දරුවන්ටත් එයාලගේම ලෝකයක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චතුරිකා පීරිස් කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ පුංචි තිරයෙන් සහ රිදී තිරයෙන් ආදරණීය පෙම්වතිය ලෙස අදටත් ජනතා ආදරයට පාත්‍රවන රංගන තාරකාවියක්. වසර ගණනාවක් පුරා චරිතාංග නිළියක් ලෙස නිර්මාණ තුළින් වගේම පෞද්ගලික ජීවිතෙන් නිරතුරුවම පුවත් මවන්නියක් ලෙසත් ඇයව අපට හඳුන්වා දෙන්න පුළුවන්. කොහොම වුණත් ඇය මීට මාස කිහිපයකට ඉහතදී උතුම් මව්පදවියට උරුමකම් කියන්නටත් වාසනාව ලැබුණා. රංගන ශිල්පිනියක් වගේම කාර්යබහුල මවක් ලෙස ආරාධනා පුංචි දියණිය එක්ක ගෙවන ජීවිතේ සහ රංගන ජීවිතේ ගැන ඇය අපට කිව්වේ මේ විදිහට.

 

මේ දිනවල හිරු TV ඔස්සේ විකාශනය වන ‘‘අකුරු මැකී නෑ’’ ටෙලිනාට්‍ය තුළින් ආදරණීය මවකගේ චරිතයකින් චතුරිකාව මුණගැහෙන්නේ බොහොම කාලෙකට පස්සේ. කොහොමද ‘‘පාරමීට’’ ලැබෙන ප්‍රතිචාර?

අකුරු මැකී නෑ පිටපත මම භාරගත්තේ හරිම කැමත්තෙන්. ඒ වගේම පාරමී කියන්නේ මම බොහොම කාලෙකට පස්සේ හරිම ආසාවෙන් කරන චරිතයක්. ඇත්තටම මේ කතාව දිගහැරෙන්නේ කාලෝචිත මාතෘකාවක් ඇතුලේ. මේ දරුවෝ එක්ක වැඩ කරද්දි මට මතක් වෙන්නේ මගේ පුංචි කාලේ. ඒ වගේ කාලයක් දැන් දරුවන්ට ලැබෙන්නේ නැහැ. මේ පිටපත කියෙව්වම දරුවන්ටත් එයාලාගෙම ලෝකයක් තියෙනවා නේද කියලා හිතුනා. මේ නිර්මාණය මව්පිය ගුරුවරුන්ට දරුවන් ගැන දෙපාරක් හිතන්න හොඳ අවස්ථාවක් විදිහට මම දකිනවා.

 

දැන් දුවක් විතරක් නෙමෙයි පුතාලා දෙන්නෙකුගෙත් අම්මා කෙනෙක්නේ?

අනේ ඒ පුතාලා දෙන්නා අම්මේ අම්මේ කිය කිය මගේ පස්සෙන්මයි. චූටි පුතා නම් හරිම දඟමල්ල. එයාගේ දඟ වැඩවලට මාවත් හවුල් කරගෙන අන්තිමට දෙන්නම බැනුම් අහනවා. රූගත කිරීම්වලට ගියාම ඒ පුතාලා දෙන්නා ගයාන් අයියාගෙ කරේමයි. අකුරු මැකී නෑ රූගත කිරීම්වලට ගියාම දවස යනවා දැනෙන්නේ නැහැ.

 

ඒ අද්දැකීම කොහොමද චතුරිකාට දැනෙන්නේ?

මුලින්ම කියන්න ඕන මීට පෙර ගයාන් අයියයි මායි පෙම්වතුන් ලෙස එකට රඟපාලා තිබුණට මව්පියන් විදිහට රඟපාන පළමු අවස්ථාව මේක. මට මතකයි මම ක්ෂේත්‍රයට ආපු අලුත ටෙලි නාට්‍යයක දරුවෝ හතර දෙනෙකුගේ අම්මා කෙනෙකුගේ චරිතයක් රඟපෑවා. මව්වරුන්ගේ චරිත ගණනාවක් කරලා තියෙනවා. ඒත් මම එද‌ා ඒවා කළේ අත්දැකීමක් සැබෑවටම හැඟීමක් නැතුව. අද මම ඒ මවගේ චරිතය සැබෑවට දැනෙනවා.

