රාවණා රජු සීතා කුමාරිය සැඟවූ ගල් ලෙන රාවණා ගුහාව



2018-06-08-ent-33

ලක්දිව පාලනය කළ ශ්‍රේෂ්ඨ රජ කෙනෙකු ලෙස ‘රාවාණා’ රජු හඳුන්වාදිය හැක. රාවණා රජුගේ ඉතිහාසය පිළිබඳව මෙරට පිළිගත හැකි ලිඛිත ඉතිහාසයක් සහ පුරාවිද්‍යාත්මක තොරතුරු නොමැති වුවත්, මීට වසර 6000ට පෙර මෙරට විසූ බලසම්පන්න මිනිසා රාවාණා ලෙස ජනප්‍රවාදයෙන් පැවත එයි. වාල්මිකී විසින් රචිත රාමායණයේද මොහු පිළිබඳ දීර්ඝ ලෙස විස්තරයක් කර තිබේ. මෙම විස්මජනක මිනිසා කෙරෙහි පුරාවිද්‍යාත්මක සාධක මෙරට තුළ නොමැති වුවත් එවැන්නෙකු සිටි බවට සානථ කෙරෙන සාධක අපට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ. වාල්මිකී විසින් ග්‍රන්ථාරූඪ කර තිබෙන තොරතුරු සහ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන සාධක මත වර්තමානයේ දී රාවණා රජුගේ ඉතිහාසය පිළිබඳව බොහෝ දෙනෙක් ගවේෂණය කිරීමට සහ සෙවීමට උත්සහා දරති.2018-06-08-ent-34

අප පසුගියවර සේම, මෙවරද ‘තරුණයා’ සංචාරය ඔස්සේ ඔබව රැගෙන යන්නේ රාවණා රජුගේ ඉතිහාසයත් සමග බැඳී පවතින තවත් සොඳුරු ඉසව්වක් වෙතය. ‘රාවණා ඇල්ල’ සිට ඇල්ල නගරය දෙසට කිලෝමීටර 8ක් පමණ ගිය පසු 16 කණුව මන්සංධිය හමුවේ. එතැන් සිට ප්‍රධාන මාර්ගයේ වම් පසට ගමන් කිරීමට තිබෙන කොන්ක්‍රීට් ඇතිරූ මාර්ගය ඔස්සේ කිලෝමීටර් 4කට ආසන්න දුරින් පිහිටා තිබෙන ‘රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරය’ හමුවේ. මෙම විහාරය ඉදිකර ඇත්තේ වලගම්බා රජු බව පැවසෙයි. ගල් ලෙනක් තුළ ඉදිකර තිබෙන පුරාණ විහාරය තුළ දක්නට ඇත්තේ පැරණි බිතු සිතුවම් සහ අඹන ලද පිළිම වහන්සේලා පමණි.

මෙම විහාරයට මඳක් මෙපිටින් ‘රාවාණා ගුහාවට’ යන පිවිසුම් මංපෙත පිහිටා තිබේ. මෙවර අපගේ ගමනාන්තය වූ එම ඉසව්ව වෙත ගමන් කිරීම සඳහා රුපියල් 50ක ප්‍රවේශ පතක් මිලදී ගත යුතුවේ. අප ප්‍රවේශ පත්‍රයත් රැගෙන කොන්ක්‍රීට් පියගැට පෙළ ඔස්සේ අපි ගමන ආරම්භ කළෙමු. රාවණා ගුහාව වෙත ළඟා වීමට පඩි 700ක් පමණ තරණය කළ යුතුවෙයි. රූස්ස ගස් වැල් මධ්‍යයෙන් යන මෙම ගමන ඉතා ගුප්තය. බඹරුන්ගේ රජ දහනක් වන බැවින් නිශ්ශබ්ද්දතාවය රැකීම වඩාත් යෝග්‍යය. ගමන් මග ගුප්ත වුවත්, අවට පරිසරය ඉතා දැකුම්කලුය. පුරාණයේ රාවණා ඇල්ල ඇද හැලුනේ මෙම ගල්ගුහාව පිහිටි ගල් තලාව මතින් බව පැරැණි ගම්වාසීන්ගේ මතය වී තිබේ. ගල් ගුහාව පිහිටි ගල් තලාව මතට නෙත් යොමන විට සහ අවට පරිසරය සෑදී තිබෙන ආකාරයෙන් එම මතය ගම්‍ය වේ.

