Mr. Sri Lanka ටයිට්ල් එක මට තිබුණු හීනයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවක නිරූපණ ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වන යෝෂ් මාලන් සමගයි මේ කතාබහ. ඔහු මේ වනවිට කලා කටයුතු කිහිපයකටම දායකත්වය දී තිබෙනවා. ඊට අමතරව ඔහු වෘත්තීයෙන් ව්‍යාපාරකයෙක්. ඉතිං යෝෂ් අපි සමග රසවත් කතාබහකට මුල පිරුවේ මේ විදිහට.

යෝෂ්, මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම යෝෂ් මාලන්. මගේ ගම මාතර මිරිස්සේ. දැන් නම් පදිංචි වෙලා ඉන්නේ පිලියන්දල. පාසැල් ගියේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට. අම්මායි තාත්තයි අයියයි තමයි පවුලේ ඉන්නේ. පවුලේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා ඉන්න ගමන් කලා කටයුතුවලත් නිරත වෙනවා.

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම 2015දි රොසෑන් මිස්ගේ ඇකඩමි එකට සම්බන්ධ වෙනවා. ඊටපස්සේ ඩොක්ටර් ප්‍රසාද්ගේ Mister Ocean 2018 පැජන්ට් එකට සහභාගී වුණා. ඒකෙදි මම Best Smile ටයිට්ල් එක දිනාගන්නවා. ඊටපස්සේ මයුමි ශ්‍රීමාලි මිස්ගේ man of the world - 2018 පැජන්ට් එකේ “mr.sri lanka for mr. worldwide” සහ “best runway” යන ටයිට්ල් දිනාගත්තා. ඒ හරහා ක්ෂේත්‍රයට එකතු වෙන්න ලැබෙනවා.

මේ වනවිට දායක වෙලා තිබෙන නිර්මාණ?

මියුසික් වීඩියෝ කිහිපයකට දායක වුණා. ටෙලි නාට්‍යකටත් සම්බන්ධ වුණා. මගේම ගීතයක් මම කරලා තිබෙනවා. තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. මේ කොරෝනා තත්ත්වය නිසා ඒවා කල් ගිහිල්ලා. ඉස්සරහට බලමු.

යෝෂ්ගේ වෘත්තීය කලාවද?, වෙන මොනවා හරි ක්ෂේත්‍රයක නිරත වෙනවාද?

නැහැ. මට මගේම ව්‍යාපාරයක් තිබෙනවා. ඒක සංචාරක කර්මාන්තයට සම්බන්ධ එකක්. ඒකට තමයි මම මුල් තැන දීලා තිබෙන්නේ.

ඔබට පෙම්වතියක් සිටිනවාද?

ඔව්. මට පෙම්වතියක් ඉන්නවා.

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි?

කලාව කියන්නේ මගේ ආසාවක්. Mr. Sri Lanka ටයිට්ල් එක මට තිබුණු හීනයක්. අද මම ඒක හැබෑ කරගෙන තිබෙනවා.

ෆීල්ඩ් එක ගැන ඔබට දැනෙන්නේ කොහොමද?

අද කන්ටැක් හරහා ගොඩක් වැඩ කෙරෙන්නේ. ඒ නිසා කැපකිරීම් කරලා කට්ටක් කාලා තැනකට එන කෙනෙක්ට අද හම්බෙන තැන ටිකක් අඩුයි. වෙන වෙන දේවල් හරහා ගොඩක් දේවල් කරගන්න බොහෝ අය අද පුරුදු වෙලා ඉන්නේ. ඒ නිසා දක්ෂයාට කට්ටක් කන්නම වෙනවා.

පැජන්ට් එකක් ජයග්‍රහණය කළාම බොහෝ අයව ඊළඟට දකින්න ලැබෙන්නේ සිනමාව තුළින්. ඔබට සිනමාවට ආරාධනා ලැබිලා නැද්ද?

දැනට නම් සිනමාවෙන් ආරාධනා ලැබිලා නැහැ. ටෙලි නාට්‍යවලින් නම් ගොඩක් ආරාධනා ලැබෙනවා. මම දෙරණ නාලිකාවේ ටෙලි නාට්‍යකට සම්බන්ධ වුණේ ඒ හරහා. බලමු ඉස්සරහට. හොඳ නිර්මාණයක් ලැබුණොත් බාරගන්නවා.

කලාවේ දිගටම නිරත වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?

මෙහෙමයි. හොඳ නිර්මාණය ලැබුණොත් ඒවාට සම්බන්ධ වෙලා ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු මොනවාද?

මගේ ව්‍යාපාරය සංචාරක කර්මාන්තය හා සම්බන්ධයි. ඒත් මේ කාලේ කොරොනා නිසා ඒක 10%ක් සාර්ථක වුණේ නැහැ. ඉදිරි බලාපොරොත්තුව මුලින්ම ව්‍යාපාරය දියුණු කරගන්න එක. ඒ වගේම කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නත් බලාගෙන ඉන්නවා.

විශේෂයෙන් මතක් කළ යුතු අය කවුද?

මගේ අම්මයි අයියයි මුලින්ම මතක් කරන්න ඕනේ. මොකද මගේ කලා ගමනේ හැමදේකින්ම සතුටු වෙන්නේ ඒ දෙන්නා. එයාලා විශේෂයි. ඊටපස්සේ මේ හැමදේටම මගේ ලඟින් ඉන්න මගේ පෙම්වතියව මතක් කරන්න ඕනේ. එතකොට nuzky අයියා, එමා අක්කා සහ මට වචනයකින් හරි උදව් කරපු හැමෝවම මතක් කරනවා.

කැළුම් දේවින්ද

20201116Yosh-1 20201116Yosh-3 20201116Yosh-2 20201116Yosh-4