කීර්ති පැස්කුවල් ගීත රචකයන් එකතු කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගායක ගායිකා සංගමයේ හිටපු සභාපති කීර්ති පැස්කුවල් යනු සංවිධාන ශක්තියෙන් අනූන පුද්ගලයෙකි. යම් ගායකයෙක් ගායිකාවක් අසනීපවිණි නම් ඔහු හෝ ඇය වෙනුවෙන් ආධාර මුදල් එකතු කිරීමට දැවැන්ත ප්‍රසංග සංවිධානය කිරීමට මෙන්ම ආශීර්වාද බෝධි පූජා සංවිධානය කිරීමට ද එකසේ දක්ෂයෙකි. ඔහුගේ අලුත්ම උත්සාහය ශ්‍රී ලාංකීය ගී පද රචකයන් එකට එකතු කිරීමය.

ඒ වෙනුවෙන් ඇරඹුණු ශ්‍රී ලාංකික ගී පද රචකයන්ගේ සංගමය ඉකුත් 31 වැනිදා සිකුරාදා කොළඹ නව රඟහලේදී ආරම්භ විය.

එහි අරමුණු පැහැදිලි කළ කීර්ති පැස්කුවල්:

‘‘ගීත රචක සංගමයක් මුල්වරට ඇරඹුණේ 1991දී. ඔස්කා සංවිධානය ආරම්භ වීමත් සමග පෙර කී ගීත රචක සංගමය අකර්මණ්‍ය වුණා. නමුත් මේ වනවිට ගායක ගායිකාවන්ට වෙනම සංගමයක් තියෙනවා. නළු නිළියන්ට වෙනම සංගමයක් තියෙනවා. සංගීත අධ්‍යක්ෂවරුන්ට වෙනම සංගමයක් තියෙනවා. ගීත රචකයන්ට විතරයි සංගමයක් නැත්තේ. මේක විශාල අඩුවක්. ඇත්තටම මං දකින විදිහට ගීත රචක සංගමයක් බිහිවිය යුත්තේ මීට කාලෙකට කලින්. කොහොමහරි ගීත රචකයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ප්‍රබල සංවිධානයක් අවශ්‍යයි. ඒකට ප්‍රවීණ පරපුරේ වගේම නවීන පරපුරේ දායකත්වයත් තිබිය යුතුයි. ඉතින් අපි අද අරඹන මේ සංගමය හරහා ගීත රචකයන් වෙනුවෙන් හඬක් නැගීමයි කළ යුත්තේ.’’

මෙම සංගමයේ සභාපතිත්වයට ප්‍රවීණ ගීත රචක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ තෝරා ගැනුණු අතර, සම සභාපතිත්වය සඳහා නිලාර් එන්. කාසිම් ද, ලේකම් තනතුර සඳහා ජෝර්ජ් රොබ්සන්ද සිල්වා ද, භාණ්ඩාගාරික ලෙස බන්දුල නානායක්කාරවසම් ද තේරී පත්වුණු අතර, අනෙකුත් තනතුරු සඳහා ප්‍රවීණයන්ද, නවීනයන්ද සම සමව පත්කෙරුණි. සංගමයේ ප්‍රධාන සංවිධායක ලෙස කීර්ති පැස්කුවල්ගේ නම යෝජනා කළ ද ඔහු ඊට දැඩිසේ විරුද්ධ විය. එහෙත් මේ සංගමය සංවිධාන කටයුතු වෙනුවෙන් විශාල බරපැනක් ද දැරූ කීර්ති පැස්කුවල්ටම සංගමයේ ප්‍රධාන සංවිධායක කම බාරගන්නට සිදුවූයේ සියයකට අධික සාමාජිකයන්ගේ බලවත් ඉල්ලීමෙන් අනතුරුවවීම ද විශේෂත්වයකි.

20200806Keerthi- (1) 20200806Keerthi- (2)