මුල්ම සුබ පැතුම් දුවලා දෙන්නාගෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200813Channa-(3)

 

ඔබේ උපත ගැන අම්මා, තාත්තා සඳහන් කරලා තියෙන්නෙ මොනවද?

මම ඉපදුනෙ අගෝස්තු 16 දවසක හවස් වරුවක. අම්මා, තාත්තා මුලින්ම කැමැත්තෙන් ඉඳලා තියෙන්නෙ පුතෙක් ලැබුණොත් හොඳයි කියලා. ගෙදර පළවෙනි දරුවා මම තමයි. ඉතින් මම පවුලෙ වැඩිමලා වීමේ හොඳ හා නරක දෙකටම මුහුණ දීලා තියෙනවා. මොකද ඉතින් මට පස්සෙ අපේ ගෙදරට ඇවිල්ලා ඉන්නෙ පිරිමි ළමයිම තුන්දෙනෙක්. ඉතින් මම පිරිමි ළමයිම 4 ක් ඉන්න ගෙදරක වැඩිමලා.

 

ඒ කාලෙ උපන් දින සැමරුම් ගැන කොයිවගේ මතකයක්ද තියෙන්නෙ?

මම පවුලෙ පළවෙනි දරුවා නිසා අපේ නෑදෑයන්ගෙන් පවා ලොකු ආදරයක් ලැබිලා තියෙනවා. ඉතින් මට මතකයි ඒ දවස්වල ගොඩක්ම තෑගි භෝග ලැබෙනවා. ඉතින් පුංචිම කාලෙ ඇරෙන්න ටිකින් ටික ලොකු වෙද්දි නම් ලොකුවට ඒ දේවල් සැමරුවෙ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම ඒ දවසට ගෙදර කිරිබතක් හදනවා. අනිවාර්යයෙන්ම පන්සල් යනවා.

 

පාසල් කාලෙට ආවම?

ඒ කාලෙත් ඉතින් යාළුවො එක්ක එකතුවෙලා සින්දුවක් කියලා කොහෙට හරි යාළුවෙක්ගෙ ගෙදරකට එකතුවෙනවා. ලොකු දේවල් නම් කරලා නැහැ. නමුත් පාසල් ජීවිතෙන් පස්සෙ මම රැකියාවක් කරන්න ගත්තා. ඒ පෞද්ගලික බැංකුවක. එතැනින් පසුව නම් උපන් දිනය සාමාන්‍යයෙන් සමරන්න ගත්තා.

එක් වතාවක ඒ ආයතනයේ රැකියාව කළ මගෙ යාළුවෝ එකතුවෙලා මාව සර්ප්‍රයිස් කළා. මම හීනෙන්වත් බලාපොරොත්තු නොවූ විදියෙ සර්ප්‍රයිස් එකක්, ඇත්තටම මම වැඩිය සර්ප්‍රයිස්වලට කැමති කෙනෙකුත් නෙමෙයි. නමුත් එදානම් ඇත්තටම සර්ප්‍රයිස් වුණා.

 

රංගන ශිල්පියෙක් විදියට ක්ෂේත්‍රයට ආවම පෙරට වඩා අති විශාල සුබපැතුම් ගලාගෙන ආවලු නේද?

අම්මෝ ඔව්. මම ක්ෂේත්‍රයට එන්නෙ ජංගම දුරකථන පටන්ගත්ත අලුතම වාගේ. නමුත් ඒ වෙද්දි හැමකෙනා ළඟම ජංගම දුරකථන නැහැ. ඒ නිසා ලිපි, තැපැල්පත් මාර්ගයෙන් තමයි ඒ කාලෙ සුබපැතුම් ලැබුණේ. රංගන ශිල්පියෙක් වුණු මුල් කාලෙ උපන්දිනයට ගෝනි ගණන් සුබපැතුම්පත් ලිපි ලැබුණා. අඩුවක් නැතිව රසික රසිකාවියෝ ආදරය කළා.

 

වැඩිපුරම රසිකාවියො නේද?

ඔව්. එහෙම විශේෂයක් තිබුණා. ඒ කාලෙ තැපැල්පත්, ලිපි එවද්දි මගේ පින්තූර ඒවට දාලා මගේ ගැන ලියලා එක එක විදියෙ නිර්මාණ හරිම ලස්සනට කරලා එවනවා. ඒ ආදරේ හරිම සුන්දරයි. ඒ වගේම එක වතාවක ගැහැණු ළමයි 20 ක් වගේ ලොකු පිරිසක් එකතුවෙලා මාව බලන්නත් ආවා. ඒ වගේ දේවල් ගොඩක් සිද්ධ වුණා. ඒ වගේම මල් පොකුරු, කේක් එහෙමත් ගෙදරට ගොඩක් ලැබිලා තියෙනවා.

 

ඒ අතරින් විශේෂ උපන්දින සුබපැතුමක් තිබුණෙ නැද්ද?

මම විවාහ වෙන්න කලින් හිටපු පෙම්වතියන්ගෙන් සුබ පැතුම් මුලින්ම ලැබුණා. එතැනින් පසුව ඉතින් මම ගයත්‍රි එක්ක විවාහවෙලා ඉන්න කාලෙදි ඇයගෙන් තමයි ඒ සුබ පැතුම් එකතු වුණේ. දැන් නම් දුවලා දෙන්නා තමයි මුලින්ම සුබ පතන්නෙ.

