ජින්නයි උපාලියි හැරගිය මඩොල්දූවට ගිය ගමන



2018-01-25-ent-64

කොහෙද අද අපි යන්නේ... සීතලේ ගැහි ගැහී නුවරඑළියේ ඇවිද්ද ඇවිදිල්ල තාමත් ඉවර නෑ... ඒත් නුවරඑළියේ ඇවිදින අතරතුරේම අපිට හිතුණා ගාල්ලේ පැත්තේ පොඩි රවුමක් ගිහින් එන්න... walk 111 එක්ක එන්න අපි යමු ගාල්ලේ... යන්නේ කොහෙද කියලා කීවේ නෑනේ නේද? ඔන්න අපි යන්නේ මඩොල් දූවේ... මතකයි නේද මඩොල් දූව... අර ජින්නයි උපාලියි දෙන්නා ගෙදරින් පැනලා ගිහින් හැංගිලා හිටපු දූපත... අර ජින්නයි උපාලියි හේන් කොටපු දූපත... සාරෙට බතල මයියොක්කා හිටවපු දූපත, ජින්නයි උපාලියි කරවල හොදි, පොල් සම්බොල් අලුත් මාළු එක්ක රහට රහේ බත් කාපු දූපත, හොල්මන් අවතාර සර්පයන් ගැවසෙනවා යැයි මිනිසුන් බයෙන් සිටි දූපත... ඔව් අපි ගියේ ඒ දූපත බලන්න... හැබැයි මාර්ටින් වික්‍රමසිංහ මඩොල් දූව පොතේ කියපු ඒ මහා දූපත නම් නවකතාවේ ප්‍රබන්ධය රසවත් කරන්න මනසින් නිර්මාණය කළ දූපතක් කියන කාරණය මඩොල් දූවට ගොඩබහිද්දීම හොඳහැටි පැහැදිලි වෙනවා.

බෝට්ටුවක නැඟලා අපි මඩොල් දූවෙන් බහිද්දී පොඩි ගමරාළ පිළිගන්න ඒ කාලෙ උපාලියි ජින්නයි එනවා වගේ එන්න කවුරැත් නම් මඩොල් දූවේ හිටියේ නෑ... හැබැයි මඩොල් දූව බලන්න එන කෙනෙකුට කුරැම්බා ගෙඩියක් බොන්න හිතුණොත් කුරැම්බා ඉත්තක් තියාගත්තු ගමේ වෙළෙන්ඳෙක් නම් දූපතේ හිටියා. මාර්ටින් වික්‍රමසිංහ කියපු විදිහේ දූපතක් අපේ ඇස් මානයේ හමුනොවුණත් මඩොල් දූවෙ ඇවිදින්න තියෙන හැම ඉසව්වකම අපි හිත්පුරා ඇවිද්දා. දූපතේ එක පැත්තක් විවෘත වෙන්නේ මහ මුහුදට. මඩොල් දූව වටේට තව දූපත් කිහිපයක්ම තියෙනවා. තම්බිගේ දූපත නමින් හඳුන්වන දූපත ඉන් එකක්. මේ අතරේ තවත් එක් සුවිශේෂී දූපතක් තියෙනවා. ඒ දූපතේ ජීවත් වෙන්නේ එකම පවුලක පරම්පරා කිහිපයක්. ඔවුන් ජීවත් වෙන්නේ දූපතේ කුරැඳු වගාවෙන්. ඔවුන් ඔවුන්ගේ ජීවන අවශ්‍යතා වෙනුවෙන් විතරයි දූපතෙන් එහා බාහිර ලෝකයට එන්නේ .

මඩොල් දූවේ තියෙන පොල් ගස් තුන හතර අපිට යළි යළිත් උපාලිත් ජින්නත් සිහිකරනවා. මඩොල් දූවේ යනවනම් එක්කෝ උදෑසනක නැත්නම් හැන්දෑවක ගිහින් එන්න. එහෙම ගියොත් මඩොල් දූවේ අසිරිය අඩුවක් නැතුව විඳගන්න ඔබට ඉඩක් ලැබේවි.

 

Text -Saara /  Pic- Channa Kassapa Koralearachchi

 

 2018-01-25-ent-63 2018-01-25-ent-62 2018-01-25-ent-61 2018-01-25-ent-60 2018-01-25-ent-59 2018-01-25-ent-58 2018-01-25-ent-57