පෞරාණිකත්වය මුසු වූ ඒ කාලේ තැප්‍රොබේන්



2018-05-31-ent-45

සුන්දරත්වය - පෞරාණිකත්වය සමඟ මුසු වූ අපූරු පිවිසුමකින් මම ඔබ කොළඹ වරාය ආශ්‍රිත මුහුදු තීරයට කැඳවාගෙන යමි. සියවස් ගණනාවකට එපිට සුද්දන් පය තැබූ නමුත් අද අපේ උරුමයක් ලෙස පවතින වචනයේ පරිසමාප්ත අරුතින්ම “ග්‍රෑන්ඩ්” වැඩක් වූ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අපේ ගමනාන්තයයි.

මහා ව්‍යාපාරිකයන්, රාජ්‍ය ප්‍රධානීන්, විද්වතුන්, කලාකරුවන් ආදී මහ පිරිසකගේ සිත් ගත් මේ අපූරු නවාතැනෙහි ඇත්තේ සදාතනිකත්වය හා මෙම නිමේෂය යා කරන ආකර්ෂණයකි.2018-05-31-ent-36

වෙනදාට වඩා වෙනස් විදිහයකට ඔයත් එක්ක කතා කරන්න මට හිතුණා. ශ්වේත පැහැයෙන් මහා පෞරුෂත්වයක් තියෙන පිරිමියෙක් වගේ වරාය අබිමුව නැගී හිඳින ග්‍රෑන්ඩ් ඔරියන්ටල් දැක්කම වචන ගැටගැහෙන්නේ එහෙම තමා. හුඟ දවසකින් ඔයත් එක්ක පොඩ්ඩක් නිවී සැනසිල්ලේ කාලා, බීලා එන්න පුළුවන් තැනකට යන්න බැරි වුණ නිසා අද walk 111 එක්ක අපි යමු එහෙම තැනකට.

ඒ කාලේ තැප්‍රොබේන්... අද ග්‍රෑන්ඩ් ඔරියන්ටල්...

දේශානි පෙරේරා... එයා තමයි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ PUBLIC RELATIONS AND SALES EXECUTIVE විදිහට ඉන්නේ. රතු හැට්ටයකට ගැලපෙන ලස්සන ක්‍රීම් පාට සාරියක් ඇඳගෙන දේශානි තමා ගිහින් විනාඩියක් දෙකක් යද්දී අපිව පිළිගන්න ආවේ.. හෝටලය පුරා අපි ඇවිද්දේ දේශානිත් එක්ක. දේශානිගේ සුහදශීලී කතාබහ, හිනාව, පිළිගැනීම එයාගේ රාජකාරිත් එක්ක නියමෙටම ගැලපිලා තියෙනවා...

තැප්‍රොෙබ්න් කොළොම්තොට මැද ඉදි වුණේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයකුගේ සංකල්පයක් අනුව. ලංකාවේ රජවරු වෙසින් සිටි මේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ට සැප ගන්නත් එක්ක හදපු මේ හෝටලයට මුලින් තැප්‍රොබේන් කියලා නම තිබ්බෙත් ඒ සුදු ලොක්කන්ම තමයි. අලුත් නමකින් හිටියත් එදා තැප්‍රොබේන් අදත් ඒ විදිහමයි. මොකද පුරාවිද්‍යා සංරක්ෂණ නීතිය යටතේ වසර සියයක් ආයු ඉක්මවූ ඒ මහා හෝටලය වෙනස් කරන්න නීතිමය අවසර නැති නිසා.

නොවෙනස් කණු, බිත්ති අතර අදටත් එදා වගේම භාවිතයේ තියෙන සුද්දන්ගේ කාලේ අපූරු භාණ්ඩයකුත් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් පිළිගැනීමේ පියස අද්දරම තියෙනවා. ඒ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් තරම්ම ඉපැරුණි දුඹුරු සහ රන් පැහැය මිශ්‍ර දුරකථනය.

අතීතයේ පාර දිගේ ඇවිදගෙන ගිහින් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් අතීත කතාව කියවද්දී හමුවෙන සුන්දරම පරිච්ඡේදය තමා රුසියාවේ මහා ලේඛකයෙක් මේ හෝටලයේ එක කාමරයක නැවතුණු කතාව. ඒ මහා ලේඛකයා මේ හෝටලයට ඇවිත් නිදාගත්තු ඇඳ, පාවිච්චි කළ මේසය මේ හැමදේම අදටත් ඒ විදිහටම තියෙනවා. ඒ මහා ලේඛකයා තමා ඇන්ටන් චෙකෝව්. රුසියානු සාහිත්‍ය ඔයාට ප්‍රියනම් ඔයා ඇන්ටන් චෙකෝව් ගැන හොඳට දන්නව ඇති. දහනව වැනි සියවසේ අග භාගයේ රුසියානු සාහිත්‍යයේ සළකුණක් තමා චෙකෝව් කියන්නේ. එයාගේ පෑනෙන් ලියවෙච්ච පොත් පිටු අතර පරම්පරා ගණනක් තිස්සේ සැරිසැරුවන් චෙකෝව්ට කොච්චර ආදරේ කළාද කියනවනම් අදටත් චෙකෝව් හුඟක් හිත්වල ආදරණීය අතීත චරිතයක්.

