‘බඹරු ඇවිත්’ ප්‍රංශෙටත් ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200820Siril-(3)

ශ්‍රී ලාංකීය සිනමාව ලෝක සිනමාවට ගෙන ගිය අපූරු ජයග්‍රහණයක් පිළිබඳව පසුගියද‌ා අපට අසන්නට ලැබුණා. ලොව අග්‍රගණ්‍ය සිනමා උළෙලක් වන ප්‍රංශයෙ ‘කෑන්ස් සිනමා උළෙලේ’ මෙවර සංරක්ෂිත කලාත්මක චිත්‍රපට දැක්ම සඳහා ලොව බිහිවූ විශිෂ්ඨතම චිත්‍රපට 25 තෝරාගෙන ඇති අතර එයට ශ්‍රී ලංකාවේ ආචාර්ය ධර්මසේන පතිරාජයන් අධ්‍යක්ෂණය කළ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටය තේරීපත් වීම ශ්‍රී ලාංකීය සිනමාව මෙතෙක් පත්ව ඇති ඉහළම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. ඒ වගේම මෙරට තිරගත වූ චිත්‍රපටයක් වසර 42 කට පසුව නැවත ලොවම කතා බහට ලක්වීම සහ එයට ඉහළ පිළිගැනීමකින් යුතුව සංරක්ෂණය කිරීම මෙරට සිනමා ඉතිහාසයේ තවත් සුවිශේෂි සිදුවීමකි.

බඹරු ඇවිත් චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, සිරිල් වික්‍රමගේ, අමරසිරි කලංසූරිය, ඩබ්ලිව්. ජයසිරි, රූබී ද මෙල්, විමල් කුමාර කොස්තා, සෝමසිරි දෙහිපිටිය, පියසේන අහංගම, දයා තෙන්නකෝන් ඇතුළු නළු නිළියන් රැසක් ප්‍රේක්ෂක හදවත් වල ගැඹුරු තැන් ස්පර්ශ කරමින් භාවපූර්ණ රංගනයන්ගෙන් සිනමාගාරය එද‌ා අමන්ද‌ානන්දයට පත් කළා මේ චරිත අතුරින් අද ජීවත්ව සිටින්නේ සිව් දෙනෙකු පමණී.  ලාංකීය සිනමාව ලෝක සිනමාවේ වාර්තා පොතට ගෙන ගිය ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ බේබි මහත්තයා, ඇන්ටන්, වීරසේන. ෆැන්සිස්, සනත් අද එයාලගේ ලෝකෙක ඉඳන් මේ දිහා බලාගෙන ඇති. වසර 42 කට පෙර බඹරු ඇවිත් මතකාවර්ජනයට චිත්‍රපටයේ ‘සිරිල්ව’ සොයාගෙන ගියා අපි කලාපුරේට. තම තමන්ගේ ජීවිත ඇතුළේ ඔහුට ආදරේ කරන රසික පරම්පරාවක් අදටත් ඉන්නවා. බඹරු ඇවිත් කියන්නේ සිනමාත්මක පැත්තෙන් ඔහුගේ ජීවිතයේ විශිෂ්ට කඩඉමක්. මේ ඒ වියපත් බඹරා, ප්‍රතිභාපූර්ණ සිනමාවේ ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පී සිරිල් වික්‍රමගේ මහතා

 

ඔබත් මාත් උපදින්නේ පිහිනන්නේ එකම මුහුදක. ඔබත් මාත් මිය යන්නේ එකම වෙරළක වැල්ලක. ඒ අපූර්ව වූ තේමා පාඨයෙන් සිනමා රසිකයින් අවදි කළ බඹරු ඇවිත් චිත්‍රපටයෙන් එද‌ා ප්‍රේක්ෂකයන් වශී කළ ‘සිරිල්ගේ’ මතකයට ආපසු හැරෙමු ද?