 

දියණියන් දෙදෙනාගෙන් කොයි විදියට ද සුබපැතුම් එකතු වෙන්නෙ?

දුවලා දෙන්නා පොඩි කාලෙ ඉඳලාම මගේ උපන්දිනයට ලස්සන සුබපැතුම්පත් නිර්මාණය කරලා දුන්නා. ඉතින් ඒ දේවල් අදටත් මගේ ළඟ සුරැකිව තියෙනවා. ඇත්තටම කඩෙන් ගෙනත් දෙන සුබ පැතුම්පත්වලට වඩා ඒගොල්ලන්ගෙ අතින්ම නිර්මාණය කරලා දෙද්දි ඒ දේ මට ගොඩක්ම වටිනවා. හැම අවුරුද්දකම ඒ දෙන්නා මම වෙනුවෙන් ඒ දේ කළා.

ඒ දේවල් එකතු කරගෙන ඉඳල පස්සෙ බලද්දි ලොකු සතුටක් හිතට දැනෙනවා. ඒ වගේම රෑ නිදි මරාගෙන ඉඳලා රෑ 12 ට හරියටම සුබ පතනවා. ඒ දෙන්නම තවම රැකියා කරන්නෙ නැහැ. ඉගෙන ගන්නවා. නමුත් ඒ දෙන්නට පුළුවන් විදියට සල්ලි එකතු කරලා මොනව හරි තෑගිත් අරන් දෙනවා. ඒ දේවල් හරි සුන්දරයි.

 

ගයත්‍රිගෙන් ලැබුණු විශේෂ තෑග්ගක් මතකයේ තියෙනවද?

ඇයගෙන් මට එක වතාවකදි ලස්සන ඔර්ලෝසුවක් ලැබුණා. ඒ මම කැමතිම තෑග්ගක්. තවමත් මගේ ළඟ තියෙනවා ඒ ඔරලෝසුව.

 

උපන්දිනය වෙනුවෙන් විශේෂම උත්සවයක් තිබුණා මතකයක් තියෙනවද?

මහා උත්කර්ශවත් විදියට සමරලා නැහැ. මීට අවුරුදු දෙකකට පමණ පෙර ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් එකතුවෙලා මම වෙනුවෙන් උපන්දින උත්සවයක් පවත්වලා තිබුණා. ඇත්තටම මම දැනගෙන හිටියෙත් නැහැ එතරම් පිරිසක් එයි කියලා. ඉතින් ඒ උපන්දිනය සමරලා කාලා, බීලා ඉතාම සතුටු වුණා.

ඒ වගේම මගේ 21 වැනි උපන්දිනය ජයට සැමරුවා. ඒ මම ක්ෂේත්‍රයට ආපු අලුත. නමුත් ඒ දවසෙ ක්ෂේත්‍රයේ අයට වඩා හිටියෙ මම රැකියාව කරන තැන යාළුවො. ඒ උපන්දිනයේ මතකය තවමත් තියෙනවා. තවත් සමරපු උපන්දින තිබුණා. නමුත් 21 වැනි උපන් දිනය මට ගොඩක් විශේෂයි.

 

ඔබ පිටරටවලින් නිළියෝ ලංකාවට හඳුන්වලා දීලා තියෙනවා රංගනය වෙනුවෙන්? ඔවුන්ගෙන් සුබ පැතුම් පත් තෑගි භෝග ලැබිලා නැද්ද?

සුබ පැතුම් එකතු කරලා තියෙනවා. මගේ උපන්දින තියෙන කාලෙදි ඔවුන්ගෙන් සමහරු ලංකාවෙ ඉඳලා නැහැනෙ. ඉතින් ඒ නිසා එහෙම විශේෂයක් නම් නැහැ. නමුත් කතා කරලා සුබ පතනවා.

 

මෙදා සැරේ උපන්දිනය වෙනුවෙන් මොකද්ද කරන්න ඉන්නෙ? සැලසුමක් නැද්ද?

ලොකු සැලසුමක් නම් නැහැ. සමහර අවුරුදුවල සමරනවා. සමහර අවුරුදුවල නැහැ. සමහර වෙලාවට මම උපන්දිනය වෙනුවෙන් වෙන් කරගෙන ඉන්න මුදල් වෙනත් පිං වැඩක් වෙනුවෙන් යොදවන මොහොතවල් තියෙනවා. මොකද මගේ පෞද්ගලික සතුටට වඩා තව කෙනෙක්ගෙ සතුට ලොකුයි කියලා මට හිතෙන්නෙ. මීට පෙරත් අනාථ නිවාස, වැඩිහිටි නිවාසවලට දාන දීලා තියෙනවා.

ඒ වගේම ළඟ පාත අසරණ පවුල්වලට පිහිටවෙන වෙලාවල් තියෙනවා. උපන්දිනයට වෙන් කරපු මුදල් ඔවුන් වෙනුවෙන් ලබාදීලත් තියෙනවා. මෙදා සැරෙත් එහෙම දෙයක් සිදුවෙයි. කාව හරි සතුටු කරන්න පුළුවන් නම් ඒක පිනක්. ඒ දේ කරලා සමහරවිට මගෙ යාළුවෝ එක්ක එකතුවෙලා මොනවා හරි දෙයක් කරයි.

 

ධනු විජේරත්න

සිතුවම: සමන් කළුබෝවිල

20200813Channa-(1)  20200813Channa-(4)