පුරාවෘත්ත රැසක් සඟවුනු රාවණා ඇල්ල



2018-0-02-ent-60

සංචාරයක් සඳහා යම් ස්ථානයක් තෝරා ගැනීමේ දී පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධාකාර වූ රුචිකත්වයන් පවතී. ඒ අතරින් බොහෝ දෙනෙක් සොබා සෞන්දර්යයේ සුන්දරත්වය විඳගනිමින් දිය කොමළියකගේ පහස ලබාගැනීමට ප්‍රිය කරති. ඒ අනුව මෙවර ‘තරුණයා’ සංචාරය ඔස්සේ ඔබව රැගෙන යන්නේ පුරාවෘත්ත රැසක් සඟවාගෙන පෙන පිඬුනංවමින් ගාලා හැලෙන ‘රාවණා ඇල්ල’ වෙතටය.

 

 

ගමන් මාර්ගය2018-0-02-ent-65

නෙත කුල්මත් කරන මෙම සුන්දරත්වයෙන් පරිපූර්ණ සොඳුරු දියදහරාව ගලා බසින්නේ දෙස්-විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් සංචාරය කිරීමට ප්‍රියකරන ඌව පළාත තුළ පිහිටි ඇල්ල නගරයට නුදුරිනි. කොළඹ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 220ක දුරක් ගෙවා මෙම සොඳුරු ඉසව්ව කරා ළඟා වීමට හැකිය. පිටකොටුව ප්‍රධාන බස් පර්යන්තයෙන් අංක 99 මාර්ගය ඔස්සේ කොළඹ සිට බදුල්ල දක්වා හෝ බණ්ඩාරවෙල දක්වා දිවෙන බස් රථයක නැගී ප්‍රථමයෙන් බණ්ඩාරවෙල නරගයට සේන්දු විය යුතුය. ඒ සඳහා ඔබට රුපියල් 300-500ත් අතර මුදලක් වැය කිරීමට සිදුවේ. ඒ සඳහා පැය 6ක පමණ කාලයක් මිඩංගු කිරීමට සිදුවේ.

ඉන්පසුව බණ්ඩාරවෙල නගරයේ සිට ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල යන නගර දක්වා දිවෙන බස්රථයක නැගී රාවණා ඇල්ල වෙත පිවිසිය යුතුය. එම ගමන සඳහා ද කිලෝමීටර 17ක දුරක් ගමන් කළ යුතු වේ. ඒ සඳහා රුපියල් 51ක මුදලක් වැය වේ.

පෞද්ගලික වාහනයකින් පැමිණෙන සංචාරකයන්ට කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා තිබෙන කුඹල්වෙල මන්සංදියෙන් හැරී, ඇල්ල වැල්ලවාය දක්වා දිවෙන මාර්ගගය ඔස්සේ පහසුවෙන් මෙම ඉසව්වට ළඟා වීමට අවකාශය ලැබේ. වැල්ලවාය දෙසින්ද මෙම සොඳුරු ඉසව්වට පැමිණිය හැක. කුමන දෙසින් පැමිණියත් කඳු සහ වංගු සහිත මාර්ග ඔස්සේ සොඳුරු වට පිටාවක අතිශය සොඳුරු දසුන් නරඹමින් පැමිණීමේ අවකාශය ඔබට හිමිවේ.

 

දිය ඇල්ලේ පිහිටීම

මුහුදු මට්ටමේ සිට අඩි 3445ක උසින් පිහිටි රාවණා ඇල්ලේ උස නිශ්චිතව පැවසිය නොහැකි වුවත්, වාර්තා වන අන්දමට උසින් මීටර 25ක් එනම්, අඩි 82ක් පමණ උසින් යුක්ත වේ. කඳු මුදුන් දෙකක් මධ්‍යයෙන් ගලා හැලෙන ජල කඳු ප්‍රධාන ස්ථර හතරක් ඔස්සේ පහළට ගලාවිත්, කිරිඳි ඔය සොයා ගමන් කරයි.

