‘සිත පාරා’ ගත් ‘ඉතලි ස්ටාර්’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200709Malsha-(4)සංගීතයම ජීවිතය කරගත් පවුලක උපත ලැබූ මල්ෂා හෂිනි නාකන්දල ලංකාවෙන් බැහැරව ඉතාලියේ ජීවත් වුවත් ඇය කිසි විටකත් සිය ගායන හැකියාවට තිත තබන්නට සූදානම් වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ඉතාලියේ පැවැති ඉතලිස්ටාර් තරගයේ ජයග්‍රාහිකාව බවට ඇය  පත්වීමයි.

 ඉතලිස්ටාර් තරගය ඉතාලියේ නගර 12ක ජීවත් වූ ශ්‍රී ලාංකිකයන් සහභාගී වූ තරගයකි. එහිදී උපරිම දක්ෂතා දැක්වූ ඇය අවසානයේ සිය ජයග්‍රාහී කිරුළ තමන් සතුකර ගැනීමට සමත් වූවාය. ඒ වෙනුවෙන් ඇයට ලැබුණු ත්‍යාගය වූයේ  මල්ෂාගේම ගීතයක් රූප රචනයක් සමග  නිර්මාණය කර ගැනීමට ලැබීමයි. ‘සිත පාරා’ ගීතය මල්ෂාගේ පළමු ස්වතන්ත්‍ර  ගීතය බවට පත්වන්නේ ඒ අනුවය.

මවු රටින් බැහැරව දුරු රටක සිටියත් ගීත ගායනයෙන් ඉදිරිය සොයන මල්ෂා සඳැල්ලට මෙසේ දොඩමළු වූවාය.

‘‘මම කළුතර බාලිකාවට ඉස්කෝලේ ගිය කාලේ ඉඳලාම සිංදු කියන්න දක්ෂයි කියලා මට තේරුණා. තරගවලිනුත් ජයග්‍රහණය කළා. අපේ පවුලෙනුත් සංගීත හැකියාව මට ලැබුණා. ඉතලිස්ටාර් වගේ තරගයකට සහභාගි වෙලා ඒ අභියෝගය ජයගන්න හැකිවුණේ ඒ ආභාෂය මතයි.’’

මල්ෂාට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලැබුණු සිත පාරා ගීතයේ මුලින්ම සිත බැඳී තිබුණේ අජිත් කුමාරතන්ත්‍රිගේ ගේය පද රචනයයි. ඊට පෙර බොහෝ විට විරහ ගීත ඇගේ හඬට ගැළපෙනවා යැයි සිතුණු වාර අනන්තයි. ඒ නිසා මේ පද රචනයටත් විශේෂ කැමැත්තක් ඇතිවිය. අජිත්ගේ පද හා රොමේෂ්  සුගතපාලගේ අපූරු තනු නිර්මාණය මත සාර්ථක ගීතයක් නිර්මාණය කර ගන්නට මල්ෂාට  හැකියාව ලැබුණි. සැබැවින්ම ‘සිත පාරා’ ඇයට ලැබුණු පුදුමයකි.

‘ඉතාලිස්ටාර් 2’ තරගයේ ජයග්‍රාහිකාවගේ පළමු ගීතයට ලැබුණ       ප්‍රතිචාර ඇයගේ ධෛර්යය තව තවත් වඩවන්න සමත් වූවාය.

‘‘‘සිත පාරා’ ගීතයට මට ඉතාලියෙන් වගේම ලංකාවෙනුත් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. මගේ පාසලේ යහළුවනුත් මගේ ගීතය අහලා මට කතා කළා. මම පාසල් යන කාලේ ගායිකාවක් වෙන්න ආසාවෙන් ඉඳපු බව ඒ අය දන්නවා. ඒ වගේම තරගයට ඉදිරිපත් වීමට මට උදව් කළ, දිරිමත් කළ, අයදුම්පත්‍ර දාලා මාව තරගයට යැවූ අම්මා, තාත්තා, සැමියා ඇතුළු හැමෝම මට ශක්තියක්. ඇත්තටම ඉතාලියේදී මේ වගේ තරගයකට සහභාගි වෙලා ජය ගන්න ලැබීම සතුටක්.’’