චෙකෝව් කියන්නේ රුසියාවට විතරක් නෙවෙයි විශ්ව සාහිත්‍යයටම අයත් ලේඛකයෙක්. මට හිතෙනවා චෙකෝව් සහ එදා තැප්‍රොබේන් ගැන කියන්න ඉස්සර අහම්බෙන් ලංකාවට ඇවිත් එදා තැප්‍රොබේන් හෝටලයේ නැවතුණු චෙකෝව්ගේ ජීවිතය ගැනත් ඔයාට චුට්ටක් කියන්න.

චෙකෝව් ඉපදුණේ සුන්දර රුසියාවේ හරිම දුප්පත් පවුලක. ඒත් ඉගෙනගන්න තිබුණ දක්ෂතාවය නිසාම එයා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. ඒත් තමන්ව තමන්ගේ අම්මා, සහෝදර, සහෝදරියන් ජීවත් කරවන්න තාත්තා මහ පොළවත් එක්ක කරන අරගලය දැක්ක චෙකෝව් ඉගෙනගන්න අතරේ රෑබල් කීයක් හරි සොයාගන්න පත්තරවලට, සඟරාවලට ලියන්න පටන් ගත්තා. "ඇන්ටෝෂා චෙකොන්ටේ" ඒ තමා ඒ දුප්පත් අපූරු වීරියවන්ත පත්තරකාරයාගේ ආරෑඪ නම.

වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගන්න අතරේ ලැබෙන විවේකය පත්තර, සඟරා වෙනුවෙන් කැප කළ චෙකෝව් ඇඟිලි රිදෙනකම් ලියලා ලියලා හම්බකරගත්තු රෑබල් වියදම් කළේ එයාගේ දුප්පත් පවුල වෙනුවෙන්. සරසවි ජීවිතය හමාර කරලා වෛද්‍යවරයෙක් විදිහට රුසියානු සමාජයට පය තිබ්බත් චෙකෝව්ගේ හිත තිබුණේ පෑන ළඟ. එයාගේ ඇතුළාන්තයේ අපූරු ලේඛකයෙක් ජීවත් වෙන බව චෙකෝව්ට දැනිලා තිබුණා. අවසානයේ එයා එයා තුළ ජීවත් වෙච්ච වෛද්‍යවරයාට වඩා සාහිත්‍යවේදී රසවතාට ලේඛකයාට ඇළුම් කළා.

ඇන්ටන් චෙකෝව් ලෝකයක්ම හඳුනාගත්තේ... ලෝකයකම ආදරය ලැබුවේ අන්න ඒ හඳුනාගැනීමෙන් පස්සේ.

හාස්‍ය, විද්‍යානුකූල කාරණා අතරේ සැරිසැරෑ ඔහුගේ මුල් සාහිත්‍ය නිර්මාණ පසුව යථාර්ථවාදයේ නව මං සොයා ගියා. වෛද්‍යවරයකු ලෙස ලද සහජ ජීවන අත්දැකීමුත් ඒකට හේතුවක් වුණා.

ඔන්න මේ 1890. චෙකෝව් ශාන්ත පීටර්ස්බර්ග් නෞකාවට නැංගේ ස්කාලින් දූපතට යන්න. ස්කාලින් දූපත ඒ වෙද්දී සිරකරුවන්ගේ නවාතැනක්. චෙකෝව් ස්කාලින් දූපතට ගියේ සිරකරුවන් දකින්න. ස්කාලින් දූපතේදී චෙකෝව් තුළින් ඉස්මතු වුණේ ලේඛකයා නෙවෙයි සුවඳවත් මනුෂ්‍යත්වයෙන් පිරුණු අපූරු හදවතක් තිබුණු අර වෛද්‍යවරයා. චෙකෝව් එයාගේ ක්ෂය රෝගය අමතක කළා. දුක්ඛිත අත්දැකීම්වලින් හෙම්බත් වී හිටිය සිරකරුවන්ට එයා අපූරු ජීවකයෙක් වුණා. ඒ හිත් සනසලා ස්කාලින් දූපතෙන් චෙකෝව් නැව් නැංගේ මොස්කව් යන්න. ශාන්ත පීටස්බර්ග් මොස්කව් යන්න ගියේ ජපානය හරහා වුණත් ඒ වෙද්දී ජපානයේ කොළරා වසංගතය පැතිරුණු නිසා ගමන් මඟ වෙනස් කළා. චීන මුහුදට සේන්දු වුණත් නැව අහම්බකාරක සුලි කුණාටුවකට අහුවුණේ මේ අපූරු වෛද්‍යවරයාට මරණය ගැන ජීවමාන අත්දැකීම් ලබාදෙමින්. ඒත් දෛවය චෙකෝව් අරගෙන ආවේ මරණය ළඟට නෙවෙයි. අපේ පුංචි මුතු ඇටයට. ශාන්ත පීටස්බර්ග් නැවතුණේ කොළඹ වරායේ.

