රාම, රාවනා කතා මතක් කරන අපූරු ඉසව්ව රූමස්සල



ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වැදගත්ම ඉසව්ව ලෙස දකුණුලක ගාලු පුරවරය හඳුන්වාදිය හැක. ස්වාභාවිකවම පිහිටි සංචාරක ඉසව් රැසක් සහ ශ්‍රී ලංකාව තුළ තිබෙන සොඳුරුම වෙරළ තීරය එම කලාපය තුළ පිහිටා තිබීම ඊට හේතුවයි. මෙය කිසිදා අමතක නොවන අත්දැකීම් ගොන්නක් සහ ලොකු කුඩා කාහටත් එක ලෙස විනෝදය උපරිමයෙන්ම ලබාගැනීමට හැකියාව ලැබෙන නිසා, බෝහෝ සංචාරකයෝ සංචාරයේ යෙදීම සඳහා මෙම සොඳුරු ඉසව්ව තුළ පිහිටි ඉසව්වක් වෙත ගමන් කිරීමට වඩා කැමැත්තක් දක්වති.

ගාලු පුරවරයට ස්වභාව ධර්මයෙන්ම ලැබුණු මහඟු දායාදයක් ලෙස කඳු සහිත වනාන්තර භූමියක් වන ‘රූමස්වල’ හඳුන්වාදිය හැකිය. ‘බොනවිස්ටා’ යන අන්වර්ථ නාමයෙන් පවා හඳුන්වනු ලබන මෙම සොඳුරු ඉසව්ව දිනක් චාරිකාවක් සැලසුම් කරන්නන්ට ගැළපෙනම තෝතැන්නකි. ගාලු නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරින් මෙම ස්ථානය පිහිටා තිබේ.

‘බොනවිස්ටා’ යන්නේ අර්ථය පෘතුගීසි බසින් ‘සුන්දර දසුන’ යන්න බව ඒ අවට වෙසෙන ගම්වාසිහු පවසති. රූමස්වල කඳු වැටිය ලොව කිසිදු පරිසර පද්ධතියක් හා සම කළ නොහැකි පරිසර සම්පතක් බවත්, මෙයට වසර කෝටි ගණනකට පෙර පෘථිවිය මතට කඩා වැටුණු උල්කාපාතයක් ලෙසත් ලොව ප්‍රකට විද්වත්හු පවසති. එමෙන්ම ලොව වැඩිම ගුරුත්වාකර්ශන බලයක් තිබෙන ප්‍රදේශය ලෙසට රූමස්වල ප්‍රසිද්ධියක් උසුලයි.

අතීත පොතපතේ එසේ සඳහන් වුවත්, ජනප්‍රදයෙන් පැවැත එන කටකතා නම් එමටය. එහි ප්‍රසිද්ධම කතාපුවත වන්නේ වාල්මිකී විසින් රචිත රාමායනය ග්‍රන්ථය තුළය. එම ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට රාම-රාවණා යුද්ධයේ දී රාමාගේ සොහොයුරු ලක්ෂ්මනයන් රාවණගේ හී පහරකින් විපතට පත්වී ඇත. එම අවස්ථාවේ ඔහුගේ ජීවිතය රැකගැනීම සඳහා අවශ්‍ය වන ඖෂධ ගෙන ඒම සඳහා හනුමන්තා හිමාලය වන අඩවියට ගොස් තිබේ. නමුත්, හනුමන්තාට ගෙන යාමට නියම කළ ඖෂධයන්ගේ නම් අමතක වී, හිමාලයෙන් කොටසක්ම උස්සාගෙන නැවත පැමිණ ඇත. එසේ එන විට හනුමන්තාගේ ඇඟිලි දෙකක් අතරින් ඔසවාගෙන ආ කොටසින් අඩක් මගදී වැටී තිබෙන අතර, එම වැටුනු ස්ථානය රූමස්වල ලෙසින් සහ අනෙත් කොටස වැටුණු ස්ථානය රිටිගල ලෙසින් ප්‍රසිද්ධියට පත්ව ඇත.

