ශ්‍රී ලංකාවට නැවුම් අත්දැකීමක් ගෙනදෙන "The Reading Cafe By Bookrack"



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ලංකාවට නැවුම් අත්දැකීමක් වූ "The Reading Cafe By Bookrack" පසුගියදා 331/1A 2/1 , නාවල පාර, රාජගිරියෙන් ආරම්භ වුණා. සුරිය ප්‍රකාශන ආයතනයේ අධිපති අතුල ජයකොඩි මහතා ඇතුළු දිවයිනේ ප්‍රධාන පොත් ප්‍රකාශන ආයතන ප්‍රධානී මහතුන් හා මහත්මීන්, ප්‍රවීණ ලේඛක මහතුන් පැමිණ විවෘත කළ මේ අලුත්ම කැෆේ එක පටන් ගත්තෙ Bookrack අධිපති දේවක සඳරුවන් විසින්. මේ ඔහු සමග කළ කතාබහක්.

මොකක්ද මේ අලුත් කන්සෙප්ට් එක?

ඇත්තටම මේක අලුත් කන්සෙප්ට් එකක් කියලම කියන්න බෑ. හැබැයි ලෝකේ සමහර රටවල් එක්ක බලනකොට ලංකාවට නම් මේක අලුත් දෙයක් තමයි. ලයිබ්‍රිවල වගේම පොත් සාප්පුවල කියවන්න පොඩි තැනක් තිබුණත් පොතක් මිලට ගන්න කලින් කියවලා ඒ කියවන ගමන් කෝපි කොප්පයක්, පළතුරු පානයක් රස විඳ විඳ ඒ දේවල් කරන්න තැනක් දන්න තරමින් ලංකාව ඇතුළේ තිබුණේ නෑ.

ඒ නිසා අවුරුදු දෙකකට වැඩි කාලයක් අන්තර්ජාලය ඔස්සේ පොත් අලෙවි කරන ලංකාවේ බොහොමයක් දෙනා දන්නා Bookrack.lk අපිට ඕන වුණේ අලුත්ම දෙයක් කරන්න. ලංකාව ඇතුළේ ඉඳන් ලෝකේ තියෙන ලංකාවට ගැලපෙන හොඳ කන්සෙප්ට් එකක් හදන්න. ඒක ඇතුළේ පොතක් ගැන එකතුවෙලා කතා කරන්න, පොත් ගැන සාකච්ඡා කරන්න, කුඩා පොත් එළිදැක්වීම්වලට, පොත් සයිනින් ඉවෙන්ට්වලට අවකාශයක් වගේම යු ටියුබ් වීඩියෝ ආදියට ඉඩ හසර ලබා දෙන්න තමා අපිට ඕනි වුණේ.

ඉතින් ඒකට ලංකාවේ එතෙක් මෙතෙක් කවුරුවත්ම මේ වෙනකන් නොකරපු කියලා හිතන්න අමාරු දේවල් තමා අපි හැමවෙලේම උත්සහ කළේ. අනික ලංකාවේ ප්‍රවීණ ලේඛක ලේඛිකාවන්ගේ විස්තර, කරලා තියෙන පොත් ඔය මොනවත් හොයාගන්න හරිහමන් තැනක් නෑ. අපි පිට රටක පොතක පරිවර්තන හිමිකම ගන්නකොට දකිනවා ඒ හැම කෙනෙක්ටම ලියලා තියෙන්නේ එක පොතක් වුණත්  තමන්ගේ නමින් වෙබ් අඩවියක් තියනවා. ඉතින් අපිට ඕනා වුණා ලංකාවේ ඔය දේ කරන්න. අන්තර්ජාලය හරහා පොත් අලෙවි කරන ගමන්ම පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයට අත තියෙනකොට අපි ඔය දේ ඔළුවේ තියාගෙන තමයි ඒ දේවල්වලට සම්බන්ධ වුණේ.

බුක් රැක් එක්ක පොතක් ප්‍රකාශයට පත් කරන මීට කලින් පොත් 6-7ක් කරලා තියන ඕනැම කෙනෙක්ට අපි හරහා පොතක් ප්‍රකාශයට පත් වෙනකොට අපි වෙබ් සයිට් එකක් ඒ අයගේ නමින් හදලා දෙනවා. කර්තෘවරුන්ට එහෙම කෘත ගුණ සලකනකොට අපේ හිතේ ඊළඟට තිබුණ අරමුණ තමයි පාඨකයන්ට කෘතගුණ සලකන එක. ඉතින් The Reading Café By Bookrack කියලා අපි නාවල පටන් ගත්තේ ඒ අවකාශය. ඒක වින්දනීය අවකාශයක් කරන එක තමා දැන්  අපේ අරමුණ.

