​සීගිරියට පමණක් දෙවෙනි වූ 'බඳගිරිය විහාරය'



2017-09-28-ent-269

කතරගම පුරවරයේ සංචාරයක නිරත වනවිට ගමන් කළ හැකි ස්ථාන පිළිබඳව සංචාරක ඔබව දැනුම්වත් කිරීම සඳහා ඇරඹි අපගේ සංචාරය මගින් මෙවර ඔබව රැගෙන යන්නේ බෝහෝ දෙනෙකුගේ නෙත නොගැටුණ වසර 2000ක පමණ අතීතයකට උරුමකම් කියන මනස්කාන්ත පරිසරයක පිහිටි පුරාණ රජමහාවිහාරයක් වෙතටය.

අපට මෙම ස්ථානය අහඹු ලෙස හමුවූයේ හම්බන්තොට සිට මත්තල ගුවන්තොටු පොළ දක්වා දිවෙන මාර්ගයේ ගමන් කරන විටය. අප එම මාර්ගයේ වෙනත් කාර්යයකට ගමන් කරන අතරතුර විශාල ගල් පර්වතයක පිහිටි ස්ථූපයක් දිස්වුණි. එය ඉතා මනස්කාන්ත ලෙස පිහිටි නිසා අප එම ඉසව්ව පිළිබඳව ගම්වාසීන්ගෙන්ද තොරතුරු අසාගෙන ඒ දක්වා ගමන් කළෙමු. මෙම විහාරස්ථානය පිහිටි ගම්මානය %බඳගිරිය^ ලෙසින් හඳුන්වනු ලැබේ. මෙම ප්‍රදේශය වඩාත් ජනප්‍රිය වී තිබෙනුයේ මෙරට ආහාර පරිභෝජනයට අවශ්‍ය බත බුලත සපයන ප්‍රදේශක් ලෙසය. අප එම ගොවිබිම්ද පසුකරමින් විහාරස්ථානය වෙත ළඟා වුණෙමු.

අක්කර 102ක පමණ භූමි ප්‍රදේශයක ව්‍යාප්තව වී ඇති බඳගිරිය පූජා භූමිය අක්කර 20ක් පමණ වපසරියක් වැසී ඇත්තේ කාල වර්ණ ශෛලමය පර්වතයකිනි. එකිනෙකට බද්ධ වූ විහිර ගල සහ වෙහෙරගල හැරුණු විට පිරිත් නම් වූ ගල් තලාවකින්ද සමන්විත වේ. විහාරස්ථානයට අයත් වූ තවත් අක්කර 20ක පමණ කෙත් යායක් යල මහ දෙකන්නයම අස්වද්දවනු ලැබේ. ඒ සඳහා අවශ්‍ය කරන ජලය සපයනු ලබන්නේ අක්කර 15ක පමණ වපසරියක පිහිටා තිබෙන බඳගිරිය වැවෙනි.

අප විහාරස්ථානයට ඇතුළු වී අත් පා දෝහනය කරගෙන හිස දවාලන අව්රශ්මිය මධ්‍යයේ ගල් පව්ව මතට ගොඩවීමට ඒ දෙසට ගමන් කළෙමු. ඉහළට ගමන් කිරීමට ඇත්තේ පියගැටපෙළකි. කළු ගල් පර්වතයේ කෘතීමව තනා තිබෙන මෙම පියගැටපෙල ගලින් තැනූ ලෙසම ඉතා සාර්ථක ලෙස ඔපමට්ටම් කොට සමාන්තරව නිර්මාණය කර තිබේ. හිරු රශ්මිය පර්වතයට වැටී ගිනියම්ව තිබුණද, එය අපගේ දෙපාවලට නොදැනුණේ අපට එහි ඉහළට ගමන් කිරීමට තිබූ දැඩි අශාව නිසාවෙනි. මෙහි ටිකදුරක් ඉහළට ගමන් කරන විට අපට එම ප්‍රදේශයේ වගාබිම් සහ බඳගිරිය වැවේ ඉතා විචිත්‍රවත් දර්ශනයන් දිස්විය. ඒ දෙස නෙත් යොමා බලා සිටි අප පියගැටපෙළ ආසන්නයේම වෙන්කර තිබෙන සෙල්ලිපි කිහිපයක්ද නිරීක්ෂණය කරමින් හිරු රශ්මිය නොතකා ඉහළටම ගමන් කළෙමු.

පර්වතය ඉහළටම පැමිණි පසු වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන අපගේ පැරැණි සංකල්පය සිහියට නැගුනේ එය මනාව මෙම ස්ථානයට ගැළපෙන ලෙසිනි. අප සිටි ස්ථානයයේ සිට පහළ බැලූවිට එක් පසකින් බඳගිරිය ගම්මානයත්, තවත් පසකින් වැවත්, තවත් පසකින් පන්සලත් මනාව දිස්වුණි. එකිනෙකට බද්ධ වූ විහාර ගල සහ වෙහෙරගල හැරුණු විට පිරිත් ගල නම් වූ ගල් තලාවකින්ද මෙම පර්වතය සමන්විත වේ.

