රූස්ස කැලේ මැදින් වැව් තෙරට



2018-07-02-ent-39

එච්චර පුංචි මුදලක් වෙච්ච ප්‍රවේශ පත්‍රයකට විඳින්න දේවල් දකින්න දේවල් තියෙනවා මහමෙරක් තරම්. හෙක්ටයාර් 42ක භූමි වපසරියකින් යුතු හරිත පැහැ උද්‍යානය පුරා ඇවිදිද්දී හිතට ආව සිතුවිල්ල තමයි ඒ.....

Pre shoot photo ගන්න, Wedding Photos ගන්න ආව ලස්සන ආදරවන්තයන්ගේ කෝල හැඟුම් දැඟලිලි දිහා බලාගෙන දාර ගස් අස්සෙන් අපි ඇවිද්දා. 1821 අවුරුද්දේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයත්, 1861 අවුරුද්දේ හක්ගල උද්භිද උද්‍යානයත්, 1876 හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයත්, 2013 මිරිජ්ජවිල වියලි කලාපීය උද්භිද උද්‍යානයත් වශයෙන් ඉදි වූ උද්භිද උද්‍යාන නාමාවලියේ මිරිජ්ජවිල උද්භිද උද්‍යානයට අවුරුදු පහකට කලින් ඉදිකළ උද්‍යානය තමයි සීතාවක උද්‍යානය. ඒ කියන්නේ 2008 අවුරුද්දේ අවිස්සාවේල්ල සීතාවක ප්‍රදේශයේ ඉදි කළ මේ උද්‍යානය ප්‍රථම තෙත් කලාපීය උද්භිද උද්‍යානය විදිහට තමා හඳුන්වන්නේ. මේ උද්‍යානය ආරම්භ කරන්න එක ප්‍රධාන හේතුවක් තිබුණා. ඒ තමා තර්ජනයට ලක් වූ පහත රට තෙත් කලාපීය වනාන්තරවල ඇති වෘක්ෂලතා සංරක්ෂණය කරන්න මධ්‍යස්ථානයක් වුවමනා වීම.

උද්‍යානයේ තියෙන මහා ගස් අතරින් හිත ගිහින් නැවතුණ එක තැනක් තමයි බරට මහ කොස් ගෙඩි දරාගත්ත කොස් ගස්. ළා කොළ පැහැයෙන් සාරෙට හැදුණු තණ කොළ නිම්නය පුරා පොළවට බරට මුල් ඇදුණු මහා ගස් ගණන් කරන්න බැරි තරම්. උද්‍යානය මුදුනේම ඉඩ වෙන්වුණේ රෝස උයනකට. හැබැයි පාට පාට මල්වලට වඩා උයන පුරාම බැලූ බැලූ අත පෙනෙන්න තිබුණේ කොළ පැහැ තුරුලතා. බෝට්ටු සවාරියේදීත් ගඟ දෑල දෙපස පුරාම පෙනෙන්නේ කොළ පැහැති හරිත නිම්න සහ අහස සිඹින්න තරම් ඉහළට එසවුණු මහ ගස්.... ඒ ගස් මත කූඩු හදපු කුරුල්ලෝ කූඩුවලට ආපු වෙලාවනේ.... අපේ සල්ලාප මැද්දේ ඒ හින්දා කෙළවරක් නැති උන්ගේ කිචි බිචිය.... එහා කූඩුවේ මෙහා කූඩුවේ කුරුල්ලන්ගේ විත්ති කූඩු වෙච්ච වෙලාවේ පටන් කිරිල්ලී පැටවුන්ට කියනවාද .... කියලා හිතෙනවා ඒ තොරතෝංචියක් නැති කුරුලු හඬ අහගෙන ඉද්දි. පාරිසරික වටිනාකමක් වගේම සුන්දරත්වයේ සහ ළා කොළ පැහැ හරිත නිම්නයක සුන්දරත්වය හිතේ හැටියට විඳගන්න කියාපුම තැනකට අපි ආවා කියලා තමා අපට නම් හිතුණේ... නිදහසේ පැය ගණනක් නැවතිලා ඉන්න කල්පනා කරන්න යාළුකම්, ආදරණීයකම් විඳින්න ලස්සන හැන්දෑවක් ඒ උද්‍යානය අපට හදලා දෙනවා... ගිහිල්ලම බලන්න...

 

( සීතාවක අපේ සංචාරය තාම ඉවර නෑ.. ඊළඟ සතියේ යමු අපි එක්ක අපූරු රක්ෂිතයකට....)

 

Text -Saa / Pic- Channa Kassapa Koralearachchi

 

2018-07-02-ent-37 2018-07-02-ent-38  2018-07-02-ent-40 2018-07-02-ent-41 2018-07-02-ent-42 2018-07-02-ent-43 2018-07-02-ent-44 2018-07-02-ent-45 2018-07-02-ent-46 2018-07-02-ent-47 2018-07-02-ent-48