සුකුබා කඳු අතරේ...



2016-11-11-ent-14

ෆුජියාමා ගිනිකන්ද පිහිටා ඇත්තේ ජපානයේය. එය ලෝ ප‍්‍රකට බව සැබෑය. නමුත් ජපානයේ ජනතාව අතර වඩා ප‍්‍රකට කඳු පෙළ වන්නේ සුකුබා කඳු පෙළය.

Travel-with-Sandunඋසින් අඩි 2877ක් පමණ උසැති වූ මෙම සුකුබා කන්ද පිහිටා ඇත්තේ ද්විත්ව හැඩයෙන් යුතු මුදුනත සහිතවය. එනිසා මෙය විශේෂිත සළකුණක් යැයි ජපාන වැසියන් විශ්වාස කරන දෙයකි. කඳු ද්විත්වයක් හෙවත් නිවුන් කඳු යුගලක් ලෙස හැඳින්වීම වඩා උචිතය. නියෝනායි සං සහ නාන්තායි සං ලෙස මේ කඳු ද්විත්වය හැඳින්වේ.

ජපානයේ ඇති කඳු බොහොමයක් ගිනි කඳු ලෙස වර්ග වී තිබුණ ද මේ සුකුබා කඳු පෙළ පමණක් ස්වභාවික කඳු පෙළක් ලෙස හැඳින්විය හැකිය. ජපන් වැසියන් මේ කඳු මුදුනත හඳුන්වනු ලබන්නේ ඉසනාගි සහ ඉසනාමි යනුවෙනි. එනම් දෙවියකු සහ දෙවඟනක ලෙසිනි. මේ ලෙසින් දේවත්වයෙන් පිදුම් ලැබීමට හේතු වූ කාරණා තිබේ. මිත්‍යා මතයට අනුව මේ දෙවියන් සහ දෙවඟන විසින් අමනුෂ්‍ය දෝෂ නිසා හටගන්නා විපත්වලින් මෙන්ම ලෙඩ රෝගවලින් ජනතාව ආරක්ෂා කරන බව ඔවූහු සළකති. එමෙන්ම ජනතාවට ආශිර්වාද කරන බවත් ළමුනට ආශිර්වාද ලැබෙන මෙන්ම එකිනෙකා අතර සහයෝගීතාවය ඇති කරවනු ලබන බවත් ජනතා විශ්වාසයයි.

ජපානයේ වෙසෙන බොහෝ ජනයා මෙන්ම විදේශීය සංචාරකයින් පවා නිරන්තරයෙන් මේ නිම්නයේ සැරි සරන්නේ මෙකී හේතු නිසාය. සුකුබා විහාරය නැතහොත් සිද්ධස්ථානය තනා ඇත්තේ මේ දේවත්වයෙන් කෙරෙන ඇදහිලි නිසා වූ වැඳ පුදා ගැනීම් වෙනුවෙනි. සුකුබා කඳු නිම්නයේ මේ සිද්ධස්ථානය පිහිටා තිබේ.

සුකුබා කඳු මුදුනතට යාමට පෙර මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ මෙම සිද්ධස්ථානයට පැමිණ මුළින්ම වන්දනා කිරීම් කරති. පසුව පඬුරක් පුද කිරීමට ද අමතක නොකරති. නියෝතායි මුදුනතට යාමට ට‍්‍රෑම් රථ ආකාරයෙන් වූ පීලි මත ධාවනය කෙරෙන කේබල් රථ යොදවා තිබේ.

ඒ ගමන පටන් ගන්නේ මියවාති ස්ටේෂම වෙතිනි. නමුත් ජපානයේ බොහෝ වැසියන් ලොකු කුඩා කොයි කවුරුත් වැඩිපුර මනාප දක්වන්නේ පා ගමනින්ම කඳු මුදුනත තරණයට එක්වීමට ය. ඒ සඳහා වූ වෙනම මගක් තනා තිබේ. බෙහෙවින් උද්යෝගීමත්ව එලෙසින් කඳු තරණයට එක්වීම ඔවුනගේ ස්වභාවය මෙන්ම එලෙසින් පා ගමනින් යාම නිසා දෙවියන්ගේ ආශිර්වාද මෙන්ම මේ කඳු අරක්ගෙන සිටින ගෙඹියන්ගේ දේවත්වයෙන් වූ ආශිර්වාද ලැබේ යැයි බොහෝ දෙනා විශ්වාස කරති.

 

2016-11-11-ent-15

 

කේබල් රථයෙන් ඉහළට යනවිට අවට භූමි දර්ශන ඉතා මනරම්ව දර්ශනය වේ. එම රථයෙන් යන මග තැනීමට විශේෂිත ප‍්‍රයත්නයක් දරා ඇති වගට වූ සාධක තිබේ. ඊට හොඳම උදාහරණය උමගය. මීටර 200ක් පමණ දුරකින් යුතු උමං මාර්ගය ද පසුකෙට යා යුතුය. පහත සිද්ධස්ථානය අවට කලාපයේ තිබූ වසර දහස් ගණනක් ඉපැරණි ගස් වර්ග ඉහත භූමියේදී ද දැකගත හැකිය.