 

2017-09-28-ent-264

 

ඓතිහාසික රුහුණු පුද බිම් අතුරෙන අද්විතීය ස්ථානයක් ගන්නා මෙම රජමහා විහාරය පිළිබඳ ලියැවුණු, 13 වන සියවසේ සිට 19 වන සියවස දක්වා කාලයට අයත් ශිලා ලේඛන ගල් පර්වතයේ දක්නට ලැබේ. මහා වංශයේ දැක්වෙන රුහුණේ රජකල කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද %බධගල් දොර^ විහාරය යනු බඳගිරිය විහාරය යැයි විවිධ මතද පවතී. එහෙත් මහානාග යුවරජ දවස ලියන ලද ශිලා ලේඛන සාක්ෂී සපයන්නේ මෙම පුද බිම එකී රාජ්‍ය කාලයට අයත් වන බවය.

සීගිරිය හැරුණු විට ගල් පර්වතයක් මත සියලු ඉඳිකිරීම් කරන ලද එකම ස්ථානය බඳගිරිය පුරාණ රජමහා විහාරය ලෙස පි‘ළිගත හැකිය. මෙය ශතක ගණනාවක් පුරා ගන වනාන්තරයේ අණසකට නතුව තිබී යළි නිරාවරණය වී ඇත්තේ 1950 දශකයේ බඳගිරිය ජනපදය පිහිටුවීමත් සමගය.

මානව වාසස්ථාන ලෙස යොදාගත් ස්වාභාවික ගල් ලෙන්, මහින්දාගමනයෙන් පසු භික්ෂු වාසස්ථාන සඳහා පූජා කර තිබේ. එවැනි ගල් ලෙන් 4ක් සහ කුඩා ලෙන් 6ක් මෙම ගල්පර්වතයේ දැකගැනීමට හැකිය. මෙම ලෙන් අතුරෙන් දැනට හඳුනාගෙන ඇත්තේ දීඝ නිකායේ අටුවාවේ එන රුහුණේ මිත්ත රහතන් වහන්සේ වැඩ සිටියේ යැයි සැලකෙන %කස්සක^ ලෙනය. ගල් පවුවේ සෙල් ලිපියක එන %මිත්තා ලෙන^ මෙම කස්සක ලෙන යැයි පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ මතය වී තිබේ.

භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා සෑම ආරාමයකම පාහේ පොකුණු ඉදිකර තිබෙනු අපි දැකඇත්තෙමු. ඒ සඳහා යොදාගෙන ඇත්තේ ස්වාභාවිකව නිර්මාණය වූ ගල් වලවල්ය. එවැනි පොකුණු වර්ග 5ක් දැනට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙන අතර, එම පොකුණු වර්ග 5ම මෙම පර්වතයේ දී දැකගැනීමට හැකියාව ලැබේ. එම පොකුණු වර්ග 5 අතරට අයත් වන්නේ මල් පොකුණ, පා පොකුණ, පියන් පොකුණ, ඇස් පොකුණ සහ කුට්ටම් පොකුණය.

එයින් මල් පොකුණක් ලෙස හඳුන්වනු ලබන්නේ මල් වලින් ගැවසීගත් පොකුණුය. පරි‘ධියෙන් ඉතා විශාල වූ පර්වතයේ තිබෙන මල් පොකුණ දිග අඩි 30කින් සමන්විත වන අතර, පළල අඩි 14ක් සහ ගැඹුර අඩි 04කින්ද සමන්විත වේ. මෙම පොකුන ඕලු, නෙළුම් ආදී පුෂ්පයන්ගෙන් පිරී පවතී. පර්වත මස්තකයෙහි පිහිටි චෛත්‍ය හා විහාර මන්දිරය වැඳ පුදා ගැනීමට යන බැතිමතුන් පා දෝවනය පිණිස ජලය ලබාගෙන තිබෙන පොකුණක් පර්වතයේ පිහිටා තිබේ. එය පා පොකුණක් වශයෙන් හඳුන්වා දීමට හැකියාව ලැබෙන අතර, එම පොකුණ දිග අඩි 11 කින් සහ පළල අඩි 04කින් යුක්ත වේ.

