන තුරු දවල්, හවස දෙකේම මාව බලන්න ආවා. පළතුරු ගෙනත් බලෙන් කැවෙව්වෙ පුදුම ආදරේකින් බලා ගත්තෙ. ඒත් ඊයෙ පෙරේදා දවසක මට උණ හැදුණා. ඇහැක් ඇරලා බැලුවෙ නෑ. සුප් ටිකක් තියා තේකක්වත් හදල දුන්නෙ නෑ. ගෙදර හිටියෙත් නෑ. උණත් තියාගෙන තනියම එයාට කන්න උයලා දුන්නෙ මම.

ගුරුවරිය කීවාය.

ආදරය කළ යුත්තේ සදකිඳුරු ජාතකයේ කිඳුරා සහ කිඳුරිය පරිද්දෙනි. එහෙත් එබඳු සංසාරගත ප්‍රේමයන් ලොව පවතින්නේ කලාතුරකිනි. අර පාසල් වියේ හමුවූ පෙම්යුවල එවැනි කලාතුරකින් හමුවන සංසාරගත පෙම්වතුන් විය හැකිය.

පාසලේදී විද්‍යා විෂයන් උගත්තත් සාවිත්‍රි උපාධිය හැදෑරුවේ කලා විෂයන්ගෙනි. පාසලේදී උගන්වන්නට සිදුවූයේද ‘‘සිංහල’’යි මේ නිසා කවිය, ගීතය, ඇසුරු කරන්නට, හදාරන්නට ඇයට අවස්ථාව ලැබිණි. එහි ප්‍රථිපලයක් ලෙස කවියක්, ගීතයක් රචනා කිරීමේ හැකියාව ඇයට ලැබිණි. අඹු සැමි යුවළකගේ සදාකාලික ප්‍රේමය ගැන මේ මියුරු පදවැල සාවිත්‍රි හුලුගල්ල අතින් ලියැවුණේ’

සඳකිඳුරු ජාතකය ළමයින්ට ඉගැන්වූ දවසේදීය.

පදවැලක් යනු ගීතයක් නොවේ. පදවැලක් ගීතයක් බවට පත්වීමට සංගීතයද, ගායනයද මුසුවිය යුතුය. ඉතින් තම පදවැලට මියුරු සංගීතයක් නිර්මාණය කර ගැනීමේ වගකීම අනුරාධ අබේසිංහට පවරන්නට ඇයට සිතුණේ ඔහුගේ සංගීත නිර්මාණ විචිත්‍රත්වයෙන් අනූන නිසාය.

‘‘කව්ද මේ සිංදුව ගායනා කරන්නෙ?’’

අනුරාධ ඇසුවේ, ගී පදමාලාව කෙරෙහි ප්‍රියතාවයක් ඇති වූ බැවිනි.

දන්නෙ නෑ. ඔයාට සුදුසු කෙනෙක් තෝරගන්න.

එහෙමනම් දේවිකා චතුරානිත් එක්ක මම මේ සිංදුව කියන්නම්.

සුදු සදුන් සිහිල දී ගීතයට අනුරාධගේ හා දේවිකාගේ කටහඬ අපූරුවට ගැලපිණි.

සාවිත්‍රි හුලුගල්ල, අද නිකවැරටිය ගලගෙදර කණිටු විදුහලේ විදුහල්පතිනියයි.

හෙට දවසේ ඇගේ අතින් තවත් මෙබඳු ගී පදමාලා ලියැවෙනු දැක්ම රසික පැතුමයි.

ශාන්ත කුමාර විතාන