අපිට තරු පහේ වගේ තමා ඌට ගෙම්බන්



එහෙව් සීතලක්... එහෙව් ලස්සනක්... එහෙව් නිම්නයක්... එහෙව් තැන්නක්.... අමතක නෑ නේද? අලුතින් එක්ක යන්න දේකුත් නෑ.. මොකද ගිය සතියේ ගිය ගමන් අපි තාමත් ඉන්නේ හෝර්ටන් තැන්නේ... හෝර්ටන් තැන්න ගැන හුඟක් දේ පාරිසරික ස්වභාවික සුන්දරත්වය ගැන එතිහාසික වටිනාකම් ගැන හුඟක් දේ .ගිය සති අන්තය් කියපු නිසා ඒ ගැන අපි ඔයාට ආයිත් ආයිත් කියන්නේ නෑ. මේ සතියේ අපි ඔයාට හෝර්ටන් තැන්නේ ඇවිදින ගමන් කියන්නේ එහි ඇති මල් තුරු ගැන. සමනල, කුරුලු, කොටි පාරාදීසය ගැන... ඇවිදින ගමන් කතා කරමු... එන්න ඔයත් walk 111අපිත් එක්ක හෝර්ටන් තැන්නට...

20180207Travel-(1)

ගෝනුන් රංචු පිටින් තණ බුදින හෝර්ටන් තැන්නේ දකින්න ලැබෙන දුර්ලභම සතෙක් තමා දියබල්ලා. වැහැලා වැහැලා පායපු ගමන් දියබල්ලා දිය යටින් මතුවෙනවා ගෙම්බන් අහුලන් කන්න. අපිට තරු පහේ වගේ තමා ඌට ගෙම්බන්. අනිත් හැම මොහොතකම වගේ ඌ ඉන්නේ හැංගිලා. ඒ වගේම ශ්‍රී ලංකාවට ආවේණික පොඩි පුල්ලි සහ දේශගුණය අනුව වෙනස් වෙන  ශරීර ප්‍රමාණයක්  සහිත කොටියත් හෝර්ටන් තැන්නේදී හම්බවෙනවා. පැන්තරා පාඩුස් කියන විද්‍යාත්මක නමින් තමා මේ පොඩි පුල්ලියා හඳුන්වන්නේ. සීතලට ඔරොත්තු දෙන්න දිගු ලොම් මේ පොඩි පුල්ලියට ලැබී තියෙන්නෙත් ස්වභාවධර්මයේම සාධාරණ කැමැත්ත අනුව. ඒ දිගු ලොම් මේ පොඩි පුල්ලියව හොඳහැටි උණුසුම් කරනවා.

ඈත අනන්තයක මහ වැස්ස මෑත ඇස් මානයේ සීතල රේන්ද ඇල්ලූ දුහුල් මීදුම.... මොහොතක් මට දෙන්න... ළා රන්වන් අව් රුල්ල තව මොහොතකින් සපැමිණෙද්දී සුදු බිනර නිල් බිනර ගැන කියන්නට... කඳුලැස්ස, අලිකන්, රත්මල්, කුඩු මිරිස්ස, හාතාවාරිය, වල්වෙරළු ගැන කියන්නට.. මේ සමහරක් මාංශ භක්ෂක ශාක.. තවත් සමහරක් ආක්‍රමණික ශාක... තවත් සමහරක් අපේ පොළොවේම ඉපදිච්ච අපටම ආවේණික ශාක... 1993දී සිදු කළ පර් ෙය්ෂණයකින් තහවුරු වූ විදිහට මෙහි ශාක ඝනත්වය වර්ග හෙක්ටයාරයකට ශාක 2161ක්. ඒ වගේම හෝර්ටන් තැන්නේ ශාක විශේෂ 101ක් පමණ දක්නට ලැබෙන අතර ඉන් 49ක් පමණ අපටම ආවේණික ශාක. ඉනුත් වැඩි සංඛ්‍යාවක් හෝර්ටන් තැන්නටම පමණක් ආවේණික ශාක. හෝර්ටන් තැන්නේ ඇති උඩවැඩියා වර්ග 33න් 16ක්ම ලංකාවට ආවේණිකයි. ඒ වගේම විසල් කඳන් මත සාරෙට වැවෙන ලයිකන වර්ග ගැනත් නොකියම බැහැ. මේ ලයිකන අතර මහා රාවණ රුවුලා ලෙස හඳුන්වන ලයිකනය විසල් පරාසයක විහිදී තියෙනවා. පාවෙන මීදුම මේ මහා රාවණ රුවුලා මත දැවටී අනතුරුව පහළට රෑරා වැටෙන්නේ තුෂර බින්දු හැටියට. ඒ වගේම හෝර්ටන් තැන්නටම ආවේණික කෙකටිය වර්ගයකුත් තියෙනවා. ඒ වගේම ජලයේ සාරය යටින් ඇදගෙන මහතුත්තිරි ගවරමාන්න වගේ ශාක ව්‍යාප්තියත් සෑහෙන්න වැඩිවෙලා. මේ ව්‍යාප්තියනම් ගෝනුන්ට සුබදායක නොවෙන්නේ උන් රස කර කර කන තණ වර්ග බෝවීමට අර ව්‍යාප්තිය අයහපත් විදිහට බලපාන නිසා. ශක්තිවන්තයා ජයග්‍රහකයා බව ඔප්පු කර පෙන්වන එක තැනක් තමයි ඒ. හරිත ලොවේ අපි නම් නොදන්නා හුඟක් තණ වර්ග හෝර්ටන් තැන්නේදී හමුවෙනවා. ගවරමාන්න, මහතුත්තිරි, කුරු උණ ඉන් කිහිපයක්. ගවරා කියන සත්ත්වයා ආහාරයට ගත් නිසා තමා ගවරමාන්න තණ විශේෂයට ඒ නම වැටුණේ. ගෝන්නු පුංචි සද්දයක් ඇහුණත් තණයායේ නිසොල්මනේ කන කෑම නවත්තලා දුවන තරමට කලබලකාරයෝ. ඒත් මේ අතරේ මිනිස්සු දෙන බිස්කට්, පලතුරු කන්න පුරුදු වෙලා මිනිස් සුවඳ දැනෙන මානයට මචං ලෙවෙල් එකෙන් එන මොඩි ෆයි වෙච්ච ගෝන්නුත් ඉන්නවා. මේ මහා අනන්තයේ හුදෙකලා සුවිසැරිය අපූරුයි කියලා හිතෙන්නේ සුළගේ රිද්මය වැහි බින්දුවක හඬ, කුරුලු කිචි බිචිය නිදහසේ විඳගන්න ඒ හුදෙකලාව පාර කියන හින්දා.

