කවදාවත් මගේ අධ්‍යාපන වැඩවලට නිවේදනය බාධාවක් වෙලා නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210210dimithri-2

දඟකාර කටකාර ළමා නිවේදිකාවක් ලෙස බොහෝ පොඩ්ඩන්ගේ ආදරය දිනාගත් ශිල්පිනියක් තමයි දිමිත්‍රි කියන්නේ. විවිධ වැඩසටහන් පොඩ්ඩන්ට හරවත් අයුරින්, දැනෙන අයුරින් දිමිත්‍රි ඉදිරිපත් කරනවා. දිමිත්‍රිගේ අනාගත බලාපොරොත්තුව ශල්‍ය වෛද්‍යවරියෙකු වීම වුණත් නිවේදිකාවක් ලෙස දිගු ගමනක් යෑමට පුංචි දිමිත්‍රි සූදානමින් ඉන්නවා. ඉතින් සාරවිට මේ කතාබහ ළමා නිවේදිකා දිමිත්‍රි සමගින්.

ඔයාගේ විස්තර ටිකක් කිව්වොත්?

මගේ නම දිමිත්‍රි යුවනි. මම ඉගෙනගන්නේ නුගේගොඩ සමුද්‍රදේවි විද්‍යාලයේ. මම නවය වසරේ ඉගෙනුම ලබන්නේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තායි, මල්ලියි මමයි. මේ වෙද්දි ළමා නිවේදිකාවක් විදිහට වැඩසටහන් ගොඩක් මම කරලා තිබෙනවා.

ළමා නිවේදිකාවක් වෙන්නේ කොහොමද?

මම Voice of Sri Lanka මීඩියා ඇකඩමි එකේ කෝස් එකක් කරලා ඒකෙන් A+ සාමාර්ථයක් ලබාගන්නවා. මම මුලින්ම නිවේදිකාවක් විදිහට සම්බන්ධ වෙන්නේ එෆ්.එම්. දෙරණට. එතකොට මම තුන වසරේ. ලහිරු ජයවර්ධන සර් තමයි මුලින්ම මාව එෆ්.එම්. දෙරණට සම්බන්ධ කළේ.

මේ වනතෙක් ඉදිරිපත් කරපු වැඩසටහන් ගැන කියමුද?

එෆ්.එම්. දෙරණෙන් පස්සේ ටී.වී එකට මුලින්ම එන්නේ සියතේ කතාන්දර ගෙදර වැඩසටහනට. ඒකේ මම ළමා කතාවලට රංගනයෙන් එකතු වුණා. ඊටපස්සේ ITN එකේ 'කැකුළු මුකුළු' වැඩසටහන ඉදිරිපත් කළා. ඊටපස්සේ TV දිදුල නාලිකාවේ 'movie paradise', 'අපේ බුදු සාධු', 'kids talanet fatory', 'little chef' කියන වැඩසටහන් හතරම ඉදිරිපත් කරනවා. ඒ වගේම ITN එකේ 'දේදුණු හැන්දෑව' වැඩසටහන ඉදිරිපත් කරනවා. එතකොට අළුත් වැඩසටහනක් පටන් ගත්තා 'සමනල යාය' කියලා. ඒකේ රෙකෝඩින්ස් මේ දවස්වල කරනවා.

20210210dimithri-3

පාසල් වැඩකටයුතු සමග නිවේදනය කරන්නේ කොහොමද?

මම විනෝදාංශයක් විදිහට තමයි නිවේදනය තෝරාගත්තේ. කවදාවත් මගේ අධ්‍යාපන වැඩවලට නිවේදනය බාධාවක් වෙලා නැහැ. රෙකෝඩින් හරි ෂූටින් හරි ඒ මාමලා නැන්දලාත් දාන්නේ මගේ නිවාඩු දවස් බලලා. ඒ නිසා දැනට ප්‍රශ්නයක් වෙලා නැහැ. මම ITN එකේ ඉන්ටවිව් ගියාම ලක්ෂමන් මත්තුමගල සර් තමයි මාව ඉන්ටවිව් කළේ. මත්තුමගල සර්ත් මට හැමතිස්සේම කියන්නේ ඉගෙනගන්න. නිවේදනය නිසා ඒ වැඩ අතපසු කරගන්න එපා කියලා. එතකොට TV දිදුල එකේ ප්‍රධානී මාලිගාවිල අස්සජී ස්වාමීන් වහන්සේත් එහෙම උපදෙස් දෙනවා.

මේ දේවල්වලට ගෙදරිනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා නේද?

