21 වැනි උපන්දිනය හැමදාම මතකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201214Corin-3මෙවර ‘‘සුබ උපන්දිනක්’’ විශේෂාංගයෙන් සඳැල්ල හා එකතු වෙන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනී කොරින් අල්මේද‌ා

• ඔබේ උපන්දිනය ගැන දන්නා විස්තර මොනවද?

මගෙ උපත සිද්ධවෙන්නෙ දෙසැම්බර් 6 වෙනිද‌ා. පවුලේ වැඩිමලා විදියට පවුලට එකතුවෙන්නෙ. මට ඉන්නෙ මල්ලියි, නංගියි. ඒවා තමයි මගෙ උපත ගැන දන්න දේවල්. 

• පුංචි කාලෙ උපන්දින යෙදෙද්දි ඒ සැමරුම් ගැන එහෙම මතකයක් නැද්ද?

පුංචි කාලෙදි සැමරුම් නම් තියෙනවා. අපේ පවුලෙ අය එකතු කරගෙන තමයි ඒ කාලෙ ඉඳන් ගොඩක්ම සාද පැවැත්වුවෙ. පවුලෙ සුහද හමුවක් පැවතුණේ. අපේ පවුල හරි ලොකු පවුලක්, අම්මගෙ, තාත්තාගේ පවුලෙ ගොඩක් අක්කලා, අයියලා, නංගිලා, මල්ලිලා, ඒ අයගෙ දරුවො හැමෝම ඒ වගේ දවසකට එකතු වෙනවා. ඉතින් ඒ ලොකු පවුලෙ අය එකතුවෙලා ගොඩක් විනෝද වෙනවා. සින්දු කියලා නටලා මොකද අපේ පවුලෙ අය සංගීතයට ගොඩක් ළැදියි. සංගීතය කියන දේ අපේ ගෙදර තිබුණු දෙයක්. පුංචි කාලෙ ඉඳලම අම්මා, තාත්තා වෘත්තිය වශයෙන් ගීත ගායනා නොකළත් පවුලෙ හැමෝම වගේ සංගීත භාණ්ඩ වාදනය කළා. ගීත ගායනා කළා. 

• ඉතින් ඒ විදියට විනෝදෙන් සමරපු මතකයෙ රැඳෙනම උපන්දිනයක් ගැන කතා කරමු?

21 වැනි උපන්දිනයෙ ලොකු සැමරීමක් සිදුවුණා. ඒ දවස මතකයෙ රැඳුනම දවසක්. මගේ යාළුවො, පවුලෙ අය බොහෝ දෙනෙක් එකතු වුණා. මගේ ජීවිතේ සමරපු ලොකුම උපන්දින සාදය එද‌ා. මගේ තාත්තා වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පළමු පෙළේ දුම්රිය නියාමකවරයෙක් විදියට. ඒ නිසා අපි ඒ කාලෙ හිටියෙ මවුන්ට් මේරි දුම්රිය නිවාස සංකීර්ණයේ. එහි තමයි මගේ උපන්දින සාදය පැවැත්වුණේ. ගොඩක් විනෝද වුණ දවසක්. අවුරුදු 21 කියන්නෙ ජීවිතේ ලොකු සන්ධිස්ථානයක් නිසා ඒ විශේෂ උපන්දිනය සැමරුවා. එතැනින් පසුව නම් ඒ විදියෙ සැමරීම් සිදුවෙලා නැහැ. මම කොහොමත් උපන්දින සමරන්න වැඩි කැමැත්තක් තියෙන කෙනෙකුත් නෙමෙයි. ද‌ැන්නම් ඒ වගේ සැමරීම් නැහැ.

• දැන් මොනවගේ දේවල් ද ඒ දිනයට සිදු කෙරෙන්නෙ?

දැන් ටික කාලෙක ඉඳලා මගේ උපන්දිනය දවසට මම කරන්නෙ තවත් කෙනෙකුට පිනක් වෙන්න ද‌ානයක් වගේ දෙයක් දෙන එක තමයි. ඒ විදියට උදව් කරන ළමා නිවාස, වැඩිහිටි නිවාස තියෙනවා. ආබාධිත අය වෙනුවෙන් කුමක් හෝ දෙයක් මම කරනවා. නමුත් මම ඒ කිසිවක් සමාජ ජාලවල පල කරන්නෙ නැහැ. ඒ දේවල් මම පෞද්ගලිකව තමයි කරගෙන යන්නෙ. ඒ දවස මම ද‌ැන්නම් සමාජ සත්කාර පැත්තට යොදවලා තියෙන්නෙ.

• මෙවර උපන්දිනය වෙනුවෙන් සැලසුමක් නැද්ද?

