ලංකාවටම ඉන්නෙ ‘මද්දලේ’ පුරුදු තුන්දෙනයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

භාරත දේශයෙන් අපට උරුම වූ මද්දලය දෙමළ බෙරය නමින් ජනප්‍රවාදයේ  පවතී. නාටක සහ නාඩගම් සම්ප්‍රදායේ ජීවය රඳා පවතින්නේ මද්දල් වාදනය තුළ බව පැරණි බෙර වාදකයන්ගේ මතයයි.

ලංකාවේ මද්දලය වාද්‍ය භාණ්ඩය වැයීමෙහි දක්ෂතා දැක්වූ ශිල්පී පරපුරෙන් අද ජීවතුන් අතර ඇත්තේ අතළොස්සකි.

ඒ අතර පාරම්පරිකව වාදනය කරන වාද්‍ය ශිල්පීන් දෙදෙනෙක් සහ අධ්‍යයනයක යෙදෙමින් වාදනය කරන එක ශිල්පියෙක්ද වෙයි.

භාවිතයෙන් බැහැරවන මද්දලය පිළිබඳ අධ්‍යයනය කරමින් ඒ තුළින් පියවරින් පියවර ඉදිරියටම ආ නව පරපුරේ දක්ෂයෙක් අපට හමුවුණා. ඒ සංජය ජයලත්.

ඇතුගල්පුරවරයෙන් බිහිවුණු මේ දක්ෂයා වෙනුවෙන් සඳැල්ලෙන් ඉඩක් වෙන් කරන්න හිතුවෙත් ඔහු ගැන කතා කරන්නට

 

ලංකාවේ මද්දලය වාද්‍ය භාණ්ඩය වාදනය කරන්න ඉන්න වාද්‍ය ශිල්පියො අතළොස්ස අතර සංජය එක් ශිල්පියෙක්?

ඔව්. ඇත්තටම පාරම්පරිකව වාදනය කරන ශිල්පීන් දෙදෙනෙක් ඉන්නේ. ඒ අතරට මද්දලය වාදනය කරන්න ඉගෙන ගත්ත කෙනෙක් විදියට මම ඉන්නවා. මේ වාද්‍ය භාණ්ඩය එතරම් ප්‍රචලිත නැහැ. නමුත් මම නාට්‍ය ක්ෂේත්‍රයේ වාද්‍ය ශිල්පියෙක් විදියට කටයුතු කරගෙන යන්නෙ මද්දලය වාදනයෙන්. 

 

ලංකාවේ මේ වාද්‍ය භාණ්ඩය ප්‍රචලිත නැහැ කියන්නෙ මේ වාද්‍ය භාණ්ඩයට ඉඩක් අපේ රටේ නැහැ කියන දේද?

මද්දලය කියන්නෙ මේ වෙද්දි වියැකී යන වාද්‍ය භාණ්ඩයක්. මේ දේ රැක ගන්න ඕනෑ. මගෙ එකම අරමුණ තමයි මේ භාණ්ඩ වාදනය ව්‍යාප්ත කරලා සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට ගෙනියන්න. සංගීත ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් අධ්‍යක්ෂවරුන් හරහා මේ භාණ්ඩය යොදාගෙන  නිර්මාණ පෝෂණය කරන්න ඕනෑ. අද ගොඩක් දෙනෙක්ට මේ වාද්‍ය භාණ්ඩයක් ඉගෙන ගන්න ලොකු කැමැත්තක් තියෙනවා. නමුත් තවම ඒ පිළිබඳව මෙහෙයවීමක් සිදුවෙන්නෙ නැහැ.

 

සංජයට ඇයි මෙවැනි වාද්‍ය භාණ්ඩයක් ඉගෙන ගන්න හිතුණෙ?

මම පුංචිම කාලෙ ඉඳන්ම කලාවට ලොකු නැඹුරු බවක් තිබුණා. පෙර පාසල් යන කාලෙදි මට තිබුණෙත් සෙල්ලම් භාණ්ඩ විදියට ඩොලැක්කි වගේ දේවල්, මම ඒවා වාදනය කරලා තියෙනවා. ඒ වගේම ඒ කාලෙදි ගීත ගායනා කළා. පාසලේදිත් ගුරුවරු මට කියලා ගීත ගායනා කරවනවා. ඉතින් ඒ විදියට ටිකින් ටික හඳුන ගත්තා කලාව කියන දේ මා තුළ තියෙනවා කියලා. මුලින්ම 1997 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට පොතේ ගුරුගෙ චරිතයට දායක වුණා. ඒ වෙද්දි මම 7 ශ්‍රේණියේ ඉගෙන ගත්තෙ. පාසල් වේදිකාවේ නාට්‍ය බොහොමයක් කළා. ඒ ජාලිය රාජපක්ෂ ගුරුතුමන් යටතේ ඒ වගේම පාසලේ විවිධ ප්‍රසංග බොහොමයකට රංගනයෙන්, වාදනයෙන්, ගායනයෙන්, එකතු වුණා. මම පාසල් ගියේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයට. එහිදී පාසල් මට්ටමින් කලා ක්ෂේත්‍රයේ විවිධ ජයග්‍රහණ ලබලා කුසලතා සම්මාන, සහතිකපත් ගොඩක් ලබාගෙන තියෙනවා. ඒ කාලෙදිම තමයි සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව මට සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වෙන්න ලොකු කැමැත්තක් ඇති වෙන්නෙ. මොකද පාසල් වේදිකාවෙන් ලබාගත් පන්නරයක් එකකු මම නාට්‍ය රංගනයට පිස්සු වැටිලා හිටියෙ. කවදාහරි මනමේ සිංහභාහු නාට්‍යවලට සම්බන්ධ වෙන්න ඕනෑ කියන දේ හිතේ තිබුණා.