‘බඹරු ඇවිත්’ චිත්‍රපටය ගැන කතා කරද්දී මට මතක් වෙන්නේ ලංකාදීප ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී P.B. ඉලංගසිංහ මහතාගේ තලකොටුවේ තිබුණු චමරිය. කුසලතා පූර්ණ මිනිහෙකුට ඉස්සරහට යන්න තල්ලුව ලැබුණ තැන තමයි P.B ගේ නිවසේ තිබුණු චමරිය.

ඉස්සර හැමද‌ාම මේ චමරියට යාළුවෝ හිතමිත්‍රයෝ එකතු වෙනවා. වික්ටර් රත්නායක, විජය කුමාරතුංග, මම, ඩබ්ලිව්. ජයසිරි, දයා තෙන්නකෝන්, සෝමසිරි දෙහිපිටිය, පතිරාජ, ජෝ අබේවික්‍රම, පියසේන අහංගම. විමල් කුමාර කොස්තා හරියට විශ්ව විද්‍යාලයක් වගේ. හැම කෙනාටම ඉස්සරහට යන්න තල්ලුවක් ලැබුණා මිසක්, අපි කවුරුත් එකිනෙකාට කවද‌ාවත් කුහකකම් කරගත්තේ නෑ.

 බඹරු ඇවිත් කියන්නේ මගේ හත්වැනි චිත්‍රපටය. පතී ඉතින් මගේ හොඳ ගජ මිත්‍රයෙක්. අපේ සම්බන්ධය වැඩි වුණේ වේදිකාවෙන්. පතී කැලණිය විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය වෙලා කොළඹට ආවට පස්සේ අපේ හිතවත්කම් තවත් ළංවුණා. බඹරු ඇවිත් චිත්‍රපටයට කලින් පතීගේ ‘එයා දැන් ලොකු ළමයෙක්’ ටෙලි නාට්‍යයටත්‍් මම ද‌ායක වුණා.

 දවසක් තලකොටුවේ P.B. ගේ ගෙදරදී අපි මදුවිත ටිකක් තොලගාන වෙලාවට පතී මේ චිත්‍රපටය ගැන කියලා උඹට තියෙනවා චරිතයක්. ඒ තමයි බඹරු ඇවිත් චිත්‍රපටයේ ‘සිරිල්’ ගේ චරිතය මෙන්න පිටපත කියලා අතට දීලා පතී මට තහනමක් දැම්මා.

 

මොකක්ද ඒ?

චිත්‍රපටය ඉවර වෙනකම් උඹට මත්පැන් බීම තහනම්. රූගත කිරීම් ඉවර කරලා කට්ටිය හවසට බොනවා. මට විතරක් දෙන්නේ නෑ. පතීලා මත්පැන් ගන්න අතරතුරේ පතී මට හිනාවක් ද‌ානවා. උඹට පොඩ්ඩක් ඉඩ දුන්නම පිස්සු කෙලිනවනේ. උඹ පිස්සු කෙලියොත් මට උදේට යන්න වෙයි වැල්ලෙන් සිරිලෙක් හොයන්න. මචං උඹ ඔය කොහොඹ ගහක් යටට ගිහින් උඹේ චරිතේ මතක් කරගනින් කියා ඔහු කොක්හඬලා සිනාසෙනවා. මාස තුනක් බිව්වේ නෑ. චිත්‍රපටය ඉවර වෙලා මුලින්ම කළේ ජය සමරපු එක. අනේ ඉතින් දැන් මම වයසයිනේ ඒ රසබර මතකයේ බොහෝ තැන් දැන් මට අමතකයි.