මුහුදු මට්ටමේ සිට අඩි 4470න් උසින් පිහිටා තිබෙන රාවාණා ගුහාව අතර මැදි දේශගුණික කලාපයන් හි පිහිටි ගල්ගුහා අතර විශාලත්වයෙන් ඉහළ ස්ථානයකට හිමිකම් කියයි. ලෙන් මුඛය උසින් අඩි 20ට වැඩි වන අතර, පළල අඩි 25කට පමණ ආසන්නය. දිගින් අඩි 40කට අධික මෙම ගුහාවෙහි අභ්‍යන්තර භූමියත්, ලෙන් වහලය සහ බිත්තියත් ඉතා අවම ලෙස දක්ෂිණාවර්තව වක් වූ අඩ කේතු ආකාර හැඩයක් ගනියි. මෙම ගුහාව භාවිත කර තිබෙන්නේ සීතා කුමරිය සිර කර තබා ගැනීමට බව ජනප්‍රවාදයෙන් පැවතෙයි. මෙම ගුහාව පිහිටා තිබෙන ආකරය දෙස බැලීමෙදී එම ජනප්‍රවාද ඔස්සේ පැවත එන තොරතුරුවල යම් සත්‍යතාවයක්ද තිබිය හැකි බව එහි යන ඕනෑම කෙනෙකුට හැඟෙයි.

මෙම ගල්ලෙන තුළ තවත් ගල් ලෙන් ද්විත්වයක් පවතී. එම ගල් ලෙන් ඔස්සේ උමං මාර්ග තිබෙන බවටද පුරාවිද්‍යාඥයන් පවසා තිබේ. මින් එක් උමගක් දෝව පන්සල දක්වාත්, අනෙක් උමග නුවරඑළිය දක්වාත් නිර්මාණය කර ඇති බව ඔවුන්ගේ මතයයි. උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් කරන විට හමුවූ උමග ගල් ගුහාවේ සිට දෝව පන්සල දක්වා වැටී තිබෙන උමගේ කොටසක් බවද තහවුරු කර තිබේ. දෝව පන්සලේද උමං මාර්ගයක් දක්නට ලැබෙන නිසා අතීතයේ සිට පැවත එන ජනප්‍රවාදයන්හි යම් සත්‍යතාවයක් තිබෙන බව මනාව පැහැදිලි වේ. රාම රාවණ යුද්ධයෙහි අවසානයේ කාල නීර්ණයකින් තොරව රාවණා රජු නිද්‍රාවට පත් වී තිබෙන බවත්, යම් දිනෙක අවදි වන තම සොහොයුරු හට යළි රජකම උරුම කර දීමේ බලාපොරොත්තුවෙන් රාවණ රජ සමයෙහි නිර්මාණය කනන ලද සියලු භූගත ශෛලමය නිර්මාණ දිගු කාලයක් පුරාවට ආරක්ෂා වන අන්දමින් වසා දමන්නට විභීෂණ කටයුතු කර තිබෙන බවත්, ජනප්‍රවාද තොරතුරු ඔස්සේ අනාවරණය වේ. රාවාණා ගුහාවත් එසේ වසා දැමුණු ස්ථානයක් බවත්, රාවණා රජු නින්දේ පසුවන්නේ මෙම ගුහාව තුළ බවත් මත ගණනාවක් පවතී. මේ පිළිබඳව සත්‍ය තොරතුරු නුදුරු අනාගතයේ දී ලොවටම අනාවරණය වන තෙක් අප මෙම ස්ථාන සුරක්ෂිත කර ගනිමු. ඔබ මෙහි යන්නේ නම්, ඔබගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වනවා සේම, පරිසරය සහ මෙම භූමිය ආරක්ෂා කර ගැනීමටත් සැලකිලිමත් වන්න.

 

සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර

 

2018-06-08-ent-23 2018-06-08-ent-24 2018-06-08-ent-25 2018-06-08-ent-26 2018-06-08-ent-27 2018-06-08-ent-28 2018-06-08-ent-29 2018-06-08-ent-30 2018-06-08-ent-31 2018-06-08-ent-32