ඇත්තටම නැහැ. මගේ පුතා මගෙන් ඇහුවා මොකද්ද කරන්න ඕනෑ කියලා? මම කිව්වා මොනවත් කරන්න ඕනෑ නැහැ. ගෙදර අය එකතුවෙලා පුංචි සාදයක් පවත්වමු කියලා. පුතා කියන්නෙ හැමද‌ාම අනිත් අය වෙනුවෙන් දේවල් කරන නිසා මෙවර උපන්දිනයට මොනවහරි දෙයක් කරමු කියලා. ඉතින් මම කිව්ව සමාජ සත්කාරවලින් හිතට ලොකු සැනසීමක් ලැබෙනවා. ඒක මට ලොකු සතුටක් කියලා. නමුත් පවුලෙ අය එකතුවෙලා මොනවහරි කෑමක් හදලා පුංචි සාදයක් ගේ ඇතුළෙ පවත්වයි. 
ඒ වගේම අපි ගෙදර අය එකතුවෙලා කාඩ් ප්ලේ කරනවා. ඉතින් මම කිව්වා කාඩ් ගේම් එකක් කරමු කියලා. ඊට අමතරව නම් ඉතින් මම උදව් කරන ආබාධිත නිවාසයක්, ළමා නිවාසයක්, වැඩිහිටි නිවාසයක් තියෙනවා. ඒ නිවාසවලට අවශ්‍යතා අහලා මොනවහරි වියළි ආහාර හෝ අවශ්‍ය දෙයක් ලබාදෙන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. 

• ප්‍රසංගවලදි උපන්දින සැමරුම් සිදුවෙලා නැද්ද?

මට මතක විදියට අවුරුද්දක් දෙකක් වගේ උපන්දින යෙදිලා තියෙනවා. ඒ අවස්ථාවල මම ඒ ගැන කියලාත් නෙමෙයි යාළුවො දැනගෙන ඒ මොහොතෙ සුබ පතලා සර්ප්‍රයිස් කේක් ගෙනාපු අවස්ථා තියෙනවා. ඒ වගේම විදෙස් සංචාර දෙකකදී වගේත් උපන්දින සර්ප්‍රයිස් ලැබිලා තියෙනවා. ඒ කොයි අවුරුදුවල ද කියලා නම් මතකයක් නැහැ 

• ඒ කාලෙ ලැබුණ තෑගිවලින් තවම සුරැකිව තියෙන තැගි තියෙනවද?

තෑගි නම් ඉතින් ගොඩක් ලැබෙනවා. විශේෂම කියලා දෙයක් නැහැ. ඒ අතරින් ඉතින් මගෙ තාත්තා අරගෙන දුන්නා රත්තරන් මාලයක්. ඒක නම් මගේ ළඟ තවම සුරැකිව තියෙනවා. ඊට අමතර දැන්නම් ඉතින් ලැබෙන්නෙ ෆෝන් වගේ දේවල් තමයි. 

• ඒ දවසට සුබ පැතුම් එකතු වෙන්නෙ කොහොමද?

ඒ කාලෙදි නම් ගොඩක් උපන්දින සුබ පැතුම්පත් එන්නෙ තැපෑලෙන්. මොකද ඒ කාලෙ ෆෝන් එහෙම තිබුණෙත් නැහැනෙ. නමුත් ලෑන්ඩ් ෆෝන්වලින් කතා කරලා සුබ පැතුම් එකතු කරනවා. ඒ වගේම ළඟම අය ඇවිල්ලා සුබ පතනවා. ගෙදරට තෑගි එවන අයත් ඉන්නවා. කේක්, මල් පොකුරු වගේ දේවල්, මාධ්‍ය ආයතනවලිනුත් ගෙදරට කේක් එහෙම ලැබිලා තියෙනවා. 
ඒ වගේ මට ආදරය කරන අයගෙන් සුබ පැතුම් එකතු වෙද්දි ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම ඉතින් මගේ පවුලෙ අයගෙන් ඒ ලැබෙන සුභ පැතුම් ආදරය තමයි ලොකුම සතුට. 

• දෙසැම්බර් 6 උපත සිදුවීම ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මම ඉපදුනු මාසයට මම ගොඩක් කැමතියි. දෙසැම්බර් කියන්නෙ නත්තල් සිරියත් එක්ක මුළු ලෝකෙම බබළන මාසයක්. හරි විනෝදයෙන් ගත කරන්නෙ. ඒ මාසෙ පුරාවටම අපිට අහන්න ලැබෙන්න නත්තල් ගීත. ඉතින් ඒ සිරියත් එක්ක මාව මේ ලෝකයට බිහි කරපු මගේ දෙමව්පියන්ට මම ස්තුති වන්ත වෙන්න ඕන. මම හැමදාම උදේටයි රෑටයි යාඥා කරද්දිත් ස්තුතිවන්ත වෙනවා මගෙ දෙමව්පියන්ට. ඒ මට මේ ලෝකේ එළිය දකින්න අවස්ථාව ලබා දුන්නට. හැමද‌ාම මම ඒ දෙන්නට ණය ගැතියි.

ධනු විජේරත්න

20201214Corin-1 20201214Corin-2