1978 දැන් අවුරුදු 42 ක්. මේ චිත්‍රපටය අපි රූගත කළේ කල්පිටියේ ධීවර ගමක. කල්පිටිය තානායමේ තමයි අපි ඔක්කොටම නතර වෙන්න දුන්නේ. ඒක බොහොම පැරණි තානායමක්. කාමර 2 යි තිබුණේ. මාලනීටයි, රුබී ද මෙල් ගැහැණු දෙන්නට කාමර දෙක දීලා අපි නිද‌ාගත්තේ කොහොඹ ගස් යට. ඒ මාස තුන ගෙවුනා අපිට දැනුනෙවත් නෑ. ජෝට ගස් යට නිද‌ාගන්න එක හරි ගියේ නෑ. මදුරුවෙක් විදපු ගමන් හොඳවැයින් තුන හතරක් කියලා දුවනවා නේවි එකේ කෑම්ප් එකට නිද‌ාගන්න. කොහොඹ ගස් යට නිදාගෙන කල්පිටිය වාඩියේ ගතකරපු ජීවිතේ හරිම සුන්දරයි.

 

චිත්‍රපටයේ පසුබිම් පුවත?

මේ ඉතා දුෂ්කර පෙදෙසක පිහිටි මුහුදුබඩ ධීවර ගම්මානයක්. මේක හරිම සාමයෙන් පිරුණු ගමක්. තමන්ගේ පාඩුවේ ධීවර කර්මාන්තයෙන් ජීවන අරගලයේ යෙදෙමින් සිටි මේ ගමට එකපාරටම එනවා කඩවසම් රූපකායකින් හෙබි තරුණයෙක් එක්ක පිටගම්කාරයෝ ටිකක්. විජේ තමයි මේ කඩවසම් තරුණයා. ඒ උදවිය එන්නේ විස්කි, බ්‍රැන්ඩි, තුවක්කු, ගිනි අවි, නවීන ධීවර ආම්පන්න සහිතව. මේ ගැමි සංස්කෘතියට ආපු සංස්කෘතික ආක්‍රමණිකයන් නිසා මහා කෝලාහලයක් ඇති වෙනවා.

 

‘සිරිල්’ ඔබේ චරිතයේ මතකය කොයි වගේද?

සිරිල් ඒ ධීවර ගම්මානයේ ඉපිද එහිම වෙසෙන වැල්ලෙම දුක සැප වළඳන තරුණයෙක්. චිත්‍රපටයේ හෙලන් (මාලනී) තරුණිය සමඟ විවාහ ගිවිසගෙන සිටින සිරිල්ගේ අපේක්ෂාව හෙලන් සමඟ යහපත් පවුල් ජීවිතයක් ගත කරන එක. මේ චරිතය වටා ගොඩනැගෙන ධීවර ගම්මානයේ ගැටුම් ඇරඹෙන්නේ වික්ටර් හෙවත් බේබි මහත්තයා වැල්ලට පැමිණීමත් එක්ක.

 වික්ටර්ගේ ජීප් එක දකින කොටම ඇන්ටන් (ජෝ) කෑ ගහනවා.

‘සිද‌ාදියේ එවුන්ට මොන බිස්නස් ද මස්සිනා...’

‘තෙරේසා.... උඹලා පරිස්සම් වෙයල්ලා බඹරු ඇවිල්ලා බඹරු....’

 ඒ වගේ මේ චිත්‍රපටය පුරාම ඉතාම ලස්සන දෙබස් තිබුණා.... මේ චිත්‍රපටය කොයි තරම් මිනිස්සු අතරට ගියාද කියනවා නම් ඒ වසරේ ජෝට, මාලනීට මට දයාට, පතීට ඩබ්ලිව්. ජයසිරිට සම්මාන පිට සම්මාන ලැබුණා.

 පතීගේ වියෝව මට අදටත් දරාගන්න බැරි වේදනාවක්. ඔහු වගේ දක්ෂයෙක් නැවත මේ මිහිපිට ඉපදෙන එකක් නෑ. බඹරු ඇවිත් චිත්‍රපටය කරාට පස්සේ පතී අතිශය ජනප්‍රිය වුණා. සෑම සම්මාන උළෙලකදිම සම්මාන ලැබුවා. බඹරු ඇවිත් කියන්නේ මගේ සිනමා ගමනෙත් සුවිශේෂ වූ සන්ධිස්ථානයක්.