රාවාණා රජු ඉන්දියාවේ සිට සීතා කුමරිය මෙරටට පැහැරගෙන ආ අවස්ථාවේ ඇයව සිරකර ඇත්තේ රූමස්වල පිහිටි ගල් ලෙනකය. සීතා කුමරිය සොයාගෙන පැමිණි රාම රජු, රාවණා රජු සමග යුද්ධ කොට ඇයව බේරා ගෙන ඇත්තේ, කුමරිය සිරකර තැබූ ගල් ලෙන් දොරටුවෙහි දැවැන්ත ගල්කුලයක් ඔසවා විසිකර දැමීමෙනි. එම නිසා ‘රාම ඉස්සු ගල’ යන අරුතෙන් ‘රාමස්සූගල’, ‘රූමස්ගල’ වී පසුව එය ‘රූමස්සල’ යනුවෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති බවද, ජනප්‍රවාදයේ පැවත එයි.

මෙහි තිබෙන ජපන් සාම චෛත්‍ය විහාරයද සංචාරකයන්ගේ අවධානය නිතැතින්ම දිනාගන්නා පිංබිමකි. ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නරගවලට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ජනයා සිහිපත් කරවමින් හා මුළුමහත් ලෝකයේම නැවත වරක් එවැනි ව්‍යවසනයක් ඇති නොවේවා යන්න සිහිපත් කරවමින් ජපානය විසින් සාමය හා සහජීවනය සංකේතවත් කරමින් ලොව පුරා සාම චෛත්‍යය ඉදිකරනු ලැබීය.

2004 වසරේ පෙබරවාරි මාසයේ ජපානයේ නිප්පොන්සන් ම්යෝහෝජි මහ නිකායේ ආධාර සහිතව මෙම චෛත්‍යය සාදානිම කර තිබේ. විහාර චෛත්‍යයෙහි පිටත පරිවාරව සිව් දිශා මුඛව බුද්ධ ප්‍රතිමා සතරක් තැම්පත් කර තිබෙන අතර, ඉන් බෝධිසත්වයන්ගේ උප්පත්තියත්, බුද්ධත්වයත්, පරිණිර්වාණයත් නිරූපණය කොට තිබේ. ඊට අමතරව සාම චෛත්‍යය පසෙක හනුමන්තාගේ රුවක් නිර්මාණය කර තිබේ. එම පිළිරුවේ දක්නට ඇත්තේ හනුමා නැමැති වානරයා එක් අතකින් යගදාවක්ද, අනෙක් අතින් කඳුවැටියද දරාගෙන සිටින අයුරුය. සාම චෛත්‍යයේ මලුව වෙත නැගී බැලූ විට පෙනෙන දර්ශන ඉතා මනස්කාන්තය. මෙම පිංභූමිය බැතිමතුන් සඳහා වන්දනාමාන කිරීම සඳහා විවෘතව ඇත්තේ උදෑසන 7.00 සිට සවස 7.30 දක්වා පමණි. සවස 6.00ට මෙහි බුදු මැදුරේ ජපන් සංස්කෘතිය අනුව බුදන් වැඳීමද සිදුකරන අතර, ඉන් පසුව විශාල බෙරයක්ද වාදනය කරයි. සැබැයින්ම මෙම පිංභූමිය සිත නිවන ස්ථානයකි.

හිමාලයේ දක්නට ලැබෙන බෙහෙත් පැ‘ළෑටි බොහොමයක් අදටත් රූමස්වල කඳුවැටියේ දකින්නට ලැබීම මෙම කඳුවැටියේ ඇති විශේෂත්වයකි. මෙහි තිබෙන ජෛව විවිධත්වයත් පාරිසරික අගයත් සලකා 2003 දී රජය විසින් රූමස්වල කඳු වැටිය අභය භූමියක් බවට පත්කර තිබේ. හෙක්ටයාර 170ක් වන රූමස්සල අභය භූමියේ හෙක්ටයාර් 20ක්ම රක්ෂිත වනාන්තරයකි. මෙම වනාන්තරය තුළ වටිනා දුලබ ඖෂධ රැසක් දක්නට ලැබේ. ඒ අතරට බක් මී, මිල්ල, අරළු, බුළු, වෙනිවැල්, කොන්තාලම්ද, කිතුල්, මාවේවැල්, රදලිය, ගොඩපුර, මගනුග,ගොරකා,මාදං, වල්අඹ, දිවුල්, රුක්අත්තන වැනි දුර්ලභ ශාකද අයත් වේ. ඊට අමතරව මෙම කඳුවැටියේ පක්ෂී විශේෂ 72ක් වාසය කරන ලද බව සොයාගෙන තිබේ. නමුත්, මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ඔවුන්ගේ වාසස්ථාන අහිමිවී තිබේ. ඒ හෙයින් නිරන්තරයෙන් කුරුල්ලන් දැකගැනීමට අවකශාය සැලසෙන්නේ නැත. එමෙන්ම මෙහි සමනල වර්ග 84ක්ද වාසය කරන බව සොයාගෙන තිබේ.

