සචිත් පීරිස් අයියාගේ ස්ටූඩියෝ එකේ වැඩ කරන්න ආසා හිතුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200826anushka-3

මියුසික් ප්‍රඩියුසර් කියන චරිතය ගැන සංගීතයට ලැදි පිරිස් කතා කරන්නේ ඉතා අඩුවෙන්. නමුත් ගායකයෙකුගේ ගීතයක් ජනප්‍රිය වෙන්න එහි සංගීතඥයාගේ කාර්යභාරය ඉතා වැදගත් වනවා. තරුණ සංගීතඥයෙක් වන අනුෂ්කව සාරවිට කතාබහකට එකතු කරගන්න හිතුවේ වර්තමාන සංගීත ක්ෂේත්‍රයට ඔහු විශාල මෙහෙයක් ඉටු කරන නිසා.

ඔබ ගැන විස්තර කිව්වොත්?

මගේ නම අනුෂ්ක දසනායක. මියුසික් ප්‍රඩියුසර් කෙනෙක් විදිහට, ගායකයෙක් විදිහට කටයුතු කරනවා.

ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

ඒක ටිකක් දිග කතාවක්. මම පාසල් කාලේදී ලොකුවට සංගීතය හදාරලා නැහැ. මම 2010දි කොළඹ එනවා මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාවක් හදාරන්න. එතනදි මට හම්බෙන යාළුවෙක් එක්ක අපි E tunes කියලා සංගීත කණ්ඩායමක් පටන්ගන්නවා. ඔහොම ඉද්දි මට තව යාළුවෙක් හරහා සචිත් පීරිස්ව හම්බෙනවා. ඒ වෙද්දි සචිත් පීරිස්ගේ ස්ටූඩියෝ එකට කී බෝඩ් ප්ලේයර් කෙනෙක් හොය හොය හිටියා. මම මගේ යාළුවා හරහා සචිත් අයියාගේ ස්ටුඩියෝ එකට සම්බන්ධ වෙනවා. ඒත් මට කී බෝඩ් ගහන්න බැහැ. මට ඒ වෙලාවේ ඕනේ වුණේ සචිත් අයියත් එක්ක වැඩ කරන්න. මට ඒ ස්ටූඩියෝ එකේ වැඩ කරන්න ආසාවක් ඇති වුණා. කොහොමහරි සචිත් අයියා මට එයාගේ සින්දුවකට කී බෝඩ් ගහන්න දුන්නා. ඒත් මට එතනදි ඒක ප්ලේ කරන්න බැරි වුණා. එයා මට වැඩ දෙක තුනක් ගෙදර ගිහින් කරලා දෙන්න කිව්වාම ෆන්කි ඩයට්ස්ලගේ ශෙනාල් අයියාට කියලා මම වැඩ දෙක කරවගත්තා. කොහොමහරි සචිත් අයියා මට ස්ටූඩියෝ වැඩ කරන්න කතා කළා. ඒ ගිහින් අවුරුද්දක් යන්නත් කලින් මට ස්ටූඩියෝ එකේ හැම වැඩක්ම කරන්න පුළුවන් වුණා. මම අවුරුදු කිහිපයක්ම සචිත් අයියාගේ ස්ටූඩියෝ එකේ වැඩ කරා.

20200826anushka-4

ඊටපස්සේ?

2015 වගේ වෙද්දි මම මගේම මියුසික් ස්ටූඩියෝ එකක් පටන්ගන්නවා. ඒ තමයි තීව්‍ර මියුසික් ස්ටූඩියෝ. මේ වෙද්දි ටීවි කමර්ෂල්, මියුසික් ප්‍රඩියුසින් ඇතුළු වැඩ ගොඩක් කරලා තිබෙනවා.

ගායකයෙක් විදිහට එළියට එන්නේ?

ඇත්තටම මම ගොඩක්ම ගීත ගායනා කරලා නැහැ. ගොඩක් අය මාව හඳුනාගත්තේ 'මගේ කෙල්ලට කොල්ලෙක්' කියන ගීතය හරහායි. එතකොට 'හැමදේම වෙන්නේ හොඳටයි' කියන ගීතයත් ඉතා ජනප්‍රිය වුණා. ඊට අමතරව චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ ගීතයක් කරා. එතකොට සහේලි ගමගේ එක්ක කරපු නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී එන්න තිබෙනවා.

ගමේ ඉඳලා කොළඹට ආවම මෘදුකාංග ඉංජිනේරු සිහිනයට මොකද වුණේ?

ඇත්තටම මියුසික්වලට එකතු වුණාට පස්සේ ඒක ඒ එහෙම්මම යට ගියා. මම ඇත්තටම කොළඹ එන්නේ දෙවැනි පාරට උසස් පෙළ ලියන්න කියලා ගෙදරින් බල කරපු නිසා. එහෙම නැතුව මම ආසාවෙන් ආපු ගමනක් නෙවෙයි ඒ. හැබැයි මියුසික්වලට සම්බන්ධ වුණාට පස්සේ ඒක මම හරි ආසාවෙන් කරන්න ගත්තා.

මියුසික් ප්‍රඩියුසර් කියන චරිතය මොන වගේ චරිතයක්ද?

ගොඩක් අය කියන්නේ අපි කරන්නේ කම්පියුටර් මියුසික් කියලා. ඇත්තටම එහෙම දෙයක් නැහැ. මියුසික් ගැන දැනුමක් නැතුව, ඉන්ස්ට්‍රෘමන්ට් ප්ලේ කරන්නේ නැතුව කම්පියුටරෙන් ඔටෝ මියුසික් හැදෙන්නේ නැහැනේ. ස්ටූඩියෝ එක ඇතුළේ වාඩිවෙලා අපි ලොකු දෙයක් කරනවා. ලොකු වැඩක් කරනවා. සමහර ට්‍රැක් හදන්න අපිට දවස් ගණන් කාලය යනවා.

ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

ජාත්‍යයන්තරයට ගෙනියන්න පුළුවන් නිර්මාණ කරන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. විශේෂයෙන් මම ආසයි විදේශීය ශිල්පීන් සමග වැඩ කරන්න. ගිය අවුරුද්දේ ඉන්දියානු ගායකයෙක්ගේ ගීත ඇල්මයක්ම මම සම්පූර්ණයෙන් මියුසික් කරා.

විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ අයට. එතකොට සචිත් පීරිස් අයියාව මතක් කරන්න ඕනේ. එයා නිසා තමයි අද මම මෙතන ඉන්නේ. මට යාළුවෝ ටික දෙනයි ඉන්නේ. ඒ අය මට ගොඩක් උදව් කරනවා. ඒ අයවත් මතක් කරනවා.

කැළුම් දේවින්ද

20200826anushka-1