රවීන්ද්‍ර සර්ට මොකද වූණේ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් ඔස්සේ පියවරෙන් පියවර ඉදිරි ගමනක් යන නව පරපුරේ දක්ෂ කලා ශිල්පියෙක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කර ගන්න හිතුවා. ඔහු නමින් දමිත් විජයතුංග 

• දමිත් කොහොමද ජීවිතේ? 

ජීවිතේ හොඳයි. සාමාන්‍ය විදියට ගෙවිලා යනවා. කලාව පැත්තෙන් අලුත් වැඩකටයුතු කිහිපයකට සම්බන්ධ වුණා. නිරූපන ක්ෂේත්‍රයෙන් සහ නිවේදන ක්ෂේත්‍රයෙන්. ඒ දේවල් තමයි විශේෂයෙන් වෙන්නේ මේ දවස්වල. 

• හදවතේ කතාවෙ රවීන්ද්‍ර සර්ට මොකද වුණේ? ඇයි දැන් පේන්න නැත්තේ? 

පුද්ගලික හේතූන් මත ඒ නාට්‍යයන් අයින්වෙන්න සිද්ධ වුණා. ඇත්තම කතාව එහි ගෙවීම් කටයුතු නිසි විදියට සිදු වුණේ නැහැ. ඒ ගැන ඇත්තටම ලොකු කළකිරීමක් තමයි ඇති වුණේ. ඒ නිසා ප්‍රශ්න ඇති කරගන්නෙ නැතිව ඉවසීමෙන් ඒ තුළින් ඉවත් වුණා. 

• රවීන්ද්‍ර සර්ට ආදරය කරපු ඔබේ ප්‍රේක්ෂකයො මේ පිළිබඳව විමසනවා ඇති? 

ඔව් ගොඩක් දෙනෙක් මේ පිළිබඳව අහනවා. ඇත්තටම මටත් දුකයි මේ චරිතයෙන් ඉවත්වීම ගැන. මොකද මේ චරිතයට ලොකු ප්‍රේක්ෂක ආදරයක් තිබුණා. බොහෝ දෙනෙක් ආදරයෙන් වැළඳගත් චරිතයක් වුණා. ඒ විදියට ප්‍රතිචාරයක් තිබුණෙ මමත් ඒ වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න ඇති කියලා හිතනවා. නමුත් ඉතින් ප්‍රශ්නත් එක්ක තවත් ඉදිරියට යන්න බැරි නිසා තීරණයක් ගත්තා. සමහර ප්‍රශ්නත් එක්ක ගැටීගෙන ඉන්නවට වඩා ඉදිරිය ගැන හිතලා මේ තීරණය ගත්තේ. මම සාමාන්‍යයෙන් ගොඩක් ඉවසන කෙනෙක්. 

• ඒ කියන්නේ හොඳ ඉවසීමක් තියෙනවා දමිත්ට 

ඔව්. සෑහෙන දුරට ඉවසන කෙනෙක්. ඉවසීමක් නැතිව මේ තරම් දුරකට එන්න පුළුවන්කමක් නැහැ. මගේ අරමුණුවලට යන්න නම් ඉවසීමෙන් වැඩ කරගෙන යන්න ඕනෑනෙ. මොකද මගෙ අරමුණුවලට යන්න කෙටි මාර්ග නැහැ. ඒ නිසා ගොඩක් ඉවසීමෙන් කල් අරගෙන හැමවෙලාවෙම හොඳම දෙයක් කරන්න තමයි උත්සාහ කරන්නේ. 

• මේ වෙද්දී කරගෙන යන නිර්මාණ කටයුතු ගැන කතා කරමු 

කරපු නිර්මාණ ගැන සඳහන් කළොත් මියුසික් වීඩියෝ දෙකක් සඳහා රංගනයෙන් සම්බන්ධ වුණා. මම සාමාන්‍යයෙන් මියුසික් වීඩියෝ ගොඩක් අඩුවෙන් කරන්නේ. නමුත් ලැබුණු ආරාධනා එක්ක ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. 
ඒ නිසා ඒ වෙනුවෙන් දායක වුණා. ඊට අමතරව ප්‍රධාන වශයෙන් වෙළඳ දැන්වීම් කරගෙන යනවා. ඒ අතරේ නිවේදන කටයුතු එක්ක අලුත් වැඩකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. නිවේදනයට මම කොහොමත් හරි උනන්දුයි. කැමතියි. 

• නිවේදනය කියන දේ මීට පෙර හදාරලා තියෙනවද? 

