උදේට පන්සලට දානයක් හවසට යාචකයන්ට බත් පැකට්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200903Arjuna-(4)මෙවර ‘සුබ උපන් දිනක්’ විශේෂාංගයෙන් සඳැල්ල සමඟ එකතුවෙන්නේ ප්‍රවීන රංගන ශිල්පී අර්ජුන් කමලනාත්.

 

අර්ජුන්ගෙ උපන්දිනය ගැන අම්මා, තාත්තා මොනවද කියලා තියෙන්නෙ?

මගේ උපන්දිනය සැප්තැම්බර් 10. එද‌ා අඟහරුවාද‌ා දවසක්, ඉතින් මාව ලැබෙන්න ඉද්දි අම්මාට ගොඩක් අමාරු වෙලා තියෙනවා. අම්මා මැරෙන්නම ගිහින් තමයි බේරිලා තියෙන්නෙ. මොකද මම ඉපදෙන කොටත් දරුවෙක් ලැබෙන්න ඕනා ප්‍රමාණයට වඩා ගොඩක් වැඩිලා. ඉතින් මාව සිසේරියන් සැත්කමකින් අරන් තියෙන්නෙත්. ඇත්තටම වෛද්‍යවරයාත් කියලා තියෙනවා මගේ වාසනාවට තමයි අම්මා බේරිලා තියෙන්නෙ කියලා. ඒ අමාරු වුණ නිසා තමයි එතැනින් එහාට දරුවො ගැන හිතලාත් නැත්තෙ. ඒකනෙ මම එකම දරුවා වෙලා ඉන්නෙ.

 

ඉතින් අම්මා බලාපොරොත්තු වෙලා තියෙන්නෙත් පුතෙක්වද?

එහෙම විශේෂයක් නැහැ. ඕනෑම කෙනෙක්ට කැමැත්තෙන් ඉඳලා තියෙන්නෙ.

 

පුංචි කාලෙ උපන්දින සැමරුම් ගැන මතකයක් තියෙනවද?

ලොකු මතකයක් නම් නැහැ. පුංචිම කාලෙදි සැමරුම් තිබිලා තියෙනවා. උපන්දිනවලට අපේ නෑදෑයො එකතුවෙලා කේක් එහෙම කපලා තියෙනවා. නමුත් එද‌ා ඉඳන්ම විශේෂයෙන් කරපු දෙයක් තමයි උදේ කිරිබතක් එහෙම හදලා පන්සලට ද‌ානයක් දුන්නා. ඒ වගේම දවල් දානෙත් පන්සලට අරන් යනවා. ඒ ගිහින් හාමුදුරුවන්ට කියලා පිරිත් නූලක් ගැටගහගෙන එනවා. ඒ දේ පුරුද්දක් විදියට කරපු දෙයක්. ලොකු සාද පැවැත්වීම් නම් කරලා නැහැ. අද නම් ඉතින් ගොඩක් වියදම් කරලා සාද පැවැත්වීම විලාසිතාවක් වෙලානෙ. නමුත් මම නම් ඒ දේවල්වලට කැමති කෙනෙක් නෙමෙයි.

 

පාසල් යන කාලෙ මතකය?

මුලින් මම පාසල් ගියේ ගල්කිස්සෙ ලලිත් ඇතුළත්මුදලි විද්‍යාලයට. ඉන් පසුව 5 වසර ශිෂ්‍යත්වයෙන් සමත්වෙලා මොරටුව වේල්ස්කුමර විද්‍යාලයට ගියා. ඒ පාසල් දෙකේදි ඉතින් පුංචිම කාලෙදි වගේ කේක් එකක් එහෙම කපලා තියෙනවා. ඒත්  ලොකු සැමරුම් නම් නැහැ. නමුත් මගේ 21 වැනි උපන්දිනය නම් පොඩි සැමරුමක් තිබුණා මගෙ යාළුවො කිහිප දෙනෙකුත් පවුලෙ ඥ‌ාතින් පිරිසකුත් එකතු කරගෙන ඊට අමතරව නම් ඉතින් එහෙම ලොකු සාදයක් ජීවිතේට මම පවත්වලා නැහැ.

 

පාසල් කාලෙන් පස්සෙ සැර පාටි එහෙම නැද්ද?

