මිරිජ්ජවිල උද්භිද උද්‍යානය



2017-10-06-ent-64

පසුගිය වර අප සැරිසැරූ බඳගිරිය පුරාණ විහාරස්ථානයෙන් නික්මුණු අප මුහුදේ සිට කිලෝමීටර 05ක් (Arial Distance) පමණ ගොඩබිමට වන්නට දකුණු දෙසින් කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගයට යාබදවත්, නැගෙනහිරින් මිරිජ්ජවිල-සූරියවැව ප්‍රධාන මාර්ගයට යාබදවත් පිහිටා තිබෙන ‘මිරිජ්ජවිල උද්භිද උද්‍යානය’ සොයා ගමන් කළෙමු. නිදහසට පෙර ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද පේරාදෙණිය, හග්ගග, ගම්පහ (හෙනරත්ගොඩ) පිහිටි උද්භිද උද්‍යාන ත්‍රිත්වයට පසු ඉදිකෙරුණු මෙම උද්‍යානය ඉදිවන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ සුරතිනි.

මෙරට භූමියෙන් 2/3 ට වැඩි වපසරියක පැතිරී තිබෙන වියළි හා ශුෂ්ක දේශගුණික කලාපයේ පරිසර පද්ධතිය තුළ තිබෙන ශාක ප්‍රජාව විතැන් සංරක්ෂයට හා අධ්‍යාපන කටයුතු සඳහාත්, විශේෂයෙන්ම හම්බන්තොට වැනි ප්‍රදේශවල සිටින ජනතාව ශාක හා පරිසර පද්ධති පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙනුත්, මෙම උද්‍යානය නිර්මාණය කර තිබේ. 2006 වසරේ මෙහි ඉඳිකිරීම් අරඹන විට අක්කර 300කින් සමන්විත වූ මෙම භූමිය දිගු කාලයක් පුරා නිරන්තරයෙන් මානව ක්‍රියාකාරකම් ‍මෙන්ම භෞතිකව හා ශාක භක්ෂක සත්ත්ව බලපෑම් හේතුවෙන් විවිධ ප්‍රමාණයන්ගෙන් තර්ජනයට ලක් වී තිබේ. එම අභියෝග ජයගෙන මෙම උද්‍යානය ආකර්ෂණීය සංචාරක උද්‍යානයක් කිරීම සඳහා මූලිකව මිලියන 500ක් එවකට පැවැති රජය මගින් වෙන්කර තිබේ. ඒ අනුව වසර 10න් උද්‍යානයේ යටිතල පහසුකම් හා විවිධ උද්‍යාන අංග නිර්මාණය කිරීම අරමුණු කරගෙන උද්‍යානයේ මූලික වැඩ කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව වසර 130ට පසු, මෙරට ඉදි වූ හතර වන උද්භිද උද්‍යානය ලෙසත්, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අතිශය වැදගත් උද්භිද උද්‍යානයක් ලෙසත්, 2013 වසරේ නොවැම්බර් මස මෙරට දී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ සමුළුවට සමගාමීව 2013 වසරේ නොවැම්බර් මස 14 වන දින මහජනතාව වෙනුවෙන් කිරීමට පියවර ගෙන තිබේ.