1890 නොවැම්බර් 12 වැනිදා කොළඹ කොටුවට ආව චෙකෝව් නැවතුණේ තැප්‍රොබේන් හෝටලයේ. අදටත් හෝටලය ඉදිරිපස ඇති රික්ෂෝවක නැඟුණු කමිස, කලිසම් පැළඳි විදේශිකයාගේ ස්මාරකය එදා චෙකෝෆ්ගේ පැමිණීම සදාතනිකව සිහිපත් කරන්න හදපු ස්මාරකයක්. ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ බිත්තියක් මත ඇති චෙකෝෆ් ගැන සටහනෙහි මෙන්න මෙහෙම සඳහන්

ඇන්ටන් චෙකෝව් 1890 නොවැම්බර් 12 සිට 18 දක්වා මෙහි නැවතී සිටියේය. ඒ රුසියාවේ නැගෙනහිර කොනට වෙන්නට පිහිටි ස්කාලින් දූපත්වල සිට නැවත රුසියාවට යන අතරතුරේදීය. ඔහු කොළඹට පැමිණියේ ශාන්ත පීටර්ස්බර්ග් නම් රුසියානු නෞකාවෙනි. ඔහු තම ගුසෙව් නම් ජනප්‍රිය නවකතාව ලිවීම ආරම්භ කර ඇත්තේ ද GOH රුඳී සිටියදීය.

චෙකෝව්ගේ කුටිය නමින් හඳුන්වන්නේ එදා චෙකෝව් තැප්‍රොබේන්හි නවාතැන් ගත් කාමරයයි. චෙකෝව් අපිටත් කොච්චර වටිනවාද කියනවානම් ඒ කුටියට චෙකෝව්ගේ නම තියන්න මීට අවුරුදු 19කට ඉස්සර හෝටලයේ ලොකු උත්සවයකුත් තිබුණා.

“ස්කාලින් නම් අපායෙන් පිටමං වූ අපට සිලෝන් දිවයින මිහිපිට පාරාදීසයක් විය. එබැවින් මම එකවර මිහිපිට අපායත් දිව්‍ය ලෝකයත් දුටුවෙමි. එක දිගට සිටවූ පොල් ගස් පසු කරමින් කඳුකර පෙදෙස කරා දුම්රියෙන් සිදු කළ ගමන ජීවිතෙන් කිසි දිනෙක අමතක නොවේ. මේ දිවයිනෙහි නිතර සිනාවෙන තළෙළු තරුණියන් රෑප සොබාවෙන් යුතුය. මේ දිවයිනේ ගත කළ කාලය මට ඉතිරි කළේ රන්වන් මතකයකි..”

අන්න එහෙමයි චෙකෝව් එයාගේ ලංකා ගමන ගැන කීවා කියලා මහාචාර්ය ඒ. වී. සුරවීර චෙකෝව්ගේ සටහන් උපුටා දක්වමින් අපට කියන්නේ. සියල්ල අතරේ නිතර හිනාවෙන එදා ලංකාවේ කෙල්ලන්ගේ ලස්සනත්, ලේඛනයට පෙම් බැඳි මේ අපූරු වෛද්‍යවරයා දැකලා විඳලා තියෙන අපූරුව.. නේද?

චෙකෝව් තැප්‍රොබේන් හෝටලය ළඟදි දවසක් දා නයි නටවන්නෙක් හා නයි මුගටි සටනක් දැකලා තියෙනවා. මුගටින්ට චෙකෝව්ගේ හිත කොච්චර ගියාද කියනවනම් මොස්කව් අරන් යන්න එයා දෙහිවලින් මුගටි දෙන්නෙක් සල්ලිවලට අරගෙන. ඒ මුගටින් ගැනත් චෙකෝව් ලියලා තියෙනවා. මොනවද දන්නවද ඒ ලියලා තියෙන්නේ..?

මම ලංකාවෙන් රුගෙන ආ මුගටියන් දුටු විට ඔබේ සෙල්ලම් සැඟවෙනු ඇත. උන් ඉතා දිගැති සතුන් නිසා මම උන්ව කූඩු තුළ දැමුවෙමි. උන් තීන්ත කුප්පි පෙරළනවා. වීදුරු පෙරළනවා. ගැහැනුන්ගේ කොණ්ඩෙන් අදිනවා. යක්කුන්ට සමානය.