මම ජීවිතේට වයින්. බියර් කිසිම දෙයක් පානය කරලා නැහැ. අපේ පවුලෙ අයත් එහෙමයි. මාංශ අනුභව කරන්නෙත් නැහැ. ඒ නිසා මගේ ළඟ සැර පාටි නැහැ. මගෙ යාළුවොත් ගොඩක් ඉන්නෙ බොන අය නෙමෙයි. ඒ නිසා ඉතින් ඒ පාටිනම් කව්රුත් ඉල්ලන්නෙත් නැහැ.

 

නමුත් අමීෂානම් අර්ජුන්ව සර්ප්‍රයිස් කරලා ඇති?

ඔව්, අපි දෙන්නාගෙ විවාහයෙන් පසුවනම් ඇය එක එක විදියෙ සාද පවත්වනවා. නමුත් මගෙ නම් ලොකු කැමැත්තක් නැහැ. එක් වතාවක මම උදේ දානෙ දීලා ඒ වැඩ කටයුතු අවසන් කරලා පොඩි වැඩ කටයුත්තකට එළියට ගිහින් එද්දි ගෙදර සරසලා එහෙම මගෙ යාළුවො කිහිප දෙනෙකුටත් ආරාධනා කරලා සාදයක් ලෑස්ති කරලා තිබුණා. ඉතින් වෙලාවකට තරහකුත් ඇතිවෙනවා ඒ දේවල්වලදි. මොකද මැරිලා මැරිලා ගෙදර එද්දි මේ දේවල් වුණාම. නමුත් ඉතින් ඇයගෙ කැමැත්තනෙ කියලා සතුටු වුණා. මොකද කාන්තා පාර්ශවයනෙ ඒ දේවල්වලට වැඩිපුර කැමති.

මට නම් හිතෙන්නෙ අපිට මේ ලෝකෙ ඉන්න තවත් එක අවුරුද්දක් අඩුවුණා කියන දේ. මොකද යන තැනකට යන්න තවත් අවුරුද්දක්නෙ ළං වෙන්නෙ. ඉතින් මේ විදියෙ දෙයක්වත් සිදුවෙන්නෙ අමීෂා නිසා තමයි. නැත්නම් මම කරන්නෙ නැති බැරි කෙනෙකුට යම් විදියකට පිහිටවෙලා දානයක් දීලා යාචකයන්ට බත් පැකට් ටිකක් ලබාදීම තමයි. අමීෂාගෙයි මගෙයි විවාහයෙන් පස්සෙ අපි ඒ ලබාදෙන දානමය පිංකම් දෙන්නගෙම උපන්දින එකතු කරලා ලබාදෙන්නෙ. මොකද මම සැප්තැම්බර් 10, ඇය සැප්තැම්බර් 20, ඉතින් දැන් කරන දෙයක් අපි එකට එක්ව තමයි කරන්නෙ. උදෙන්ම පන්සල් ගිහින් ඒ දේට ප්‍රමුඛත්වය ලබාදෙනවා. ඉන්පසුව තමයි අමීෂාගෙ කාන්තා පාර්ශවයේ යාළුවො ටිකක් මගෙ යාළුවො දෙතුන් දෙනෙක් එකතුවෙලා ඉඩක් ලැබුණොත් රාත්‍රී කෑමකට එළියට යන්නෙ.

 

තෑගි භෝග සුබපැතුම් බොහොමයක් එකතු වෙනවා ඇති?

තෑගි භෝග නම් ලොකුවට ලැබෙන්නෙ නැහැ. දැන් ඉතින් අපි පොඩි ළමයිනුත් නෙවෙයිනෙ. ඉතින් නෑදෑයො, හිත මිතුරන් කතා කරලා  සුබ පතනවා. ඊට අමතරව ඉතින් සුබපැතුම් පත් ලිපි එහෙමත් ලැබෙනවා. FB එකෙන් සුබ පතනවා. සමහර වෙලාවට ඉතින් ගෙදරට කේක්, මල් පොකුරු වගේ දේවල් ලැබිලත් තියෙනවා. ඒ ඇර විශේෂයක් නම් නැහැ.

 

මෙවර උපන්දිනය වෙනුවෙන් සැලසුමක් නැද්ද?

උදේ පෙර පරිදිම දානයක් දීලා හවස යාචකයන්ට බත් පැකට් ටිකක් දෙන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඒ අර විශේෂ සැලසුම් නැහැ.

 

ධනු විජේරත්න

20200903Arjuna-(1) 20200903Arjuna-(2)