මොකද මවක් කියන හැඟීම්, අද්දැකීම් මම සැබෑවටම අත්විඳින්නේ දැන් අකුරු මැකී නෑ ටෙලි නාට්‍යයේ පාරමී කියන චරිතයේ. ගොඩක් තැන් මගේ ජීවිතේට දැනෙනවා වැඩියි. සමහර දර්ශනවලදි චරිතය කරද්දි ගයාන් අයියා දරුවන්ට සැරවැර කරනකොට, ගහනකොට මගේ ඇස්වලට ඇත්තටම කඳුළු එනවා. පාරමී කියන්නේ හොඳ පුතෙකුගේ සහ දඟ පුතෙකුගේ ආදරණීයම අම්මා කෙනෙක්. පාරමී තමන්ගේ දරුවෝ දිහා ඒ දඟ වැඩ දිහා බලන්නේ හරිම ආදරෙන් සුන්දර විදිහට.

 

මේ චතුරිකා මවක් වුණාට පස්සේ රඟපාන පළමු නිර්මාණයද?

නැහැ. දුව ලැබිලා දවස් ද‌ාහතරකට පස්සේ මට අතරමඟ හතර වෙලා තිබුණු නිර්මාණයක වැඩ අවසන් කරන්න ද‌ායක වෙන්න වුණා. දරුවා ලැබිලා දින 14 ක් කියන්නේ බොහොම වෙහෙසකාරී දින කිහිපයක්. ඒත් මව දුවවත් අරගෙනම එක රෑනේ කුරුල්ලෝ රූගත කිරීම්වලට ගිහින් ඒ වැඩේට ද‌ායක වුණා. ඊට පස්සේ තමයි මේ වැඩේ එක්ක ද‌ායක වෙන්න ලැබුනේ.

 

දුවගේ වැඩ කටයුතුත් එක්ක කොහොමද කලා කටයුතුවලට කාලය වෙන්කරගන්නේ?

දූ පැටියා බලාගන්න අපට විශ්වාසවන්තම කෙනෙක් ඉන්නවා. එයාට දුව ගොඩක්ම හුරුයි. ඒ වගේම ‘‘අකුරු මැකී නෑ’’ නිශ්පාදන කණ්ඩායම මට ලොකු සහයෝගයක් දෙනවා. කාල වේලාව මට පහසු වෙන විදිහට දීලා තියෙනවා. ද‌ාලා යන්න ලෝබයි. උදේට ගයාන් අයියයි මායි ගෙදරින් පිට වෙනකොට විනාඩියක් විතර අඬනවා. දුකයි ඉතින් මොනවා කරන්නද වැඩ ඉවර වුණු ගමන් අපි දෙන්නා ගෙදර එනවා නෙමෙයි ගෙදරට ඉගිල්ලෙනවා.

(චතුරිකා අපි එක්ක කතා කරන අතරතුරේ ආරාධනා පැටියා පුංචි පුංචි බාධාවන් කළා)

‘‘අනේ නංගි පොඩ්ඩක් ඉන්න’’

පේනවනේ චූරු චුරුවමයි කොයි වෙලාවෙත්. උදේ 8 ට ගෙදරින් ගියහම රැ 8 විතර වෙනවා ගෙදර එනකොට. දවසම ළඟ නෑනේ ඉන්න දවසට ඉතින් හෙල්ලෙන්න දෙන්නේ නැහැ. චුට්ටා ලොකු වෙනකම් ඉතින් පුළුවන් විදිහට කලා කටයුතුවලට දායක වෙනවා.