රූමස්වල කඳුවැටිය පාමුල කිලෝමීටරයක් තරම් දුරට විහිදෙන බොනවිස්ටා කොරල් පරය දැකගැනීමට හැකිය. මෙය ශ්‍රී ලංකාව තුළ තිබෙන විශිෂ්ටතම කොරල් පරයක් ලෙස සමුද්‍රජීවී විද්‍යාඥයන් හඳුනාගෙන තිබේ. මෙම කොරල් පරය 70෴ පමණ සජීවී කොරල් පරයක් වන අතර, මෙහි ඝන අඩි 30කට වැඩි කොරල් පර 35ක් තිබෙන බවද සොයාගෙන තිබේ. මේ අවටින් මසුන් 450ක් පමණ සොයගෙන තිබෙන අතර, එයින් දුර්ලභ ගණයේ මත්ස්‍යන් 300ක් පමණ සිටිති. එලෙසම ලොව වදවී යාමට මුහුණ පා ඇති මත්ස්‍ය වර්ග 70කින් 35ක්ම මෙහිදී සොයාගත හැකිය. රූමස්වල ප්‍රධාන පාර දිගේ බොහෝ දුරක් ඇවිද යන අතරේ දකුණු පැත්තේ තිබෙන අතුරු පාරකින් කැලය මැදින් මෙම සොඳුරු වෙරළ තීරයට ඇවිද යා හැකිය.

රූමස්වලට යන ඔබට ‘Jangle Beach’ ch වෙත යාමටත් අවස්ථාව උදාවේ. සාම චෛත්‍යය අසලින් තිබෙන කුඩා මාර්ගයේ ගමන් කිරීමෙන් මෙම සොඳුර ඉසව්වට ළඟාවීමට අවකාශය උදාවේ. දකුණු ජනයා රූමස්සල හඳුන්වනු ලබන්නේද ‘Jangle Beach’ නමිනි. වනාන්තර ප්‍රදේශයත් සමග තිබෙන මෙම අලංකාර මුහුදු වෙරළට දිනකට දෙස්-විදෙස් සංචාරකයන් දස දහසක් පමණ පැමිණෙති. මෙහි පැමිණෙන සංචාරකයන්ට රිසිසේ මුහුදේ බැස සතුටු වීමට හැකියාව තිබේ. මෙය දිය නෑමට හැකි අනෙකුත් මුහුදු වෙරළ තීරයන්ට වඩා තරමක් දුරට ආරක්ෂාකාරී වෙරළ තීරයකි. ඒ හෙයින් උපරිම වින්දනයක් මෙහිදී ලබාගැනීමට හැකියාව ලැබේ. මෙම වෙරළේ ආහාරපාන ලබාගැනීමටද, නවාතැන් පහසුකම් ලබාගැනීමටද සංචාරක හෝටල් රාශියක් පිහිටා තිබේ.

ගතට මෙන්ම සිතටද උපරිම නිදහසක්, වින්දනයක් ලබාගැනීම සඳහා ඔබ සංචාරයක නිරතවන්නේනම්, ‍ඓතිහාසික හා ස්වභාව සෞන්දර්යයෙන් පිරි සංචාරයක් සඳහා රූමස්වල සොයා යන්න. ඔබ එහි යන්නේනම් පරිසරය ආරක්ෂා කිරීමටත්, විහාරස්ථානය තුළදී සංවරව හැසිරීමටත් වග බලා ගන්න.

 

සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර / සුපුන් සම්පත්

 

2018-02-02-ent-127 2018-02-02-ent-128 2018-02-02-ent-129 2018-02-02-ent-130 2018-02-02-ent-131 2018-02-02-ent-132 2018-02-02-ent-133 2018-02-02-ent-134 2018-02-02-ent-135 2018-02-02-ent-136