කොරෝනා කාලෙ මේ වගේ කැෆේ එකක් පටන් ගත්තු එක අභියෝගයක් නෙවෙයිද? අවදානමක් නෙවෙයිද?

අනිවාර්යයෙන්ම ලොකු අභියෝගයක්. ඒත් ජිවිතේ කියන්නේම රිස්ක් ගොඩාක්නේ. රිස්ක් එකක් නොගෙන කරන්න පුළුවන් සාමාන්‍ය එදිනදා ජිවිතයක් ගත කරන එක විතරයි. අපිට ජීවත්වෙන්න තියෙන කාලේ කොයිතරම්ද කියලා නොදන්න එකේ කොරෝනා හෝ මොනයම් හේතුවක් නිසා අවුරුදු ගාණක් අතඅරිනවා කියන එක ඇත්තටම අපරාදයක්.

අලුත්ම කන්සෙප්ට් එකක් නිසා ලංකාව මේක එක පාර පිළිගන්න එකක් නැති වෙන්නත් පුළුවන්. ඒත් මේ හීනය අපි සැහෙන කාලයක් තිස්සේ දැකපු හීනයක්. හරි යන්න හෝ වරදින්න මේක කරලාම බලන්න ඕනා කියලා තමා පටන් ගත්තේ. හරි නොගියොත් අතහරින්න බැරිකමක් නෑ. ඒත් මේ ආතල් එක ගන්නම ඕනා කියලා හිතුන නිසා අවදානමක් එක්ක පටන් ගත්තේ. මොනවා නැති වුණත් මෙහෙම දෙයක් කළානේ කියන සතුටහරි තියෙනවානේ අපරාදේ කරගන්න පටන් ගන්නවත් බැරි වුණානේ කියලා කවදාහරි හිතන්න වෙනවාට වඩා.

 

 

තරුණ පිරිස කියවන්නෙ නෑ කියල චෝදනා එල්ල වෙන කාලෙක රීඩිං කැෆේ එකක් කියන දේ ප්‍රායෝගික වෙයිද?

තරුණ පරපුර කියවන්නේ නෑ කියන එකට නම් එකඟවෙන්න අමාරුයි. අවුරුදු කීපයක් මේ ක්ෂේත්‍රයත් එක්ක ඉන්න කෙනෙක් විදිහට මට නම් හිතෙන්නේ තරුණ පරපුර කියවීමෙන් ඇත් වෙලා නෑ. මොකද ෆේස්බුක්, ඉන්ස්ටා, ටික්ටොක්වලට ඇබ්බැහි වුණ පිරිසක් වගේම කියවන්නත් ඇබ්බැහි වුණ පිරිසක් ඉන්නවා. ඒ සමහර අය ෆේස්බුක් ඉන්නවා. සමහර අය සෝෂල් මීඩියා භාවිතා කරන්නේ නෑ.

රිඩ් කැෆේ එකේ අපි හැමවෙලේම පිරිලා ඉන්න ක්‍රවුඩ් එකක් නම් බලාපොරොත්තු වෙන්නේ නෑ. නිදහසේ පොතක් කියවන්න කැමති අයට පොතක් මිලට ගන්න කලින් ඒ පොතේ අන්තර්ගතය ටිකක් කියවන්න වගේම පොත් ගැන කතාබහ කරන්න අවකාශයක් හදලා දෙන එකයි අපේ අරමුණ. දැනට මුද්‍රණයෙ නැති පරණ පොතපත කියවන්න වැඩි අවස්ථාවක් ලබා දෙන එක , ලේඛක ලේඛිකාවන්ට වටිනාකමක් දෙන එකත්, පාඨක ලේඛක හමුවකට ඉඩ හසර ලබා දෙන එකත් අපේ මූලික අරමුණක්.

 

ඔන්ලයින් බුක් ස්ටෝර් එකක් කරන කෙනෙක් විදියට කොරෝනා කාලෙ අත්දැකීම් කොහොමද ? 

