සමනළ කඳු වළල්ලෙන් වටවූ පිං බිම 'පුංචි දඹදිව'



2017-06-15-ent-17

පවුලේ උදවිය සමග සංචාරකයක නිරත වනවිට එම සංචාරය සඳහා එක් වන වැඩිහිටියන්ගේ සිත් පිනවීම සඳහා හා කුඩා දරුවන්ට අපගේ අතීත උරුමයන් පිළිබඳව යම් දැනීමක් ලබාදීම සඳහා සංචාරය අතරතුරදී හමුවන පූජනීය ස්ථාන වෙත පියනැගීම සාමාන්‍ය සිරිතකි.

2017-06-15-ent-15සමන් දෙවියන් වැඩ සිටින රත්නපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් සංචාරකයන් සංවිධානය කිරීමේදී එම සංචාරය අතරවාරයේ දී වන්දනාමාන කිරීමට අප තෝරාගනු ලබන්නේ සබරගමු පළාත තුළ පිහිටා තිබෙන ඓතිහාසික ස්ථාන අතුරින් ප්‍රධාන තැනක් හිමිව තිබෙන සබරගමු මහ සමන් දේවලයයි. සමන් දේවාලයට අමතරව එම ප්‍රදේශයෙ සංචාරයේ නිරතවන සංචාරකයන්ට වන්දනාමාන කිරීම සඳහා තවත් අපූරු ඉසව්වක් සොයා මෙවර අපි ගමන් කළෙමු. මෙම අපූරු ඉසව්ව පිහිටා තිබෙන්නේ රත්නපුර නගරයේ සිට කිලෝමීටර් 22ක් දුරිනි. එම දුර ගෙවා දැමීමට රු.70ක දුරක් බස්රථයෙන් ගමන් කළ යුතුය. රත්නපුර නගරයේ සිට රජගඟ දිවෙන බස්රථයක නැගපු අප එම ඉසව්ව සොයා ගමන් ඇරඹුවෙමු. බස්රථය ගමන් කළ මාර්ගය තාරදමා මනා ලෙස සකස් කර තිබූ පටු මාර්ගයකි. පසුගියදා ඇඳ හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග පස් කඳු කඩා වැටී මාර්ගය එක් එක් තැනින් අවහිර වී තිබුණි. කෙසේ හෝ ඉබි ගමනින් පැමිණි බස්රථය පැයකට අධික කාලයක් ගෙන අප සොයා ආ ඉසව්වට ළඟා විය.

සබරගමු පළාතේ පමණක් නොව ලක්බිම පුරාම මේ වනවිට ප්‍රචලිතව තිබෙන පුංචි දඹදිව මෙවර අපගේ ගමනාන්තයයි. ඉන්දියාවට ගොස් දඹදිව තිබෙන සතර සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට ආර්ථික පහසුකම් නොමැති අයවලුන්ට බුද්ධාලම්මන ප්‍රීතියෙන් යුතුව වැඳපුදා ගැනීම සඳහා ඉදිකර තිබෙන ‘පුංචි දඹදිව’ නමින් හැඳින්වෙන රජගඟ අසූමහ ශ්‍රාවක පස්විස් බුදුරජ මහා වෙහෙර බිමට පා තැබීමේදී අප සිටින්නේ ඇත්තෙන්ම දඹදිවද යන හැඟීම අපගේ සිත් තුළ ජනිත විය. එම පිං භූමිය එතරම්ම පූජණීය ලෙස නිර්මාණය කොට තිබේ.

සිරිපා කඳු හිස පාමුල රජඟග නදිය අසබඩ නිර්මාණය කොට තිබෙන මෙම පිං භූමියේ ආරම්භක කථාව අසූ එක් වැනි දශකය කරා දිවයයි. සබරගමු පළාත තුළ නොදිය අති දුෂ්කර පෙදෙසක් වූ ගිරිමලේ අභිනවාරාමාධිපති දඹාවේ විනයවංශ නා හිමියන්ගේ ශිෂ්‍යරත්නයක් වූ ගිරිමලේ චන්ද්‍රා‘ලෝක පොඩි හාමුදුරුවෝ එවකට විසිහතර හැවිරිදි පසු වූ උගත් තරුණ භික්ෂුවකි. පැවිදි දිවියට ඇතුල් වන්නට පෙර සිට ශාසනික සේවාවට සමාජ මෙහෙවරට කැප වී සිටි උන්වහන්සේ 1981 අප්‍රේල් 14 දා සිංහල අලුත් අවුරුදු දිනයේ පිටවී ළදු කැළෑව මැදින් ගලබඩ රාජ්‍යයට අයත් රත්ඟග අසබඩ පිහිටි රූස්ස මහ වනයට වැඩම කර තිබෙනුයේ ශ්‍රී සම්බුද්ධ ශාසනයට තවත් අපූරු දායාදයක් එක් කිරීමේ අදහස පෙර දැරිකරගෙනය.