ඇත්තටම එහෙම හදාරලා නම් නැහැ. නමුත් පාසල් කාලෙ විවාදවලට කථික තරගවලට වගේ සම්බන්ධ වෙලා තියෙනවා. මම පාසල් තුනක අධ්‍යාපනය හැදෑරුවා. මුලින්ම මාතලේ විජය විද්‍යාලයටත් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයටත් මාතලේ විද්‍යා විද්‍යාලයටත් ගියේ. ඒ පාසල් තුනෙන්ම මගේ ජීවිතයට ලොකු පන්නරයක් ලැබුණා. ශාන්ත තෝමස් විද්‍යාලයෙන් තමයි කථික තරග සහ විවාදවලට වැඩියෙන්ම යන්න හැකි වුණේ. එතැනින් පසුව මම ක්ෂේත්‍රයට ආවට පසුව මුලින්ම නිවේදනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ ‘චැනල් C’ හරහා. ඉන්පසුව තමයි ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වෙලා නිවේදකයෙක් විදියට කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ. ස්වාධීන රූපවාහිනි සේවයේදී තමයි සජීවී විකාශයකට සම්බන්ධ වෙලා කොහොමද නිවේදන වැඩකටයුත්තක් හරියට කරන්නෙ  කියලා දැනගත්තෙ. මොකද මම එහිදී පැය 3 ක සජීවී විකාශයක් සිදු කළේ. ඒක මට ලොකු අභියෝගයක් වගේම ලොකු අත්දැකීමක් වුණා. ඒ කාලය තුළ වෛද්‍ය සාකච්ඡා, සම්මුඛ සාකච්ඡා, කලා කටයුතු පිළිබඳව සාකච්ඡා විවිධ තේමාවන් යටතේ සිදුවුණා. ඒ තුළින් ජීවිතයට ගොඩක් දේවල් එකතු කරගන්න හැකි වුණා. දවසින් දවස අලුත් දේවල් ජීවිතයට එකතු කර ගත්තා. පොත පත කියෙව්වා. රට ලෝකය පිළිබඳ අධ්‍යනයක යෙදුණා. ඒවත් එක්ක තමයි නිවේදන වෘත්තිය ගැන ලොකු කැමැත්තක් ඇති වුණේ. ඉතින් ඒ විකාශය රටේ ඇති වුණු වසංගත තත්ත්වයත් එක්ක මගඇරුණා. නමුත් මෑතකදී නැවත සංගීතමය වැඩසටහනක් සමගින් එකතුවෙලා ඉන්නවා. (Music @t Eleven) වැඩසටහන සමගින්. 

• කලාව කියන දේ පුංචි කාලේ ඉඳන්ම පිහිටලා තිබුණද? 

කලාව නෙමෙයි කලාවට වඩා නිර්මාණශීලීත්වය පුංචි කාලෙ ඉඳන් තිබුණා. මම යම් දෙයක් දකින්නෙ හැමෝම දකින විදියට නෙමෙයි. ටිකක් නිර්මාණශීලීත්වයට බරව. ඒ වගේම සංගීතය පැත්තට ගීත ගායනයටත් වැඩි නැඹුරුවක් තිබුණා. නමුත් ගොඩක් ආසාවෙන් කළේ නිරූපනය. මාව ක්ෂේත්‍රයේ යම් දුරකට අරගෙන ආවෙ නිරූපණ ක්ෂේත්‍රය. මොකද මම Mr. Sri Lanka 2016 සහ ඉන්පසුව 2017 වසරේ පිලිපීනයේ පැවති Man Of The World තරගයට සම්බන්ධ වෙලා ලංකාව නියෝජනය කරමින් ක්ෂේත්‍රයෙ යන්න පුළුවන් උපරිම තලයට ගියා. ඒ දේවල්වලින් ඉදිරියට ගිය නිසා තමයි මිනිස්සු අතරට යම්තාක් දුරකට රංගනයෙන් ඉදිරියට යන්නට හැකි වුණේ. 

• දමිත් විජයතුංගට තරුණියන්ගේ ආකර්ෂණය වැඩිපුර ලැබෙනවා නේද? 

එහෙම ලොකු ආකර්ෂණයක් අවධානයක් දිනාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි මම. සාමාන්‍ය විදියට ජීවත්වන සාමාන්‍ය පරිසරයක හැදුණු වැඩුණු කෙනෙක්. මම ලොකු ආකර්ෂණයක් අවධානයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මම කරන වැඩේට උපරිම දායකත්වයක් ලබාදීලා පාඩුවෙ ජීවත්වෙන කෙනෙක්. 

• දමිත්ගෙ ආදරය දිනාගත්ත විශේෂ කෙනෙක් ඉන්නවද? 

ඔව් විශේෂ කෙනෙක් ඉන්නවා. ඉතින් ඇය කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. ඉදිරියේදී ඒ ගැන කියන්නම්. 

• මේ ගමන යන්න අතහිත දීල ශක්තියක් වෙන්නෙ කව්ද? 

මගෙ අම්මා අප්පච්චි ආදරෙන් මතක් කරන්න ඕනැ. ඒ වගේම අත්තම්මාත් මගෙ මල්ලිලා දෙන්නාත් තමයි මේ තරම් දුරක් එන්න ශක්තියක් වුණේ. ඒ වගේම මාව රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ කරගත් සාරංග මෙන්ඩිස් සහ ශ්‍රියන්ත යන අධ්‍යක්ෂවරුන් විශේෂයෙන් මතක් කරන්න ඕනැ. ඒ දෙන්නා නිසා තමයි මම රංගන ක්ෂේත්‍රයේ මුලින්ම ගමනක් ආවේ. 

ධනු විජේරත්න

20210304Damith-1 20210304Damith-2