 මේ සිනමා කෘතිය මුළුමනින්ම ගොඩ නැගුනේ සමකාලීන දේශපාලන කතිකාවක් ගොඩ නැගීම සඳහා 1977 න් පසුව බිහි වූ ධනවාදී දේශපාලන සමාජ ක්‍රමය පිළිබඳ දේශපාලන කතාබහක් ගොඩ නැගීමට. පතීගේ සිනමා දෘෂ්ඨියේ තිබූ ඒ සමකාලීන සමාජ යථාර්ථය මෙන්ම දේශපාලන දැක්මක් සහිත සිනමාවක අවශ්‍යතාව ඔහු පැහැදිලි කර දුන්නේ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටය හරහා. සමාජයක් තුළ තිබුණු නිහඬ බියකරු හුදකලාව ධර්මසේන පතිරාජයන් බඹරු ඇවිත් සිනමාව හරහා ඉතා විශිෂ්ඨ ලෙස ගොනුකර තිබුණා.

 

උදුම්බරා හිනැහෙනවා සිංහල චිත්‍රපට ගීත කලාවේ ඉහළින්ම ඉන්න ගීතයක්. අපිට කේමද‌ාසයන්ගේ සංගීතය ගැන කතා නොකරම බැහැ.

‘බඹරු ඇවිත් චිත්‍රපටයේ සංගීතය ‘උදුම්බරා හිනැහෙනවා’ කේමද‌ාසයන්ගේ අද්විතීය නිමැවුමක් ලෙස මම දකිනවා.

 උදුම්බරා හිනැහෙනවා

ඉර අඳුරට හැංගෙනවා

දස දහසක් සම් මස් ඇට

සිනා කඳුළු වැහි වැහැලා

ගිහි රත්වුණු දවසක

සැනසෙන එක හැන්දෑවක

උදුම්බරා හිනැහෙනවා.....

මේ සින්දුව ලිව්වේ ඩබ්ලිව් ජයසිරි. දැන් නළුවා වුණාට ඒ කාලේ ලියන්න හරි දක්ෂයා. පතී ඩබ්ලිව්. ජයසිරිට සින්දුවක් ලියන්න කිව්වම ඌ කට්ටි පැන පැන හිටියා.

තලකොටුවේ P.B. ගේ චමරියට සෙට් වුන දවසක ඩබ්ලිව්. ජයසිරිව කාමරේකට ද‌ාලා දොරවැහුවා.

 ‘උඹ මේක ලියාගෙන මිසක් එළියට යන්න බෑ කියලා පතී කිව්වා. ඒ විදිහට තමයි උදුම්බරා ලියැවුණේ වසන්ත ඔබේසේකර, පතීලා, කේමද‌ාස මාස්ටර්ලා, නැති පාඩුව කියලා නිම කරන්න බෑ. ඇත්තටම වර්තමානයේ සිනමාව තේරුම් ගන්න මිනිස්සු නෑ. සිනමාව හා ප්‍රේක්ෂකයා අතර එද‌ා බැඳීමක් තිබුණා. නිහතමානීකම කියන දේ අද කලා පරපුරේ හරිම අඩුයි. කලාවට යුතුකම් ඉටුකරපු පිරිසක් එද‌ා හිටියා. මමත් කලාවට යුතුකම් ඉටුකරලා තියෙනවා. ඒ නිසා කිසිම දුකක් නෑ. හැම අධ්‍යක්ෂවරයෙක්ම මගෙන් හොඳ වැඩ ටිකක් ගත්තා. ඒත් ලෙස්ටර්ගේ චිත්‍රපටයක රඟපාන්න බැරි වුණා. එතුමා මාව ගන්න අවස්ථා කිහිපයකදීම උත්සාහ ගත්තා ඒත් කිසියම් අතරමැදියෙකු නිසා ඒ අවස්ථාව මට අහිමි වුණා.