ඒ සුරතලුන් දෙන්නා පසුව චෙකෝව් එහෙ සතුන් වත්තකට දීලා. මහනුවර දළදා මාලිගාව දකින්නත් ගිය චෙකෝව්ට නුවරදී රුසියානු ජාතික බෞද්ධ භික්ෂුවක් හමුවී තියෙනවා. වෛද්‍ය ලේඛකයාට ක්ෂය රෝගය කියලා දැනගත්ත මේ හාමුදුරුවෝ හොඳ වෙද හාමිනේ කෙනෙක් චෙකෝව්ට මුණගැස්සුවා. ඇය චෙකෝව්ව කොතෙක් සුවපත් කළාද කියනවා නම් චෙකෝව් ඇයට ඔහු ළඟ තිබුණු මැණික් ඔබ්බපු මාලයක් දීලා තියෙනවා.

ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ එහා මෙහා ඇවිදිද්දී එහි ඉතිහාසයට අයත් මතක ගණනාවක් රන් පැහැ පුවරුවල කොටලා බිත්ති මත එල්ලා තියෙනවා. එංගලන්තයේ හතරවැනි විලියම් රජුගේ කාලයේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ලැබුණු පවුම් 30,000ක මුදලක් යොදවා මෙහි පිහිටි හමුදා බැරුක්කය නවීකරණය කිරීම 1837 පෙබරවාරි 13 වැනිදා ආරම්භ වූ අතර 1837 ඔක්තෝම්බර් 27 අවසන් කෙරිණි.

පිලිපීනයේ ජාතික වීරයකු වන ආචාර්ය ජෝස් මාර්කාගේ රිසාලි අලෙන්සෝ 1882 හා 1896 කාලයේදී තම යුරෝපා සංචාර අතරතුර සිව් වරක් ලංකාවට ආවේය. 1882 මැයි 18 ඔහු GOHහි නැවතී උන්නේය.

ඔහු කොළඹ ලස්සන ගැන බොහෝ දෑ වාර්තා කර තිබේ. කොළඹ මංතීරු තුනේ පාරවල්, පන්සල්, හමුදා බැරුක්ක, කෞතුකාගාරය, වෙනත් අලංකාර ගොඩනැගිලි ආදිය ගැන ඔහු රෝහලකට ගොස් ඒ ගැන මෙසේ ලියා තිබුණි.

“රෝහලෙන් කිසිම අපුල ගඳක් පිට නොවුණි. ලෙඩ රෝග ගැන හෝඩුවාවක් හෝ දැකගත නොහැකි විය. ඊට ඇතුළු වීමෙන්ම ලෙඩ ගතිය බාගෙට සනීප වූවාක් වැනිය. කොළඹ යනු බොහෝ තැන්වලට වඩා සුන්දර ස්ථානයකි. සිංගප්පූරුව, ගාල්ල මෙන්ම මැනිලා නුවරට ද වඩා අලංකාරය.” මේ සටහන් අතරේ හරි අපූරු දැන්වීමක් අපි දුටුවා. ඒ GOH හෝටලය ගැන ඈත අතීතයේ නිර්මාණය කරපු දැන්වීමක්. කියවලම බලමුකෝ. කොළඹට පැමිණෙන්නන් Grand Oriental හෝටලයේ නවාතැන් ගත යුතුය.

එය ලෝකයම හඳුන්වන්නේ GOH යනුවෙනි.

දුරකථන අංකය - 1052 කොළඹ.

නවීන කාණු පද්ධති

නිදන කාමර සහ නාන කාමරවලට උණු සහ සීත ජලය.

පෙරදිගකරයේ හොඳම හෝටලය.

ෂා...... ග්‍රෑන්ඩ් දැන්වීම වගේම ග්‍රෑන්ඩ්හි හාබර් රෑම් හරිම ග්‍රෑන්ඩ්. වරායට සේන්දු වෙන නැව් දිහා බලාගෙන, කෙනෙක් එක්ක, සාක්කුවට වැඩිය බර නැති, හොඳ ගාණකට, හොඳ බුෆේ එකක් රස විඳින්න මීට වඩා හොඳ තැනක් තියෙනවද කියලා හිතෙනවා.

ඉතින් වැස්ස අවසන් ඉරිදාවක අපි යමු ආයෙත් කඳු නගින්න, පීනන්න සොබාදහමත් එක්ක Walk 111 චාරිකාවක්.

 

Text -Sanju / Pic – Sumudu

 

2018-05-31-ent-46 2018-05-31-ent-37 2018-05-31-ent-38 2018-05-31-ent-39 2018-05-31-ent-40 2018-05-31-ent-41 2018-05-31-ent-42 2018-05-31-ent-43 2018-05-31-ent-44