 

චතුරිකාට යම් දිනයක දුව වෙනුවෙන් රඟපෑමෙන් ඉවත් වෙන්න වුනොත්?

අපේ අම්මලත් දරුවෝ ලැබුණ කියලා එද‌ා රැකියාවලින් ඉවත් වුනේ නැහැ. හැමදේම සමබරව කරගෙන ගියා. අපෙන් විය යුතු යුතුකම්, වගකීම් වදයක් කියලා හිතුවොත් ඒ දේවල් කරන්න අමාරුයි. දුවගේ වැඩ ගෙදර වැඩ මම කවද‌ාවත් වදයක් සහ ඒ දේවල් මහා පීඩනයක් කරගෙන නැහැ. ගැහැණියක් වුණාම ඒ ඒ අවස්ථාවලට අපි මූණ දෙන්න ඕන. මට ඒ හැම දේම කළමනාකරණය කරගෙන යන්න උපරිම හැකියාව තියෙනවා.

 

ආරාධනා දූ වැඩිපුරම ආදරේ අම්මටද තාත්තටද?

වැඩිපුරම එයා ඉන්න කැමති අප්පච්චි එක්ක. මගේ ළඟට එන්නේ බඩගිනි වුණාමයි නිද‌ාගන්න ඕන වුණාමයි විතරයි. දැන් නම් පැටියා අප්පච්චිගේ ෆෝටෝ කොපියමයි. මම ‘‘බායි’’ කියද්දි අඬන්නේ නෑ. අප්පච්චි බායි කියද්දි ලතෝනි දීලා අඬනවා. එයා ගොඩක්ම ළැදි අප්පච්චිට.

 

අලුත් නිර්මාණ කටයුතුවලට ආරාධනා ලැබුණේ නැද්ද?

ප්‍රවීණ අධ්‍යක්ෂවරයකුගේ නිර්මානයකට ආරාධනා ලැබුණා. ඒත් තවම වැඩ ආරම්භ වුණේ නැහැ. ඒ වගේම පසුගිය කාලේ චිත්‍රපටයකටත් අපි දෙන්නම සූද‌ානමින් හිටියා. පවතින තත්ත්වයන් එක්ක චිත්‍රපටි කරාට පෙන්නගන්න බැහැ. ගයාන් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණ කරන්නේ. මේ තත්ත්වය මඟඇරුණම නැවත චිත්‍රපටියේ වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. පසුගිය කාලේ සිනමාවටත් ආරාධනා ලැබුණා. ඒත් මම භාර ගත්තේ නැහැ. තාම දුවට මාස 10 යි. එයාව ආහාර රටාවකට හුරු කරනකම් මට කාර්යබහුල වෙන්න බැහැ. ඒ නිසා සිනමාවේ අවස්ථා කිහිපයක්ම මඟඇරුණා.

 

චතුරිකාට නිළියක් විදිහට එද‌ා ලැබුණු ප්‍රේක්ෂක ආදරය, ඒ ඉල්ලුම අදටත් තියෙනවා කියලා හිතනවද?

මම මුලින්ම කලාවට එන්නේ 2002 දී. එද‌ා පුංචි තිරයේ පෙම්වතිය ලෙස ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. ඒත් මම ඒකාකාරී නාට්‍යවලට කැමති නැහැ. වෙනස් විවිධ වූ චරිත කරන්න මම කැමතියි. පරණ දෙබස්ම කිය කිය පෙම්වතිය වෙන්න මම කැමති නැහැ. දුව ඉපදුණාට පස්සේ ඒ හැඟීම ආවද දන්නෙත් නැහැ. කොහොමත් මට එද‌ා වගේම වැඩවලට ආරාධනා ලැබෙනවා. හැබැයි මට ලැබෙන හැමදේම බද‌ාගෙන කරන්න කැමති නැහැ.

 

නදීශා අතුකෝරළ

Sandella 16.indd Sandella 16.indd Sandella 16.indd