සිංහල අලුත් අවුරුදු දින රත්ගඟ අසබඩ වැඩම කළ තරුණ භික්ෂුව දුටු ගම්වාසීන් බෙහෙවින් සොම්නසට පත්ව උන්වහන්සේට රැය පහන් කිරීම සඳහා වල් සෙවිළි කළ ඉටි රෙදිවලින් වටකල කුඩා පැල්පතක් තනාදීමට ඉදිරිපත් වී තිබුණේ මහා ශ්‍රද්ධාවත් සමගම දින කිහිපයක් ඇතුළතදී ගම්වාසීන්ගේ උත්සහයෙන් ආගමික වතාවත් කිරීම සඳහා කොළ අතු සෙවිළි කළ කුඩා ධර්ම ශාලාවක්ද ඉදිකර තිබේ. එම ධර්ම ශාලාව තුළ 1981 වෙසක් පුර පසලොස්වක පුන්පෝදා බුදුරදුන්ගේ තෙමඟුල සමරමින් ප්‍රථම පිංකම පැවතුණ චන්ද්‍රාලෝක හිමියන් වටා අවට ගම්මානයන්හි පදිංචි සැඳැහවතුන් ගැමි ජනතාව දහස් ගණනින් එක් රොක් වූයේ නොසිතූ විරූ අන්දමටය.

එදා චන්ද්‍රාලෝක හිමියන් වටා එක්වූ පිරිස එක්ව අවුරුදු දෙකක් වැනි කුඩා කාලයකදී බුදුරජ විහාරය ඉදි කළේය. එය ලෝකයේ ප්‍රථම අසූමහ ශ්‍රාවක පස්විසි බුදු රජමහ විහාරය ලෙස ඉතිහාසයට එක්වෙයි. එය සම්මා සම්බුදු රජාණන් වහන්සේ එදා දඹදිව ජේතවනාරාමයේ අසූමහ ශ්‍රාවක රහතුන් වහන්සේලා පිරිවරා ගනිමින් ධර්මය දේශනා කළ ආකාරය විදහා දක්වන සම්සභා මණ්ඩපයක් ඇතුළතින් දීපන්කර බුදුරදුගේ පටන් කාශ්‍යප බුදු දක්වා වූ බුදු රජාණන් වහන්සේලාගේ පිළිරූ පිටත මාලකයේද තිබෙන සේ ඉදිකර තිබේ.

සූවිසි බුදුන්ගේ ප්‍රතිමාවන් 24ක් අසූමහ ශ්‍රාවක මහ රහතන් වහන්සේලාගේ ප්‍රතිමා 80ක් වශයෙන් සියලු ප්‍රතිමා එකම වහළක් යට එකම ස්ථානයක එකම විහාර මන්දිරයක් තුළ නිර්මාණය කර තිබෙන එකම ස්ථානය මෙයයි. මෙවන් ස්ථානයක් ලෝකයේ වෙනත් කිසිම ස්ථානයක නොමැති නිසාවෙන් මෙය ලෝකයේ ප්‍රථම අසූමහ ශ්‍රාවක පස්විසි බුදුරජ මහා විහාරය ලෙසින් ඉතිහාසයට එක්වෙයි.