20180207Travel-(2)

මේ ජීවමාන රසායනාගාරයේ ක්ෂීරපායින් වර්ග දාහතරක් ඉන්නවා. සමහර කුරුල්ලන්ගේ  පිරිමි කුරුල්ලෝ, ගෑනු කුරුල්ලෝ වෙන් කරලා හඳුනාගන්නේ වර්ණයෙන්. හඳුන් දිවියා, මීමින්නා, කළුවඳුරා, දඬු ලේනා, රිලවුන්, ගෙම්බන් මෙහි හිඟ නෑ. පහිබු ගස් මැඩියා, කඳුකර ගස් මැඩියා, කුරු ගෙම්බා, අඳුරු කොළ පඳුරු මැඩියා, මහ එළිය පඳුරු මැඩියා, වගේ මැඩි විශේෂත් කට කළු කටුස්සා, අං පිනුම් කටුස්සා, කුරු බෝදිලිමා වගේ කටුසු විශේෂත්, උරග විශේෂත් සමනල විශේෂ 46කුත්, ගෝමර බට්ටිච්චා, කැහි බෙල්ලා, කහකන් කොණ්ඩයා ඇතුළු පක්ෂ විශේෂ 98කුත් හෝර්ටන් තැන්න වාස භූමි කරගෙන ඉන්නවා. මින් පක්ෂි විශේෂ 21ක ලංකාවටම ආවේණිකයි.

හෝර්ටන් තැන්නේදී හමුවෙන බේකර්ස් ඇල්ල, චිමිනි ඇල්ල තවත් දර්ශනීය ස්ථාන. නොකිලිටි නිම්නය නව ප්‍රාණයකින් පුබුදන බෙලිහුල් ඔයේ නෑඹුල් උප්පත්ති ජල ධාරාව තුත්තිරි ගස් පින්නෙන් නාවන හැටි.. තොටුපොළ කන්දෙන් තමා බෙලිහුල් කුමරිය දිගු ජල වන්දනාව පටන් ගන්නේ. මහා භූමියක් පෝෂණය කරමින් ඇය ගලා  යද්දී තවත් පසෙක බේකර්ස් මහා ජලකඳක් දරාගෙන බලා ඉන්නවා. එයත් හරි පොහොසත් යස ඉලන්දාරියා.

ඒ වගේම මීටර් 8841ක ප්‍රපාතයකින් යුත් මහා ලෝකාන්තය සහ මීටර් 274ක් බෑවුමකින් යුත් කුඩා ලෝකාන්තයත් හරිම දර්ශනීය සහ හරිම පරිස්සමින් සුන්දරත්වය විඳගන්න ඕන තැන්. මොකද එක පයක් ලිස්සුවොත් පහළට වැටුණොත් ආයේ හුස්මක් ගන්නනම් ඉඩ හසරක් ඉතුරු වෙන එකක් නෑ. ඒ නිසා එතෙන්දි සෙල්ෆි ගන්න යන්නේ පරිස්සමින්. හෝර්ටන් තැන්න නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වුණත් ලෝකාන්තය අයිති රත්නපුර දිස්ත්‍රික්කයයට. එකෙත් හැටියක් නේද? උතුරු දෙසින් තොටුපොළ කන්දට හා පට්ටිපොලටත්, නැගෙනහිරින් ඔහියටත්, දකුණු දෙසින් ලෝකාන්තයටත්, බටහිරින් ශ්‍රී පාදයට, කිරිගල් පොත්තට හා අග්‍රා බෝපත් කඳු වැටියටත් මායිම් වෙන මේ අසිරිමත් ජීවමාන පරිසර රසායනාගාරයේ සුන්දරත්වය සහ විස්මය දෑසින් දකින්න.... සොබාදහමට තරම් සිත නිවා පහන් කළ හැකි අන් යමක් ලොව නැති වග ඔබටත් මොහොතකට පසක් වේවි. 

20180207Travel-(3) 20180207Travel-(4) 20180207Travel-(5) 20180207Travel-(6) 20180207Travel-(7) 20180207Travel-(8) 20180207Travel-(9) 20180207Travel-(10) 20180207Travel-(11) 20180207Travel-(12) 20180207Travel-(13) 20180207Travel-(14) 20180207Travel-(15)