කොරොනා කාලේ කාට පාඩු වුණත් ඔන්ලයින් ෂොප් තිබුණා අයට යම් ආදායමක් තිබුණා කියන එකනේ සමාජේ තියන මතේ. ගෙදරට වෙලා ඉන්නකොට පොතක්වත් කියවන්න තිබුණා නම් කියලා පොත් ගත්ත යම් ප්‍රමාණයක් අලුතෙන් එකතු වුණා කියන එකත් එක අතකින් වැරද්දක් නෑ. එිත් අනෙක් හැම බිස්නස් එකකටම වගේම කොරෝනාවලින් යම් බලපෑමක් පාඩුවක් වුණේ නෑ කීවොත් ඒක වැරදියි. එක අතකට ඒක සමාජ සත්කාරයක් වෙන්නත් පුළුවන්. මොකද හැම කෙනෙක්ම ගෙවල් ඇතුළේ හිරවෙලා ඉන්නවා කියන එක අමුතුම අත්දැකීමක්. කරන්න කිසිම වැඩක් නැති වෙනකොට ඒ මනසට දැනෙන පීඩනය යම් විදිහකින් හරි නිදහස් කරන්න අපිත් උදව් වෙන්න ඇති,

 

අලුත් පරපුරේ කෙනෙක් විදියට පොත් කියවීම ගැන තියෙන උනන්දුව කොහොමද දකින්නෙ?

කලින් කීවා වගේම ඇත්තටම පොත් කියවන සැලකිය යුතු පිරිසක් තවමත් ඉන්නවා. කඩදාසි මිල ඉහළ යාමත් එක්ක පොත්වල මිල ඉහළ යන එක නිසාම පොත් කියවන්න උනන්දුව ආශාව තිබුණත් හරි ආකාරයෙන් ඒක කරගන්න බැරි පිරිසකුත් ඉන්නවා. ඒත් දකින්න ලබෙන විදිහට දැනෙන විදිහට පොත් කියවන පිරිස දවසින් දවස වැඩිවීමක් තමයි පෙන්න තියෙන්නේ. ඒක හොද දෙයක්

 

නවමාධ්‍ය එක්ක කියවීමේ හැඩය,සංවාද හැඩය,විචාරක හැඩය වෙනස්වෙලා නේද? ඒක කොහොමද දකින්නෙ ?

අනිවාර්‍යයෙන්ම, විචාරවලට වඩා දැන් තියෙන්නේ තමන්ගේ හිතවතෙක්, තමන් කැමති කෙනෙක් වෙනුවෙන් වන්දනීය තත්ත්වයකින් හොඳ හෝ නරක මොකක් වුණත් ඒක හොඳයි කියන මතයෙන් පෙනී සිටිම. එහෙම නැත්නම් කොයිතරම් හොඳ වුණත් තමන් අකමැති කෙනෙක් සම්බන්ධ නම් ඒකට පහර ගහන එක කියලා බැලු බැල්මට පේන්න තියනවා.

සයිබර් අවකාශයේ පොතක් ගැන කතා කරන විවේචනය කරන ගොඩාක් අය මුහුණු නැති ෆේක් ප්‍රොෆයිල් බව බැලු බැල්මට පේන්න තියනවා. The Reading Café by Bookrack අපිට ඕනි පොත් ගැන කතා බහ කරන අඩුපාඩු හොඳ නරක කියන මුහුණට මුහුණ කතා බහ කරන පිරිසක් බිහි කරන්න. ඉදිරියෙදී අපි උත්සහ කරනවා.

ඒ නිසා අපි ආරාධනා කරනව එන්න නාවල රාජගිරිය අවට නම්  නො 331/1A 2/1 , නාවල පාර , රාජගිරිය 9 (සෙල්සියස් බිල්ඩින් එකේ) සමගි උළු ඉදිරිපිට තියන The Reading Café By BookRack  එකට ඇවිත් යන්න එන්න. අව්ශ්‍ය පොත් 15-25% දක්වා වට්ටම් සහිතව මිලට ගන්න වගේම ඇති තරම් වෙලා කියවලා යන්නත් පුළුවන්. සතියේ දවස් හතම අපි විවෘතයි

 

මාලන් විදානපතිරණ

20210223Book (1) 20210223Book (6) 20210223Book (4) 20210223Book (5) 20210223Book (3) 20210223Book (2)