ලක්ෂපාන ඇල්ල සේ ගලා හැලෙන්න



2016-11-10-ent-228

මෙවර අපගේ සංචාරය සඳහා තෝරාගත්තේ ස්වභාදහමින් අපට රටට උරුම වූ තවත් එක් සුන්දර දියඇල්ලක් නැරඹීමටය. එය බලන්නට මුදලක් අය නොකරන නිසා සහ එහි මිනිසුන් වැඩි වශයෙන් නොගැවසෙන හෙයින් අපට එය නැරඹීම පහසු විය.

2016-11-10-ent-217පාන්දර හතරට ගිනිගත්හේනෙන් උණු පොල් රොටි හා කිරිකෝපි උදර ගත වීම, කඳු පාරේ ගමනේ වෙහෙසට සේම උදෑසන පෙළන නිදිමතටද කදිම ප්‍රතිරෝධයක් එක් කළේය. අප උදෑසන පහට පමණ ගොඩවූයේ අපගේ නවාතැනටය. එනම්, හැටන් හි ඇති ලක්ෂපාන දියඇල්ලට අසලින්ම ඇති ගිමන්හල වෙතය. ළඟ ඇති ෆැක්ටරියෙන් ගෙනෙන ඩස්ට් නම්බර් වන් වලින් සැදූ ප්ලේන් ටී එකකින් ගිමන් නිවා අපි ගමන ඇරඹීමු.

තරුණයන් පිරිසකට විනෝදය පිණිස යන්නට කදිම ගමනාන්තයක් ලෙස ලක්ෂපාන දැක්විය හැක. එය එතරම් නිස්කලංකය. වේල්ලෙන් වතුර කඳන් නිදහස් වන මොහොතක හැර ලක්ෂපාන දිය ඇළි මුදුනේ ස්නානයද විනෝදජනකය. ලක්ෂපානට බසින තැනට ඉදිරිපසින් "සප්තකන්‍යා" කඳුවැටිය දිස්වෙයි. එය බොහෝ විට මීදුමෙන් වැසී ඇත. කොත්තල්ලෙන ගම සුන්දර මිනිසුන්ගෙන් පිරි ගමකි. ඔවුන්ගේ මුහුණුවල ආගන්තුක බවක සේයාවක් නැත. එය සිනහා පිරි මුහුණින් සැම විටම දිලිසෙයි. අන්ත දුෂ්කර ජීවිතයක වුව ඔවුහු සුවය සතුටම විඳිති. එහෙයින් තරුණ වචනයෙන් ආතල් යැයි කියන්නට හැකි ආස්වාදයක් ලක්ෂපාන දියඇල්ල නැරඹීමට යාමෙන් විඳිය හැකිවනු ඇත.

දියඇල්ලට බැසීම ආරම්භ වන තැනම මග කියන සලකුණක වූයේ මීටර් තුන්සියක දුරකින් ලක්ෂපාන ඇල්ල ඇති බවය. පඩි 724ක් ඇති බවට කියන එම ගමනේදී බොහෝ දෙනෙකු පඩි ප්‍රමාණය ගණන් කළද, අපට එය මගහැරුනේ මගදිගට වූ අනේකවිධ සොඳුරු දසුන් නිසාවෙනි. ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන්, මෙතෙක් දැක නැති කැමෆ්ලාජ් වූ කෘමි සතුන් අපගේ ඇස ගැටිණි.

බිදෙන් බිඳ දියඇල්ල පෙනෙන්නට ගනියි. එය සැබෑ චමත්කාරයකි. පඩියක් පඩියක් පසා එය සුන්දරව පෙනෙයි. ගස්කොළන් මැදින් බාධා වෙමින් පෙනීම දියඇල්ලේ අගය වැඩි කරවයි. ඒ සමග අපි පඩිපෙල් අවසන් කර ගල් මතට පය තැබීමු. එම ගල් හොඳින් මැදී තිබුණු නිසා ජල ප්‍රමාණය ඉහළ යාමත් සමග වේගවත් ජල කඳට ඔරොත්තු දී සුමට වූ බවට සලකුණු ඒවායේ පෙනෙයි. රිළවුන් අතරින් පතර ඔළුව දමනවා දැකගත හැකිවිය. දියඇල්ල නොනැවතී කඩා හැලෙයි. ඒ මැද පොකුණු ලෙස සෑදුණු වතුර එකතු වුණු තටාකවල අධිසීතල ජලය පිරී ඇත. සෑම නැනෝ තත්පරයකම සිරුරට ඇල්පෙනෙත්ති තුඩකින් විඳින්නා සේ වතුර බිඳු විදියි. එය රිදුමක් නොවන බව අත්විඳින්නට ඔබ එහි යායුතුය.

මෙය මිනිසුන් කෘතිමව සැකසූවක් නොවේ. මෙවන් පර්වත කොටස් ඒ ඒ පරිද්දෙන් එක් කිරීම ස්වභාවධර්මයා විසින් කාලයක් තිස්සේ කලාත්මකව කළ නිමැවුමකි. ඒවා මතට නගිමින් බසිමින් දවසක් ගතකළ හැක.

අපි ගමේ සිට දියඇල්ලේ තටාකය අසලට බැසි ගිය තැනෙන් එපිටට වන්නට පිහිටි කැලයට ගොඩවූවෙමු. එහි සෙවණ වෙනුවෙන් සිටින්නට ඉතා සූක්ෂම ලෙස මට්ටම්ව සැකසුණු ගල් තලා සහ ගල් වහල ඇත. අප ඒ අසලට ගොස් හැරී ආවේ නහයට දැනුණු දුඟන්දය නිසාය. ඒ කොටින්ගේ අසූචි සුවඳකි.