සෑම වසරකම මැයි මස සිට සැප්තැම්බර් දක්වා වන කාල පරාසය තුළ ඇදහැලෙන නිරිත දිග මෝසම් වර්ෂාවෙන් සහ ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා වන කාල පරාසය තුළ ඇදහැලෙන අන්තර් මෝසම් වර්ෂාවෙන් රාවණා ඇල්ල පෝෂණය වෙයි. දියඇල්ලේ නියම ස්වරූපය දැකගැනීමට ඔබ එහි යා යුත්තේ එම කාලවකවානුව තුළදීය. නමුත් එම කාලවලදී ඇල්ල ඉහළට ගමන් කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැත. ඇල්ල ඉහළට ගමන් කිරීමට අවශ්‍ය නම්, ඔබ එහි යා යුත්තේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාසවලදීය.

ඇල්ලේ තෙවන ස්ථරයෙහි දකුණු පසට වන්නට පිහිටි ගල් කුල තුළට වන්නට ගුහාවක්ද තිබෙන බව ඇල්ල අවට වෙළෙඳාම් කරන වෙළෙඳු පැවසූහ. ඔවුන් පවසන ආකාරයට අඩි 7කට වැඩි උසකින් සහ අඩි 14කට ආසන්න පළලකින් යුත් එම ගුවාවෙහි මුඛය පිහිටා ඇත්තේ ඇල්ල පාමුල සිට බැලූ කල්හි එක එල්ලේ දිස්නොවන ආකාරටය.

 

රාවණා ඇල්ල සමග බැඳුණු ජනප්‍රවාද

රාවණා ඇල්ල සමග බැඳුණු පුරාවෘත්ත රාශියක් සැඟව තිබේ. ජනප්‍රවාදයෙන් පැවත එන රාම-රාවණා කතා පුවත සමගද රාවාණා ඇල්ල සම්බන්ධ වේ. එම කතා පුවතට අනුව රාවාණා රජතුමා විසින් සීතා කුමරිය රැගෙන විත් රඳවා තැබුවායි විශ්වාස කෙරෙන්නේ දියඇල්ලට තරමක් නුදුරින් පිහිටා තිබෙන ක්‍රිස්තු පූර්ව 2 සියවසේ දී පමණ වළගම්බා රජු විසින් කරවන ලදැයි සැලකෙන රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයට ඉහළින් පිහිටි රාවණා ගුහාව තුළය.

සීතා රාජ සම්බවයකින් පැවත ආ කුමාරිකාවක් නිසාවෙන් ඇයට අවශ්‍ය පහසුකම් සපයාදීමටද අවශ්‍ය වූ නිසාවෙන් මෙම සොඳුරු ඉසව්ව තුළ ඇයව රඳවා තබන්නට ඇතැයි විශ්වාස කරයි. රාවණා ගුහාව තුළ තිබෙනවායි පවසන උමං මාර්ග, නිල් දිය පොකුණ, භූගතව තිබෙන කාමර ඒ පිළිබඳව තහවුරු කරයි.

එමෙන්ම අතීතයේ දී රාවණා ඇල්ල ඇදහැලුනේ රාවණා ගුහාව තිබෙන ගල් තලාව මතින් බවටද මතයක් පවතී. එම ගුහාව තිබෙන ගල් කුල දෙස බැලීමේ දී ඒ මතින් දියදහරාවක් කඩා හැලෙන්ට ඇතැයි කියාද සිතිය හැකිය. ජනප්‍රවාදයේ කොතෙකුත් මත තිබුණත්, එම මත තහවුරු කිරීමට හැකි සාක්ෂි පැවතියත්, ඒවා නිශ්චිතවම තහවුරු කිරීමටනම් රාවණා ගුහාව තුළ අවුරුදු 5000ක් පමණ කාලයක් නින්දේ පසුවන රාවණා රජු යළි අවදි විය යුතු බව ඇල්ල අවට සිටින ගම්වාසීහු විහිළුවට මෙන් අප හා පැවසූහ.

