මට ලිංගිකත්වය පෙන්නලා ‘කටකාරයි මා’ මියුසික් වීඩියෝවට අවධානය ලබාගන්න අවශ්‍ය වුණේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200706Trisha-(1)මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනියක ලෙසින් කටයුතු කරමින් සිටියිදී  ඇමෙරිකාවට ගොස් එරට නිර්මාණකරණයේ නිරත ටීෂාපෙරේරා කලකට පසුව ‘කටකාරයි මා’ නමින් සිංහල ගීතයක් එළිදක්වාතිබෙනවා. මේවන විට ඉහළ රසික ප්‍රතිචාර සමගින් ප්‍රචාරය වන ‘කටකාරයි මා’ ගැන සේම සෙසු නිර්මාණ කටයුතු ගැන අපි ටීෂා සමග සංවාදයක නිරත වුණෙමු.

අලුතින්ම එළිදැක්වූ ‘කටකාරයි මා’ ගීතය ගැන මුලින්ම කතා කළොත්?

‘කෝවිඩ් - 19’ නිසා ගෙදරට හිරවෙලා ඉන්න වෙලාවෙ තමයි ‘කටකාරයි මා’ ගීතය නිර්මාණය වුණේ. ඒ වගේම මට ඇත්තටම උවමනාවක් තිබුණා ‘රන් වන් රන් මාල පළඳා’ වැනි ගීතයක් යළිත් කරන්න. මොකද මගේ රසිකයෝ  මගෙන් හැමදාමත් බලාපොරොත්තු වෙන්නෙ ඒ ආකෘතියේ ගීත. මම ස්ලෝ සින්දු දෙකක් කළත් ඒකට එතරම් හොඳ ප්‍රතිචාර හිමිවුණේ නැහැ. ඔවුන්ට මගෙන් අවශ්‍ය හිප්හොප් හෝ බන්ග්‍රා මියුසික් ස්ටයිල් එකේ ගීත. ඒ නිසා මම ‘රන් වන් රන්’ ගීතයට සමීප ගීතයක් ගැන හිතමින් ඉන්නකොට තමයි ‘කටකාරයි මා’ ගීතයේ මෙලඩි එක මගෙ ඔළුවට ආවෙ. ඒ මෙලඩි එකට ගීතය ලියලා මගෙ කොම්පෝසර් වන විල් කාමැක්ට යැවුවා. ඒ විදිහට තමයි මේ ගීතය නිර්මාණය වුණේ. තරුණ වයසේ තරුණියක්ගේ හැඟීම් ගැන තමයි මම මේ ගීතය හරහා කියන්න උත්සාහ කළේ.

ගීතයට ලැබෙන ප්‍රතිචාර කෙබඳුද?

මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි. ලංකාවේ හිරු, ෂා, දෙරණ, සියත, වයි, රිදම් ආදී එෆ්.එම් නාලිකා තුළින් මේ ගීතය ප්‍රචාරය වෙනවා. ඒ වගේම ගීතය එළිදක්වලා දින කිහිපයක් තුළ යූ ටියුබ් තුළිනුත් 154,000කට ආසන්න පිරිසක් මේ ගීතය නරඹලා තියෙනවා වගේම රසිකයෝ ගොඩක් අගය කරනවා. කාලෙකට පස්සෙ නිර්මාණයක් කරලා ඒක රසිකයෝ ඉතා ඉහළින් පිළිගැනීම ගැන ලොකු සතුටක් තියෙනවා.

මෙහි  මියුසික් වීඩියෝව යම් ලෙසකට ලිංගිකත්වය හුවාදක්වන අයුරක් දක්නට ලැබෙනවා. එය වැඩි ප්‍රේක්ෂක අවධානය වෙනුවෙන් සිදු කළ දෙයක්ද?

මෙහි මියුසික් වීඩියෝවෙන් අපි ලිංගිකත්වය ප්‍රදර්ශනය කරන්න අදහස් කළේ නැහැ. ලංකාවේ සමහර මියුසික් වීඩියෝ එක්ක ගත්තම මේකෙ එවැනි ලිංගිකත්ව ප්‍රදර්ශනය කිරිමක් සිදුකරලා නැහැ. ඇමෙරිකාවේ ඉන්න නිරූපිකාවක් යොදාගෙන මියුසික් වීඩියෝවක් කරනකොට ශරීරය ඕනි තරම් නිරාවරණය වන ලෙස මියුසික් වීඩියෝවක් කරන්න මට ඕනිනම් අවස්ථාව තිබුණා. නමුත් මට ලිංගිකත්වය පෙන්නලා මගේ ගීතයට අවධානය ලබාගන්න අවශ්‍ය වුණේ නැහැ.