ඔව්. මට හැමදේම කරලා දෙන්නේ අම්මායි තාත්තයි. මම මේ තැන ඉන්නේ ඒ අය නිසයි.

දිමිත්‍රිට රංගනයෙන් ආරාධනා ලැබිලා නැද්ද?

ආරාධනා නම් ලැබිලා තියෙනවා. ඒත් මම ගොඩක් ආසා නිවේදනය පැත්තෙන් ඉස්සරහට යන්න. මම හිතනවා නිවේදිකාවක් රඟපානවාට වඩා නිවේදනයම කරනවා නම් හොඳයි කියලා. හැබැයි මම ආසා කරන චරිතයකට කතා කළොත් අම්මායි තාත්තයි කැමති නම් මම ඒක භාර ගන්නවා.

දිම්‍රිති නිවේදනයට අමතරව තව මොනව කරන්න කැමති?

මම 1-2 වසරවල ඉඳලාම පාසැලේ චෙස් ප්ලේ කළා. චෙස් වලින් සමස්ත ලංකා ජයග්‍රහණත් ලබාගෙන තියෙනවා. තාමත් චෙස් ප්ලේ කරනවා. ඊට අමතරව පාසැලේ වේදිකා නාට්‍යවලත් සහතික තිබෙනවා.

පාසැලෙන් ඔයාගේ වැඩවලට සහයෝගයක් දෙනවාද?

ඔව්. මට පාසලෙන් නිදහස දීලා තිබෙනවා නිවේදන වැඩවලට. එතකොට පාසැලේ ගුරුවරු, යාළුවොත් ලොකු සහයෝගයක් දෙනවා. එතකොට දුර පළාත්වලට රෙකෝඩින් වලට ගියාම ඒ පැතිවල ඉන්න පුංචි යාළුවොත් ඇවිත් කතාබහ කරනවා. එතකොට මට ගොඩක් සතුටුයි.

මුලින්ම කැමරාව ඉස්සරහට යද්දි බය හිතුණේ නැද්ද?

ඇත්තටම නැහැ. මොකද මම මුලින්ම කැමරාව ඉස්සරහට යද්දි ගොඩක් පොඩියි. ඒ නිසා බය හිතුණේ නැහැ. දැන් නම් පුරුදු වෙලා නිසා බයක් දැනෙන්නෙත් නැහැ.

අනාගත බලාපොරොත්තුව කවුරු වෙන්නද?

මම කැමතියි ශල්‍ය වෛද්‍යවරියක් වෙන්න.

එතකොට නිවේදනය අත්හරිනවාද?

නැහැ. ශල්‍ය වෛද්‍යවරියක් වෙන්න ගෙඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ. අධ්‍යාපනයෙන් විතරක් ඉස්සරහට ගිහිල්ලා මදි. තව දෙයක් තියෙන එක ගොඩක් වටිනවානේ. ඒ නිසා මම කවදාවත් නිවේදනය අත්හරින්නේ නැහැ.

දිමිත්‍රිගේ ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?

දැනට සමනල යාය වැඩසටහනේ රෙකෝඩින් කරගෙන යනවා. සමනල යාය කියන්නේ මට ගොඩක් වැදගත් වැඩසටහනක්. මොකද ඒකට ජේෂ්ඨ කලාකරුවෝ එනවා. ඒ අයත් එක්ක කතාබහ කරන්න ලැබෙනවා. එතකොට දිදුල නාලිකාවේ little chef වැඩසටහනත් මම ආසාවෙන් කරන්න බලාපොරොත්තු වෙන වැඩක්. මොකද මට හීනයක් තිබුණා cooking වැඩසටහනක් ඉදිරිපත් කරන්න. ඒ දේවල් සමග අනෙක් නිවේදන කටයුතුයි, අධ්‍යාපන කටයුතුයි ඉස්සරහටත් කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

උදව් කරපු අය කවුද?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ පවුලේ අයව. ඊටපස්සේ දිදුල ආයතනයේ ඊටපස්සේ Voice of Sri Lanka මීඩියා ඇකඩමි එකේ දර්ශන සර්, අංජලී අක්කා, ITN එකේ දිනේෂා අක්කා, ලක්ෂ්මන් මත්තුමගල සර්, එතකොට දිදුලේ භාග්‍යා අක්කා, සජිත් අයියා ඇතුළු හැමෝමවත්, මගේ හොඳම යාළුවාවත්, මට වචනයකින් හරි උදව් කරපු හැමෝමවත් මම ආදරයෙන් මතක් කරනවා.

කැළුම් දේවින්ද

20210210dimithri-520210210dimithri-1 20210210dimithri-4