භික්ෂූන් වහන්සේලාට ප්‍රයෝජනය සඳහා නිර්මාණය කර තිබෙන පියන් පොකුණක් ද මෙහි තිබේ. එය විශාල ගල් පියනකින් වැසී තිබෙන අතර, ජලය ලබාගැනීමට පහසු වන ආකාරයෙන් එක් පසකින් මෙම විවෘත වී තිබේ. වර්තමානයේදීද පිරිසිදු ජලය තිබෙන මෙම පොකුණ අඩි 10කින් සහ පළල අඩි 05කින් යුක්ත වේ. මෙම පොකුණ නියං කාලවලදී පවා නොසිදෙන බව ගම්වාසීහු පවසති. එමෙන්ම මෙහි ඇස් පොකුණක්ද දක්නට ලැබේ. මිනිස් ඇසක හැඩය ගන්නා නිසා මෙම පොකුණු වර්ගය ඇස් පොකුණ ලෙස හඳුන්වනු ලැබේ. පැන් කෙන්ඩියක් දැමීමට තරම් ප්‍රමාණයට අතීතයේ දී පැවැති මෙහි විවරය මේ වනවිට ඉතා විශාල වී තිබේ. මේ වනවිට මෙහි ගැඹුර අඩි 105ක් වන අතර උස අඩි 2කින්ද, පළල අඩි 1.5කින්ද යුක්ත වේ. ඊට අමතරව මෙහි තිබෙන කුට්ටම් පොකුණ ස්වාභාවිකව පිහිටා තිබෙන මෙරට එකම දිය පොකුණ ලෙස හඳුන්වයි. මෙය ගැඹුරින් අඩි 15කින් යුක්ත වන අතර, දිගින් අඩි 8ක් සහ පළලින් අඩි 8කින් යුක්ත වේ.

මෙහි ප්‍රධාන වශයෙන් සෙල්ලිපි ත්‍රිත්වයක් දක්නට ලැබේ. ඊට අමතරව තවත් සෙල්ලිපි කොටස්ද මෙම පර්වතයෙහි දන්නට ලැබේ. බ්‍රහ්මීය අක්ෂරවලින් ලියන ලද සෙල් ලිපි හා මද්‍යතන යුගයට අයත් අකෂරවලින් ලියන ලද ශිලා ලේඛන ඒ අතර වෙයි. ඒවායින් 3ක් ක්‍රි.ව 3-4 යුගයන්ටද, 2ක් ක්‍රි.ව 6-7 යන යුගයන්ටද අයත් යැයි සැලකේ.

මෙහි තිබෙන සඳකඩපහණ අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් යැයි සිතිය හැකි ලෙස කැටයම් කිසිවක් නොමැතිව සමාන්තරව සකසන ලද ගලින් නිමවා ඇත. මෙහි පියගැටපෙල පාමුල තිබෙන සඳකඩපහණ හැර පර්වතය මත විහාර මළුවේද සඳකඩපහණක සළකුණු දැකගත හැක.

බඳගිරි විහාරයෙහි පිහිටි පර්වත යුගලයෙන් එකක් වන විහාර ගල මත විහාර ගෙයක් පිහිටා තිබූ බවට ශේෂ වී ඇති එකම සාධකය විහාර මන්දිර දොරටුව අසල තිබුණේයැයි සිතිය හැකි සඳකඩ පහණ සහ මන්දිරයේ මායිමි ලෙස සැලකිය හැකි අවට තිබූ ගල් කණු කිහිපයක්ද පමණි.

එකම මලුව මත චෛත්‍ය දෙකක් ඉදිකර තිබීම මෙහි තිබෙන විශේෂත්වයයි. මින් එක් චෙත්‍යක් ඝටාකාර වර්ගයට අයත් වන අතර, අනෙක් චෙත්‍ය කුමන වර්ගයට අයත් දැයි අවිනිශ්චිතය. දකුණු ආසියාවේ ඇති දුර්ලබම ඝටාකාර චෛත්‍ය අතරට මෙය එක්වන අතර, ගඩොලින් තැනූ ආසනයක් මත ඉඳිකර ඇත. ඝටාකාර චෛත්‍යයේ පරිදිය අඩි 78ක්ද අනෙක් චෛත්‍යහි පරිදිය අඩි 96 කින්ද යුක්ත වේ. ආසනය අඩි 100 ක් දිගින්ද අඩි 65 ක් පළලින්ද අඩි 3.5 ක උසින්ද යුක්ත වේ.

මෙවන් ලෙස සැඟවී තිබෙන මනස්කාන්ත වූ ඓතිහිසික ස්ථාන රාශියක් මිහිපිට පිහිටා තිබේ. අප සෑම විටම උත්සහා එවන් වූ අනගිබවනීය ස්ථාන පිලිබඳව සංචාරක සටහන් ඔබ වෙත තිළිණ කිරීමටය. ඔබත් කතරගම පුරවරයේ සංචාරයක නිරත වන්නේ නම් මෙම ස්ථානය වෙත ගොස් ගතත් සිතත් සංසිදුවා ගන්න. ඔබ මෙහි යන්නේනම් පරිසරය සුරකීමටත්, විනීතව හැසරීමටත් වගබලා ගන්න.

 

සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමරා / සුපුන් සම්පත්

 

2017-09-28-ent-257 2017-09-28-ent-258 2017-09-28-ent-259 2017-09-28-ent-260 2017-09-28-ent-261 2017-09-28-ent-262 2017-09-28-ent-263  2017-09-28-ent-265 2017-09-28-ent-266 2017-09-28-ent-267 2017-09-28-ent-268