විශාල බඳකින් සමන්විත ඒ මහා වෘක්ෂයන් මෙතැනට පමණක් සීමා වූ ඒවා යැයි සඳහන් වේ. සිද්ධස්ථාන භූමියේ මෙන්ම මෙකී පරිසරයේ ඇති ලී යොදාගෙන තනන ලද ගෘහ නිර්මාණ සඳහා යකඩ ඇණ භාවිත කර නොතිබීම ද සුවිශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

කේබල් ට‍්‍රෑම් රථය ගමන් කරන්නේ සන්චෝ ස්ථානය දක්වා පමණි. එතැනට ගොස් පහත භූමි දර්ශන රිසිසේ නරඹන අතරේ කැමති අහරකින් සප්පායම් වී ගිමන් හැර ඊළඟට නියෝතායි මුදුනත දක්වා පා ගමනින් යාමට ඉඩ සළස්වා තිබේ. එය තරමක් දුෂ්කර වූ ගමනකි. ආරක්ෂාව ගැන නිතරම සැළකිලිමත් වන්නැයි මේ ගමනේ අපේ මග පෙන්වන්නා වූ ප‍්‍රදීප් ඉෂාන්ත නාරංගොඩ නිරන්තරයෙන් සිහි ගැන්වූ දෙයක් වීය. මෙම දේවත්වයෙන් වැඳුම් පිදුම් ලබන සුකුබා කන්ද සහ ඒ අවට කලාපයේ ජීවත්වන මිනිසුන්ගේ ඇදහිළි සහ ජන ජීවිතයෙහි විස්තර ද ලෝ ප‍්‍රකට සුකුබා සරසවිය ගැන වූ විස්තර ද ඔහු විස්තර කළේය.

"නියෝතායි මුදුනතට ගියාම ජපානයේ ඇති දෙවැනියට විශාලතම වැව ලෙස සැළකෙන ‘කසුම්ගව්රා’ වැව හරි අපූරුවට දර්ශනය වෙනවා. ඒ විතරක් නොවෙයි ෆුජි කන්දත්, පැහැදිලි දිනවලදී තෝකියෝ ටවර් එකත්, ජපානයේ බටහිර දකුණ සහ නැගෙනහිර දර්ශන හරි අපූරුවට දර්ශනය වෙනවා”. ප‍්‍රදීප් ඉෂාන්ත අපට පැහැදිළි කළේය.

නියෝතායි මුදුනතට ගිය විට එය සැබෑවක්ම යැයි සිතිනි. එතැනදී දුටු සොඳුරු දසුන් මොනතරම් නම් සොඳුරුදැයි කියා වචනවලට පෙරළිය හැකි නොවේ. කෙතරම් බලා සිටියද එපා නොවන සොබා දහමේ සොඳුරුතම දසුන්ය. නමුදු ආවොතින් යා යුතුමය. සුකුබා කඳු මුදුනත සිට නැවත යා යුතු වූ ගමන ද හරිම ආශ්වාදජනක වූවාක්ම විය. මුදුනතට ඒමට ඉඩ සළස්වා තිබූ ට‍්‍රැම් රථ මෙන් වූ කේබල් රථයට වඩා පහතට යනවිට ඇති කේබල් රථ ගමන වෙනස්ය. රැුහැනේ එල්ලී ඇති රථය පහතට යනවිට එකිනෙක වූ පාරිසරික දසුන් නෙත ඉදිරියේ දිග හැරුණේ නේක විද සිත්තර ගොන්නක් මෙනි. ඒ චාරිකාවේ නිමාව ඇත්තේ අප පටන්ගත් තැනමය. නමුත් වෙනස වූයේ ආ මග නොවී වෙනත් මගෙකින් එතැනට ඒමට කටයුතු යොදා තිබීමය. සුකුබා කඳු වෙත යායුතු මග එලෙසින් නිර්මාණශීලිව නිර්මාණය කරන ලද්දකි. සොබාදහමේ අපූර්වත්වය වින්දනය කිරීමට මෙන්ම ඒ පරිසරය විනාශ නොකොට එය ආස්වාදය කිරීමේ අවකාශය මෙහි නිර්මාණය වී තිබීම අගය කළ යුතු දෙයක්ම වන්නේය.

සංචාරක අනුග‍්‍රහය Extra Nicey Travels

ස්තුතිය - ප‍්‍රදීප් ඉෂාන්ත නාරංගොඩ

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-11-11-ent-13
2016-11-11-ent-12
2016-11-11-ent-11
2016-11-11-ent-10
2016-11-11-ent-09
2016-11-11-ent-08