 

සම්මාන රැසකට පාත්‍රවුණු ඔබ චරිතාංග නළුවෙක් විදිහට ප්‍රියකරන චරිතයක් තියෙනවද?

මම නිතරම තෝරාගන්නේ මට කරන්න පුළුවන් චරිත. දවසක් ධර්මසිරි බණ්ඩාරනායක මට කතා කරලා කිව්වා සුද්දිලාගේ කතාවේ රොමියෙල් මිනීමරුවකුගේ චරිතයක් තියෙනවා මේක ඔයා කරන්න කියලා මේක විජේට දෙන්න බෑ. විජේ ලස්සන වැඩියි කිව්වා. මම අභියෝගය භාර අරගෙන ඒ චරිතයට අමුතුම අර්ථකතනයක් දුන්නා. මට සම්මාන පවා ලැබුණා. මම කවද‌ාවත් බැරි දේවල් භාරගන්නේ නැහැ. ඒ වගේම මම කරපු කිසිම චරිතයක් ප්‍රේක්ෂකයා අතර ප්‍රතික්ෂේප වෙලා නෑ.

‘දැන් මට 88 ක්. ඉස්සර වගේ දැන් ජවය නැ. ජවය තියෙන කාලේ හොඳට වැඩ කළා. හොඳ නිර්මාණ වලට කතා කරනවා. ඒත් මම භාරගන්නේ නෑ. දැන් අපේ කාලේ ඉවරයි. අන්තිමටම මම රඟපෑවේ ‘බන්ධනය’ චිත්‍රපටයේ.

 

ඔබේ ජීවිතේ ඇතුළේ තක්සේරුවක්  දෙන්න පුළුවන් චිත්‍රපටයක් තියෙනව ද?

 කවද‌ාවත් සම්මාන කියන දේවල් මම බලාපොරාත්තු වුණ කෙනෙක් නෙමෙයි. සහ මම සම්මාන බලාගෙන රඟපාපු කෙනෙකුත් නෙමෙයි. හැබැයි සත්සමුදුර චිත්‍රපටයේ මට හොඳම නළුවා සම්මාන ලැබිය යුතුයි කියලා බොහෝ දෙනා කිව්වා. හැබැයි ඒක ලැබුණේ ගාමිණී ෆොන්සේකාට. ඒ ගැන මට දුකක් නෑ. මගේ ගමන මම ආවා. අසාධාරණය කියන දේ මම සතපහකට එදත් ගණන් ගත්තේ නෑ. අදත් ගණන් ගන්නේ නෑ. දැන් මම ගෙදරට වෙලා සැඳෑ සමය ගත කරනවා. දරු මුණුපුරෝ එක්ක. මගේ මිත්‍රයෝ ඉතින් දුරකථනයෙන් කතා කරනවා. කලං, ජයසිරි එහෙම. ඒ අය කතා කරලා පරණ සිද්ධි මතක් කරලා පැය ගණන් හිනා වෙනවා. ඒක තමයි දැනට මට තියෙන එකම සතුට.

 අද මේ බඹරු ඇවිත් චිත්‍රපටය රඟපාපු අයගෙන් ජීවත් වෙලා ඉන්නේ මමයි. කලං, ඩබ්ලිව්. ජයසිරි, මාලනී විතරයි. එච්.ඩී. සුනිල්, කේමද‌ාස, විමල් සෝමසිරි දයා, විජේ, ජෝ. රූබී ද මෙල්, පතී අනේ උඹලා අද හිටියා නම් කොච්චර සතුටු වේවිද.

සිරිල් නම් ඒ රංගන වේදියා සමුගන්න මත්තෙන් එසේ කීවේය.

‘ඔබට දීර්ඝායුෂ’ සැඳැල්ල අපි කලාපුරයෙන් සමුගතිමු.

 

නදීශා අතුකෝරල

20200820Siril-(2) 20200820Siril-(1)