නමුත් ගැහැනියකගේ සුන්දරත්වය හුවා දැක්වීමට ක්‍රම කිහිපයක් තිබෙනවා. විශේෂයෙන් තරුණියක් සතු කටකාරකම, දඟකාරකම, ලස්සන අපි මේ මියුසික් වීඩියෝව හරහා පෙන්වා තිබෙනවා අනවශ්‍ය ලෙස ඇඟපත නොපෙන්වා. මෙහි මියුසික් වීඩියෝවෙ තරුණිය බීච් එකේ ඇවිදින දර්ශනයක් තිබෙනවා බිකිනියක් ඇඳගෙන. ඔබ මේ ගීතය ලිංගිකත්වය හුවා දක්වනවා කියලා කියන්න ඇත්තේ ඔය දර්ශනය නිසා වෙන්න ඇති. නමුත් ඒ දර්ශනයෙන් බලාපොරොත්තු වුණේ තරුණිගේ සෞන්දර්යාත්මක බව ප්‍රකට කිරීම විනා අනවශ්‍ය ලෙස ශරීරය ප්‍රදර්ශනය කිරීමට නෙවෙයි.

20200706Trisha-(3)

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු මොනවාද?

මගේ ජීවිතේ පළමු වතාවට කන්ට්‍රි සෝන්ග් එකක් කළා. ඒ ඇත්තටම රොක් සහ පොප් මික්ස් එකක්. එහි වීඩියෝව මේ දවස්වල නිර්මාණය කරමින් තිබෙනවා. ඒ කටයුතු අවසන් වුණ ගමන් යූ ටියුබ් හරහා රිලීස් කරන්න හිතාගෙන ඉන්නවා. ලංකාවේ රේඩියෝ චැනල්වලින් දැනටමත් ඒ ගීතය ඉල්ලලා තිබෙනවා. ඒ වගේම එළඹෙන දෙසැම්බරයේදී ලංකාවට ඇවිත් මගේ නිර්මාණයක් එළිදක්වන්නත් සැලසුම් කරගෙන යනවා. ඒ ගැන අපි ඉදිරියේදී කතා කරමු.

ලංකාව තුළ ප්‍රසංගයක් පැවැත්වීමේ අදහසක් තිබුණා නේද?

ලංකාවට ඇවිත් කොන්සට් එකක් කරන එක කාලෙක ඉඳන් මගේ හිතේ තිබුණු දෙයක් වගේම මේ වසරෙදි එය කරනවා කියන අදහසින් මම හිටියත් ‘කෝවිඩ් - 19’ සමග අවාසනාවන්ත ලෙස මේ වසරෙදි එය කරන්න ලැබෙන්නෙ නැහැ. මොකද මගේ අදහස තියෙන්නෙ ඇමෙරිකන් ස්ටයිල් එකේ කොන්සට් එකක් කරන්න. සමහරවිට ඇමරිකාවෙන්ම ඩාන්සස්ලා ගෙන්වන්න ඉඩතියෙනවා. ෂෝ එක ඕපන් කරන්න ලංකාවේ හොඳම ආටිස්ලාට ආරාධනා කරන්න ඕනි. ලොකු මුදලක් වියදම් කරලා කරන වැඩක් වගේම හරි විදිහට කරන කොන්සට් එකක් ලෙස බොහෝවිට ලබන වසරෙදි මේ කොන්සට් එක පවත්වන්න හැකි වේව්. 

 

ඇමෙරිකාව තුළ සිදුකරන මියුසික් වැඩකටයුතුවල තත්ත්වය කෙබඳුද?

මම ඇමෙරිකාවේ රෙකෝඩ් ලේබලයක් එක්ක ගීත කිහිපයක්ම මේ වන විට රිලීස් කරලා තියෙනවා. ඒ එක්කම අලුතින්ම නිර්මාණය කළ රොක් ඇන්ඩ් පොප් සෝන්ග් එක තව දින කිහිපයකින් ඇමරිකාවේ එෆ්.එම් චැනල්වලට එළිදක්වන්න සූදානමින් ඉන්නවා.

ඒ එක්කම තව ට්‍රැක් තුන හතරක් සඳහා මෙලඩි නිර්මාණය කරමින් ඉන්නවා. මොකද මගේ ඉංග්‍රීසි ගීතවලට අදාළ ගී පද , මෙලඩි සිදුකරන්නෙ මමමයි. මොකද එතකොට මට ගෙවන රෝයල්ටි එක වැඩි නිසා. ‘කෝව්ඩ් - 19’ එන්න පෙර ඇමෙරිකන් කොන්සට්වල පොෆෝම් කළා. නමුත් කෝවිඩ් නිසා ඒ කටයුතු නැවතිලා තිබුණත් තව ටික දිනකින් ඒ කටයුතු පටන් ගන්න හිතාගෙන ඉන්නවා. දැනට මගේ ස්ටුඩියෝ එකට වෙලා අලුත් නිර්මාණ කරන එක තමයි කරන්නෙ.

නිරෝෂන් ප්‍රේමරත්න

20200706Trisha-(4)20200706Trisha-(2) 20200706Trisha-(5)