ලංකාවෙන් බැහැරව සිටියත් ලංකාවේ ගීත කලාව ගැන මල්ෂාට හොඳ ඉවක් තිබේ.

‘‘ලංකාවේ ගීත කලාව ගැන මම උනන්දුයි. ලංකාවේ ගීත කලාව එක්ක සක්‍රීයව ජීවත් වීමට නොහැකිවීම ගැන දුකක් දැනෙනවා. මම අවසාන මහා තරගය වෙනුවෙන් ගායනා කළ රන්කෙන්දෙන් බැඳ ගීතයට මම පුදුම විදියට කැමැතියි. නෙලු අධිකාරී, කපිල පූගලආරච්චි තමයි අපේ ඉතාලිස්ටාර් තරගය විනිශ්චය කිරීමට පැමිණියේ. ඒ අය තරගය වෙනුවෙන් සාධාරණ විනිශ්චයක් ලබා දුන්නා. මට හිතෙන්නේ ලංකාවේ ගීත කලාව පස්සට ගිහින් නැහැ. දැන් එන නිර්මාණවල ආයු කාලය කෙටියි. දක්ෂ අය සිටියත් දක්ෂයන්ගේ නිර්මාණවලට ලැබෙන වටිනාකම අඩුයි. මම අලුත් සහ පරණ යන හැම ගීත කලාවටම කැමැති කෙනෙක්. හැම දවසටම අලුතින් ගීත  සීයක් එකසිය පනහක් නිර්මාණය වුණත් එයින් එළියට එන්නේ නිර්මාණ කීපයක් විතරයි.

මල්ෂාගේ ආසාව ලංකාවට පැමිණ ක්ෂේත්‍රයේ රැඳෙන ගීතයක් නිර්මාණය කිරීමය. ඉතාලියේ හැමදේම සීමිත නිසා ලංකාවට පැමිණ නිදහසේ ගීතයක් නිර්මාණය කිරීමට ඇය කැමැතිය.

මල්ෂාගේ දක්ෂතාවට ඉහළම ගෞරවය ඉතාලියේ වසන  ලංකාවේ අය ලබාදී අවසන්ය. ඉතාලියේ පැවැත්වෙන බොහෝ සංගීත ප්‍රසංගවල මල්ෂාට මේ වනවිට අවස්ථාව හිමිය. ඇය ඒ ආරාධනා ඉතාම ආසාවෙන් බාර ගන්නේ ගීත ගායනාවට ඇගේ තිබෙන ආසාව නිසාය.

මල්ෂා ඉතාලියට පැමිණ දැන් වසර හතකි. එහෙත් ඇයට ගීත ගායනා කරන්නට හැකි යැයි ඉතාලියේ ඇගේ නෑයන්ට ඔප්පු කරන්නට  හැකිවූයේ මේ තරගාවලියෙන් පසුවය. ඉතාලියේදීම ‘ඇස්දෙක’ නමින් මල්ෂා සහ සිය නැගණිය සමග ගීත ප්‍රසංගයක් පවා පසුගියදා පැවැත්වූවාය. ගීත කලාවෙන් ඉදිරිය සොයන මල්ෂා හෂිනිට තවදුර යන්න සුභපැතුම් එක් කරමු.

අමිල චින්තක ගමගේ

20200709Malsha-(1) 20200709Malsha-(2) 20200709Malsha-(3) 20200709Malsha-(5) 20200709Malsha-(6) 20200709Malsha-(8) 20200709Malsha-(9) 20200709Malsha-(10) 20200709Malsha-(11)