මෙම විහාර භූමියේ රෝපණය කර තිබෙන බෝධිය සැවැත්නුවර ජේතවන වෙහෙර බිමේ වැඩසිටින ආනන්ද බෝධීන් වහන්සේලාගෙන් ලබාගත් බෝ ගෙඩියක් රෝපණය කිරීමෙන් සාදාගන්නා ලද්දකි. එම මෙහි තිබෙන චෛත්‍ය සිංහල රජ දවසේ සිට මේ දක්වා බසරගමු පළාත තුළ ඉදි වූ සුවිශාලතම චෛත්‍යයකි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ඉදි වූ එකම දෙමහල් මහාසෑය වන්නේද මෙයයි. මෙහි පහත මාලය සම්බුදු පියාණන් වහන්සේගේ දස පාරමිතා පුවත් නිර්මාණය කොට තිබේ. මෙහි උඩු මහලේ මහා භද්‍ර කල්පය තුළ මෙලොවට පහල වී වඳාල කුකුසල/ කෝණාගම/කාශ්‍යප/ ගෞතම යන සතර බුදුවරුන් වහන්සේලා බුද්ධ ප්‍රතිමා සතරද සධාතුක ධාතු නිධන් කළ චෛත්‍යයද වේ.

ලෝකය පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වූ තථාගතයන් වහන්සේ බුදුවීමට පිටදුන් සිරිමා බෝ සමිදුන්ගේ අභියස ධර්මාශෝක මහ රජතුමා විසින් නිර්මාණය කළ විහාරය බුද්ධගයාවය.

මෙම ස්ථානයේ දී බෝසතානන් වහන්සේ බුද්ධත්වය පසු කොට ඇත. එම බුද්ධගයා මහා විහාරයේ අනුරුවක් මෙම පිං බිම තුළ නිර්මාණය කොට ඇත.

දුටු දුටුවන්ගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවන දර්ශනීය නිර්මාණයක් ලෙස මෙය නිමවා ඇත.

එමෙන්ම දඹදිව මහාබෝධියේ දෙවන අංකුර ශාඛාවද මෙහි රෝපණය කර තිබේ. ඊට අමතරව දඹදිව කුසිනාරාවේ පිහිටි පරිනිර්වාණ මංචකයේ අනුරුවද බරණැස ඉසිපතනයේ ඉදිකර තිබෙන ප්‍රථම ධර්ම දේශනාවෙහි අනුරුවක්ද , සබරගමු පළාතේ විශාලතම කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ පිළිරුවක්ද, දොළොස් මහා පහන් මන්දිරයක්, සමන් දේවාලයේ සහ අවට ගම් දනව් 14 ඒ තුළට ශබ්ධය ඇසෙන පරිදි දෝංකාර දෙන ඝණ්ඨාර කුලුනක් මෙම භූමියේ නිර්මාණය කොට තිබේ.

මේ වනවිට වන්දාමාන කිරීම සඳහා නිර්මාණය කොට තිබෙන්නේ ඉතා සීමිත වූ කොටස් කිහිපයක් පමණි. ඉදිරියේ දී ධම්මික ස්ථූපය අනුරුවක්, මහාමායා දේවිය දුටු සිහිනයේ අනුරුවත්, ලුම්බිණි අනුරුවත්, සිදුහත් කුමරුට නම් තැබීමේ අනුරුවත්, සතර පෙර නිමිති අනුරුවත්, ගිහිගෙය නික්ම යාමේ අනුරුවත් , සිද්ධාර්ත කුමරුගේ හිසකෙස් කැපීමේ අනුරුවත්, නේරංජනා ගඟ තරණය අනුරුවත්, දුෂ්කර ක්‍රියා කිරීමේ අනුරුවත්, සත් සතියට අදාළ සිද්ධි ධාමයට අනුරුවත්, මහින්දාගමනයේ යක්ෂ දමනය අනුරුවත් වැනි බුදුරදුන්ගේ ජීවිත කතාවට අදාළ සිද්ධි දාමයන් මෙහි ඉදිකිරීමට යෝජිතය. ඔබත් වරක් හෝ මෙහි යන්න. ගොස් බැති සිතින් වන්දනාමාන කර අපරට සම්පූර්ණ දඹදිව පුණ්‍ය භූමියක් නැරඹීම සඳහා හැකි පමණින් ආධාරද ලබාදෙන්න.

 

2017-06-15-ent-25 2017-06-15-ent-24 2017-06-15-ent-23 2017-06-15-ent-22 2017-06-15-ent-21 2017-06-15-ent-20 2017-06-15-ent-19 2017-06-15-ent-18  2017-06-15-ent-16