වියළි හා ශුෂ්ක කලාපික ශාක ප්‍රජාව විතැන් සංරක්ෂණය කිරීම (මෙහිදී ඒක දේශික, තර්ජනයට ලක් වූ හා විවිධ අයුරින් ප්‍රයෝජනවත් ශාක සඳහා ප්‍රමුඛත්වය ලබාදීම සිදුකරයි) වියළි කාලාපීය විවිධ පරිසර පද්ධතීන් හා එහි ශාක විශේෂ පිළිබඳව අධ්‍යනය කිරීමත්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, වියළි කලාපය තුළ ඌණ භාවිත ශාක විශේෂ හඳුනා ගැනීම, එම ශාඛ විශේෂ ජනතාව අතර ප්‍රචලිත කිරීම, වියළි කලාපීය පරිසර අලංකරණය පිළිබඳව නව තාක්ෂණික ක්‍රම හා සුදුසු ශාඛ විශේෂ සොයාගැනීම හා එම කටයුතු වියළි කලාපය තුළ ප්‍රවර්ධනය කිරීම, වියළි කලාපය තුළ වාණිජ මල් වගාවට සුදුසු තාක්ෂණික ක්‍රම හා මල් විශේෂ හඳුනා ගැනීමත්, ඒ සඳහා ජනතාව සංවිධානය කිරීමත්, මෙම මල් වගාව අපනයන කර්මාන්තයක් දක්වා ප්‍රවර්ධනය කිරීම, ඉහත සියලු අරමුණු සාක්ෂාත් කරගන්නා අතරතුර, දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය ඇති කිරීම තුළින් රටේ දළ ජාතික නිෂ්පාදනයට දායක වීම යන කරුණු අරමුණු කරගනිමින් මෙම උද්‍යානය ඉදිකර තිබේ.

මෙම ප්‍රදේශය තුළ තිබෙන අධික වියළි කාලගුණය හේතුවෙන් උද්‍යානය තුළ ගමන් කිරීමට බැටරි කාරයක් භාවිත කිරීමට සිදුවෙයි. ඒ සඳහා ආසන 4, ආසන7, ආසන 8 බැගින් වූ බැටරි කාර් උද්‍යානය තුළ තිබේ. අපත් බැටරි කාරයක නැගී ගමන් ඇරඹුවෙමු. එම රථය පැද වූ විජේ කුමාර අපගේ ගමන් සහඟයා ලෙස අපත් සමග එක්විය. ‘ඉන්දියන් විලෝ’ ශාඛයන්ට මැදිව සකසා තිබෙන මාර්ගය ඔස්සේ අපි උද්‍යානය තුළට පිවිසියෙමු. දකුණු ආසියාවේ තිබෙන උද්‍යාන අතුරින් එකම ශාඛයකින් මාර්ගයක් අලංකාර කර තිබෙන දිගම මාර්ගය එය බව විජේකුමාර අපට පැවැසීය. වැඩ කටයුතු තවමත් අවසන් කර නොමැති මෙම මාර්ගයේ සම්පූර්ණ දිග කිලෝමීටර 1.25 කි. ඉන්දියන් විලෝ ශාඛය මෙම මාර්ගය අලංකාර කිරීම සඳහා යොදාගෙන තිබුණත්, මෙහි නිර්මාණකරුවා මේ සඳහා මෙම ශාඛය යොදාගෙන තිබෙන්නේ අලංකාරය නිසා නොව වියළි කලාපය තුළ තිබෙන ශාඛ අධික සුළඟ හේතුවෙන් වියළෙන නිසාය. අධික සුළඟින් උද්‍යානයේ තිබෙන ශාඛවලට සිදුවන හානිය අවමකර ගැනීම සඳහා සුළං ඛාදකයක් ලෙස මෙම ශාඛය නිර්මාකරුවා විසින් යොදාගෙන තිබේ. අප එම මාර්ගයේ ගමන් කර මුලින්ම පිවිසුණේ මිශ්‍ර වන උද්‍යානය වෙතය. මෙහි ශ්‍රී ලංකාවේ වියළි අර්ධපතනශීලී ඝර්ම කාලාපීය වනාන්තරවල දක්නට තිබෙන ශාඛ විශේෂ (Climax plant species) සිටුවා නිර්මාණය කර තිබේ. මෙම කොටසේ ශාඛ 105ට අයත් ශාක 2000කට ආසන්න ප්‍රමාණයක් සිටුවා තිබේ. අප එම ඒකකය තුළ තිබෙන සිසිලස විඳගනිමින් එහි තිබෙන විවිධ වූ ශාක පිළිබඳව අවධානය යොමු කළෙමු. එහි තිබෙන බෝහෝමයක් ශාඛ වියළි කලාපයට පමනක් ආවේණික වන බැවන් එහිදී අපට මහත් වූ දැනුම් සම්බාරයක් ලබාගැනීමට හැකියාව ලැබුණි. එම ඒකකයෙන් නිකුමුණු අප ඖෂධීය ශාක උයන සොයා ඒ දෙසට ගමන් කළෙමු.