 

අද වෙද්දී සංජය එහි මුද්දල් භාණ්ඩ වාදකයා ලෙස කටයුතු කරනවා. ඒ ගමන්මඟ කතා කළොත්?

මම මද්දලය වාදනයට එකතු වෙන්නෙ මගෙ ලොකු තාත්තාගේ මිත්‍රයෙක් හිටියා. සිරිසේන සූරියආරච්චි කියලා. ඔහු ගුවන්විදුලි වාදක  මණ්ඩලයේ මද්දල් වාදක ශිල්පියා විදියට වැඩ කළේ. ඔහු මනමේ සිංහබාහු නාට්‍යවලත් මද්දලය වාදනය කළා. ඔහුගෙන් තමයි මම ගුරුහරුකම් ලබා ගත්තෙ. පසුව ඔහු අනතුරකින් මිය ගියා. එතැනින් පසුව මනමේ සිංහබාහු නාට්‍යවල මද්දලය වාදනය කරන්න පුරප්පාඩුවක් වුණා. ඉතින් මටත් නාට්‍ය පිස්සුව වැඩි වශයෙන් තිබුණ බව සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමේ පිරිස දැනගෙන හිටියා. ඒ කාලෙ මම ඒ නාට්‍ය කණ්ඩායමට එකතුවෙලා හිටපු නිසා සරච්චන්ද්‍ර මහත්මිය මාව ඒ කණ්ඩායමේ මද්දලය වාදනය කරන්න සම්බන්ධ කර ගත්තා. එදා සිට අද වනතෙක් අවුරුදු 19ක් පුරාවට මම සරත්චන්ද්‍ර කණ්ඩායමේ මද්දල් වාද්‍ය ශිල්පියා ලෙස කටයුතු කරනවා. ඊට අමතරව රංගන කටයුතුවලත් යෙදෙනවා. සරත්චන්ද්‍ර  කණ්ඩායමේ විතරක් නෙමෙයි ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍යවලත් රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා.

 

ඊට අමතරව ඔබ විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්යවරයෙක් ලෙසත් වැඩකරනවා නේද?

ඔව්. මම කලා උපාධියක් ලබා ගන්නෙ, ඒ වගේම 2010 වර්ෂයේ සිට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ වාද්‍ය ගුරුවරයෙක් විදියට තාවකාලික උපදේශකවරයෙක් ලෙස සේවය කළා. නමුත් මේ වනතෙක් ස්ථිර වශයෙන් බඳවා ගැනීමක් සිදු කරලා නැහැ. මේ වෙද්දි භාහිර උපදේශකවරයෙක් ලෙස තමයි වැඩ කරන්නේ. මද්දලය වාද්‍ය භාණ්ඩය වාදනය කරන්න ලංකාවෙ ගුරුවරුන් අඩුයි. නමුත් අපිව ස්ථිර වශයෙන් බඳවා ගැනීමක් කළෙත් නැහැ. ඉදිරියේදීවත් අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා. ඉතින් මේ වෙද්දි විශ්වවිද්‍යාල කිහිපයක බාහිර කථිකාචාර්වරයෙක් විදියට තමයි සේවය කරන්නෙ.

 

පුංචි කාලෙ ඉඳන්ම මේ තැනට එන්න උදව් කරපු පිරිසක් ඇති?

අනිවාර් යයෙන්ම මට ගෙදර ඉන්නේ අම්මා, අප්පච්චි, මල්ලි ඒ තුන් දෙනාගෙන්ම  ​​​හොඳ සහයෝගයක් ලැබුණා. තවමත් ඒ සහයෝගය ලබා දෙනවා. ඒක මට ලොකු ශක්තියක් ඒ වගේම මගෙ ගුරුවරු හැමෝම ආදරයෙන් සිහිපත් කරනවා. විශේෂයෙන් ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය.

 

ධනූ විජේරත්න

ඡායාරූප: චමත් වින්දුල

20201001Sanjaya-1 20201001Sanjaya-2