 

ජෛව විවිධත්වය

ශ්‍රී ලංකාවේ තිබෙන වනාන්තර අතර අතිශය සංවේදී වනාන්තරයක් ලෙස රාවණා ඇල්ල රක්ෂිතය හඳුන්වාදීමට හැකිය. මෙරටටම ආවේණික වූ ගස්වැල්, ඖෂධ වර්ග, සතුන් මේ තුළ දක්නට ලැබේ. ඒ අතර සිටින සතුන් අතරට රිළවා, ලංකාවට පමණක් ආවේණික රන් උණහපුළුවා, නිය දිගු මා හික් මීයා, කැළෑ හික් මීයා ඇතුළු තවත් ආවේණික හා ආවේණික නොවන ක්ෂිරපායී සත්ව විශේෂයන්ද, මෙරටට පමණක් ආවේණික රත් මූණත් කොට්ටෝරුවා, වළි කුකුළා, ගිරි මලිත්තා, අළු කෑදැත්තා වැනි දුර්ලභ පක්ෂි විශේෂයන්ද අයත් වෙති. ඊට අමතරව සමනල විශේෂ 15 ට ආසන්න ප්‍රමාණයක්, පිනුම් කටුස්සා, දඟර දණ්ඩා වැනි උරග විශේෂද රාවාණි ඇල්ල අවට පරිසරයෙහි ජීවත් වෙති.

 

සැලකිලිමත් බව

රාවණා ඇල්ල කොතරම් සුන්දර වුවත්, විටෙක ඉතා ප්‍රචන්ඩකාරී වෙයි. මෙම ජල කදෙන් නිර්මාණය වන ජලය පිරුණු වළවල්, ලිස්සන සුළු ගල් පර්වත මෙහි බහුලව තිබේ. එම නිසා වර්ෂා කාලයට මෙහි දිය නෑම කිසිසේත්ම සුදුසු වන්නේ නැත. අනෙකුත් කාලවලදීද අවට සිටින වෙළෙඳුන්ගෙන් හෝ ගම්වාසීන්ගේ අනුදැනුම මත දියට බැසීම වඩාත් සුදුසුය.

එමෙන්ම මෙහි තිබෙන ගල් කුලුනු ඔස්සේ ඉහළට නැගීමද කිසිසේත්ම සුදුසු වන්නේ නැත. මේ වනවිට රාවාණා ඇල්ළෙහි මහා ජල කඳ තුළ මිනිස් ජීවත 35ට අධික සංඛ්‍යාවක් සැඟව ගොස් ඇත. රාවණා ඇල්ලේ සීතල දියදහරාවෙන් ගත පිනාගැනීමට අවශ්‍යනම්, ඇල්ල අසල තිබෙන පීල්ලෙන් එම අශාව සන්තර්පනය කර ගැනීමට හැකියාව ලැබේ.

එමෙන්ම වර්තමානය වනවිට රාවණා ඇල්ල දෙස්-විදෙස් සංචාරකයන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති නිසා දියඇල්ල අවට භූමිය කැළිකසළ සහ නොදිරන ද්‍රව්‍යයන්ගෙන් පිරී තිබේ. ඔබ එහි යන්නේනම් ඔබ ගෙන යන සෑම දෙයක්ම නැවත ගෙන ඒමට සැලකිලිමත් වන්න. එය පරිසරයට මෙන්ම අපගේ අනාගත පරපුර වෙනුවෙන් කරන ආයෝජනයකි.

 

ලබන සතියේ ‘තරුණයා’ සංචාරය ඔස්සේ ඔබව රැගෙන යන්නේ රාවණා රජු සීතා කුමරියව සඟවාගෙන සිටි ‘රාවාණා ගුහාව’ වෙතය.

 

සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර

 

 2018-0-02-ent-61 2018-0-02-ent-62 2018-0-02-ent-63 2018-0-02-ent-64  2018-0-02-ent-66 2018-0-02-ent-67 2018-0-02-ent-68