 

2017-10-06-ent-63

 

දේශීය ආයුර්වේද ක්‍රමවේදය විශේෂයෙන් ආසියාතික රටවල් වන චීනය, නේපාලය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව වැනි රටවල්වල ඈත අතීතයේ සිට ජනප්‍රියව පැවත එන්නකි. ආර්ය ජනාවාස යුගයේ ඇති දත්ත අනුව ඓතිහාසික රාවනා රජු සමයේ ඉතා උසස් මට්ටමේ දේශීය රෝග නිවාරණ ක්‍රමයක් පැවත ඇති අතර පසුව එය අභාවයට ගොස් ඇති බවට විශ්වාස කරති. එහෙත් පසුව බුද්ධ වර්ෂ තුන්වන සියවසේ දී ලංකාවට බුද්ධ ධර්මය හඳන්වා දීමත් සමග නැවත දේශීය ආයුර්වේද ක්‍රමය යලි ස්ථාපිත වී ඇත.

ක්‍රි.පූ. 398 – 426 කාලය තුළ බුද්ධදාස රජු ආර්යුර්වේද වෛද්‍ය විද්‍යාවේ හසල දැනුමැති වෛද්‍යාචාර්යවරයෙක් ලෙස ප්‍රසිද්ධ වී ඇත. එසේම, පොළොන්නරු යුගයේ සිටි, පළමුවන පරාක්‍රමබාහු රජ සමයේ (ක්‍රි.පූ. 1153 -1186) ශ්‍රී ලංකාවේ දේශීය ආයුර්වේද ක්‍රමවේදය වැදගත් පරිච්චේදයකට පැමිණ ඇති අතර පසුව දඹදෙණි යුගයේ දී මෙම දේශිය රෝග නිවාරණ ක්‍රම‘වේදය බෞද්ධ භික්ෂුව අතට පත්වීමත් සම එය ඉතාම විධිමත් හා උසස් තත්ත්වයෙන් පැවත ඇත. මේ අනුව බලන විට දේශීය වෛද්‍ය විද්‍යාව බෝහෝ සෙයින් ව්‍යාප්ත ව ඇත්තේ වියලි කලාපයේ වන බවත්, ඒ සඳහා යොදා ගන්නා ඖෂධීය ශාක ව්‍යාපත්ව වී ඇත්තේ ද වියලි කලාපයේ බව පැහැදිලිය. එයට මෙම ඖෂධීය උයන ශාක්ෂි දරයි. මෙම උයන තුලදී වදවීමේ තර්ජනයට මුහුණ දී තිබෙන සහ පෞරානික වටිනාකමිකින් යුතු ඖෂධ වර්ග බෝහෝමයක් දැකගත හැකිය. ඉන් පසු අප යොමුවුනේ පොදු රාජ්‍ය මණ්ඩලීය ශාක කවය තුලටයි.

වර්ෂ 2013 නොවැම්බර් මස 14 වන දින ශ්‍රී ලංකාවේ හම්බන්තොට පිහිටි මාගම්රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් සමුළුවේ සමාරම්භක උත්සව අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රටවල් 52ක් නියෝජනය කරමින් පැමිණි රාජ්‍ය නායකයින් හා නියෝජිතයින් එම අවස්ථාවට සහභාගී වූ අතර එය සනිටුහන් කරමින් උද්‍යානයේ විශාල වටරවුම වටා සමරු ශාක සිටුවා තිබේ.

 

ලබන සතියට.......

 

  2017-10-06-ent-65 2017-10-06-ent-66 2017-10-06-ent-67 2017-10-06-ent-68 2017-10-06-ent-69 2017-10-06-ent-70 2017-10-06-ent-71 2017-10-06-ent-72 2017-10-06-ent-73 2017-10-06-ent-74 2017-10-06-ent-75 2017-10-06-ent-76 2017-10-06-ent-77