මෙම සටහනෙන් ඔබට කරන ආරාධනය එය විඳින්නටය. අපගේ පාඨකයා දැනුමින් මෙන්ම හැඟුමින්ද පරිපූර්ණවනු අපගේ බලාපොරොත්තුවයි. කිලෝමීටර් එකසීය විස්සක පමණ වූ ගමනේ, අපේ මාර්ගය වූයේ අවිස්සාවේල්ල, කරවනැල්ල, යටියන්තොට, කිතුල්ගල, ගිනිගත්හේන හරහා ලක්ෂපාන දියඇල්ලටය. මාර්ග සංවර්ධනයට පිංසිදුවන්නට ෆෝ වීල් වාහනයක අවශ්‍යතාවය අපට හොඳින්ම දැනුණි. අන්තර්ජාල පහසුකම් ලැබීම ඉතා අපහසුය. අතරමග රසවත් ආහාරයක් හෝ කටගැස්මකට ගත හැකි ආහාරයක් ගන්නට මෙහි අවන්හල් ඉදිකර ඇත. රාත්‍රී කඩද සොයා ගත හැක. ජලයෙහි ඉතා නැවුම් රසක් ඇති නිසා බෝතල් ජලය ගෙන නොයන්න. ලක්ෂපාන ඇල්ලට බසින තැනම ඇති නවාතැන්පොළෙන් ඔබට රසවත් ආහාර, ඔබේ රාත්‍රී සාදයකට අවශ්‍ය අනුපාන සකසා දෙනු ඇත.

මෙලෙස දියඇල්ලේ යට සිට එය නරඹා එන ඔබට ඔබේ ගමන එතෙකින් අවසන් කළ නොහැක. ඔබට දිය ඇල්ලේ මුදුනට යෑමට හැකියාව ඇත. පෙර තරම් නොවූවද පඩිපෙල් දෙසීයක පමණ බැස්මකදී එය ඔබට දකින්නට ලැබෙනු ඇත. එම පඩිපෙල බසින මුල්ම මොහොතේ ඇසට හසුවන පුවරුවක් වෙයි. එය පවසන්නේ ස්නානයේදී වේල්ලෙන් ජලය නිදහස් කිරීමේදී එන ජල ගැල්ම සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරන ලෙසටය. එය ඔබට බැලූ බැල්මට පහළ සුන්දරත්වය තරම් දසුනක් මවන් නැතිවා විය හැක.

නමුත් තරමක් අසීරූ දිය සෙවෙල බැඳුනු ගල් අතරින් බැස අවසානයේ ඔබ පිවිසෙන්නේ මනස්කාන්ත දසුනක් මතටය. සයනයන් මෙන් තැනින් තැන පිහිටි ගල් තලාවන්ය. ඊට පහළින් දිය එකතු වූ මාලුන් පිරි පොකුණුය. මැද්දෙන් වේගවත් දිය පහරක් ගලා යයි. එය පෙනුමට අතිසුන්දර වුවද හිතට භයංකර හැඟීමක් එක් කරන්නකි. ඉන් පහළ අපි මෙම සටහනෙහි ආරම්භයේ සිට ලියූ දියඇල්ල කඩා හැලෙන තටාකය ඇත. සුදු පෙණ නංවමින්, ජල බින්දු දසත විදිමින්, දැඩි සුළඟක්ද සමගින් ජලය ගලා යයි. එය කොතෙක් බලා සිටියත් දෑස් ඉවතට නොගන්නට සිතෙන දසුනකි. දියඇල්ල මුදුනේ තැනින් තැන පර්වත ලේයරයන් අතරෙහි විශාල පරතරයන් වෙයි. ඒවා අතරද කුඩා දියඇළි සෑදී ඇත. සුදු පෙනින් පිරී ඇත්තේ දැඩි වේගයකින් පතිත වන ජල කඳ නිසාවෙනි. අවට එකඳු මිනිස් පුළුටක් නැත. ගස්වලින් වේළී ගිය කොළ වැඩිම මනාපයෙන් සුළං අවසරයෙන් පහළට විසිවන්නේ සිරුරේද දැවටෙමිනි. එය ස්නානයටම සැකසුණු තැනකි. දැඩි සීතලකින් සිරුර වෙලා ගනියි. කරවටක් දියේ ගිලී ජලයෙන්ම සුමට කළ කළු ගලකට පිට තියාගෙන සිටීද්දී නැගෙන හැඟීම, බාත් ටබ්වලින් මතු නොවේ. ජලයෙන් ගොඩවන්නට නොසිතෙයි. ජලයෙන් ගොඩවන්නට සිතේනම් ඒ එකම එක හේතුවක් නිසා පමණකි. දැඩි සීතලට ඉහළ යන කුසගින්න නොවන්නට ජලයෙන් ගොඩවන්නට වෙනත් හේතුවක් නැත.

 

සටහන - රචින්ත ජයවර්ධන / ඡායාරූප - දර්ශන් ජූලියන්

 

2016-11-10-ent-234
2016-11-10-ent-233
2016-11-10-ent-232
2016-11-10-ent-231
2016-11-10-ent-230
2016-11-10-ent-229
2016-11-10-ent-227
2016-11-10-ent-226
2016-11-10-ent-225
2016-11-10-ent-224
2016-11-10-ent-223
2016-11-10-ent-222
2016-11-10-ent-221
2016-11-10-ent-220
2016-11-10-ent-219
2016-11-10-ent-218
2016-11-10-ent-216
2016-11-10-ent-215
2016-11-10-ent-214
2016-11-10-ent-213
2016-11-10-ent-212
2016-11-10-ent-211
2016-11-10-ent-210
2016-11-10-ent-209
2016-11-10-ent-208
2016-11-10-ent-207